වේගයෙන් බර වැඩිවීම සඳහා බලපාන හේතු කිහිපයක්ම තිබෙනවා. ජාන වලින් සිදු වන බලපෑම ඉන් එකක්. සමේ වර්ණය, ඇස් වල වර්ණය, ශරීරයේ හැඩය, මුහුණේ ලක්ෂණ වැනි දේවල් වලට අමතරව සිරුරේ බර වැඩි වීම සඳහා හේතු වන ජාන ද පවතින බව සොයාගෙන තිබෙනවා.
කාන්තාවන්ගෙන් 1/3 කගේ පමණ මේද පටක වල ක්‍රියාකාරීත්වය සඳහා බලපෑම් කල හැකි MMP2 නම් විශේෂ ජාන විකෘතියක් පවතින බව සොයාගෙන ඇති අතර සියලුම පිරිමින්ගෙන් 87% කට පමණ FTO නම් එවැනිම ජාන විකෘතියක් පවතින බවද මේ වන විට සොයාගෙන තිබෙනවා. මෙම ජාන විකෘති මඟින් බර වැඩිවීම සඳහා පවතින අවධානම සැලකිය යුතු මට්ටමකින් ඉහල දමනු ලබනවා. නමුත් බර වැඩිවීම සඳහා බලපාන එකම තීරණාත්මක සාධකය ජාන වල බලපෑම පමණක් නොවෙයි.
සීනි අධික ආහාර පාන ගැනීමත් බර වැඩිවීම සඳහා බලපාන එක හේතුවක්. එවැනි ආහාර වල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු වන අතර පෝෂණ ගුණය අතින් ඉතාම අල්පයි. මේ නිසා සීනි අධික ආහාර පාන ගැනීමෙන් වැලකීම බර පාලනය කර ගැනීම සඳහා ඉතාම වැදගත්.
ඒ වෙනුවට අඩු කැලරි ප්‍රමාණයක් සහ වැඩි පෝෂණ ගුණයකින් යුත් පලතුරු, එළවලු, මේද රහිත මස්, ධාන්‍ය වර්ග ආදිය ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. ඔබේ දෛනික කැලරි අවශ්‍යතාවය ඉක්මවා නොයන පරිදි මෙවැනි ආහාර පමණක් ගැනීමට හුරු වීම තුලින් ඔබේ කුස පිරෙන නමුත් බර වැඩි වීමක් සිදු වෙන්නේ නැහැ. එම නිසා පෝෂණ ගුණයෙන් අනූන සහ කැලරි අගයෙන් අඩු අහාර වේලක් සඳහා හුරු වීම, සීග්‍රයෙන් බර වැඩි වීම වලක්වා ගත හැකි හොඳම උපක්‍රමයක් වශයෙන් හැඳින්විය හැකියි.
මීට අමතරව කෙනෙකුගේ ශරීරයේ බර වැඩි වීම සඳහා බලපාන වෙනත් සාධක ද තිබෙනවා. දිගුකාලීන මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයෙකුගේ ශරීරයේ බර වැඩි වීම සාමාන්‍ය පුද්ගලයෙකුගේ ශරීරයේ බර වැඩිවීමට සාපේක්ෂව වැඩි විය හැකියි. මානසික ආතතියෙන් පෙලෙන පුද්ගලයෙකු ස්වභාවයෙන්ම මේදය සහ සීනි අධික සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම සඳහා පෙළඹෙන ප්රවනතාවය වැඩියි.
එමෙන්ම මානසික ආතතිය ඇති පුද්ගලයෙකුට නින්ද යන ප්‍රමාණය අඩු අතර නින්ද නොයාම නිසා ආහාර ගැනීම සහ ආහාර ගැනීම නතර කිරීම පාලනය කරන ලේප්ටින් සහ ග්‍රෙලින් යන හෝමෝන වල ක්‍රියාකාරීත්වය අක්‍රීය කරනු ලබනවා. මේ නිසා මානසික ආතතිය පාලනය කිරීමත් බර අඩු කර ගැනීම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.