ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකාව බවට මුඛ පිළිකාව පත්ව ඇත.
වසරක් තුළදී මුඛ පිළිකාවට ගොදුරු වන නව රෝගීන් 1500 ත් 2000 ත් අතර ප්‍රමාණයක් හඳුනා ගැනේ. මෙම රෝගය නිසා සෑම දිනකම මරණ දෙකක් පමණ සිදු වේ.
බුලත් හැපීම, දුම්බීම හා මත්පැන් පානය මුඛ පිළිකා සෑදීමේ අවදානම් සාධක වේ.
අහිතකර චර්යාවන් හඳුනාගෙන ඉන් මිදීම මුඛ පිළිකා වළක්වා ගැනීමේ මඟයි. පූර්ව පිළිකා ලක්ෂණ කලින්ම හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් මුඛ පිළිකා නිට්ටාවටම සුව කළ හැකිය.
මුඛ පිළිකාවක් ඇතිවීමට හේතුවිය හැකි සාධක
බුලත් විට හැපීම
පුවක් හෝ පුවක් පැකට් සැපීම.
දුම්පානය කිරීම (උදා- සිගරට්, බීඩි, සුරුට්ටු)
මත්පැන් පානය කිරීම
පෝෂණ ඌනතා
මුඛයේ අපිරිසිදුතාව
හියුමන් පැපිලෝමා වෛරස් ආසාදන
මුඛ පිළිකා වැළඳීමේ වැඩි අවදානමක් ඇති අය
දිනකට බුලත් විට තුනකට වඩා සපන අය
දිනකට බුලත් විට 1 ත් 3 ත් අතර ප්‍රමාණයක් සපන අවුරුදු 30 ට වැඩි, පුරුද්දක් වශයෙන් දුම්පානය කරන සහ සතියකට වතාවක් වත් මත්පැන් පානය කරන අය.
දිනකට පුවක් පැකට් එකක්වත් කන අය.
මෙම අවදානම් කණ්ඩායම් වහාම ළඟම සිටින දන්ත වෛද්‍යවරයා හමුවී මුඛ පරීක්ෂාවක් සිදුකර ගැනීම ඉතා වැදගත්වේ.
මුඛ පිළිකාවක් ඇතිවීමට පෙර කල් පවතින වේදනාවක් නැති ඉවත් කළ නොහැකි සුදු හෝ රතු ලප , කල් පවතින ඉවත් කළ නොහැකි සුදු සහ රතු මිශ්‍ර ලප , මුඛයේ අසාමාන්‍ය දැවිල්ලත් සමග තෙල් සහ මුඛ ශ්ලේෂ්මලය රළුවීමක් සහ සුදු වීමක් , කාලයක් පවතින සුව නොවන තුවාලයක් පැවතිය හැක.
ඔබට ඉහත සඳහන් යම් කිසි රෝග ලක්ෂණයක් ඇත්නම් වහාම ළඟම සිටින දන්ත වෛද්‍යවරයකු හමුවන්න. මෙම රෝග ලක්ෂණ තමාගේ මුඛය තමන් විසින්ම පරීක්ෂා කිරීම (ස්වයං මුඛ පරීක්ෂාව) මගින් පහසුවෙන් හඳුනා ගත හැකිය.
ස්වයං මුඛ පරීක්ෂාව
හොඳින් ආලෝකය ලැබෙන ස්ථානයක් මේ සඳහා අවශ්‍ය වෙයි. ඔබේ දැත් සබන් යොදා හොඳින් සෝදාගන්න. කෘත්‍රිම දත් ඇඳි ඇත්නම් ඒවා ඉවත් කරන්න.
පළමුව මුහුණේ අසාමාන්‍යතාවක් තිබේදැයි පරීක්ෂා කරන්න. දෙවැනිව මුඛය ඇතුළත මුහුණ බලන කණ්ණාඩියක් ආධාරයෙන් පරීක්ෂා කර බලන්න.
ඇඟිලිවලින් තොල් පිට පෙරළා ඇතුළත පරීක්ෂා කරන්න. මුඛය හොඳින් විවෘත කර කම්මුල ඇතුළත, මුඛයේ පැති බිත්ති හොඳින් පරීක්ෂා කර බලන්න. දිව පිටතට ඇද දිවේ කෙළවර සිට ඇතුළත දක්වා පරීක්ෂා කර බලන්න. දිව උඩු අතට හරවා දිව යට පරීක්ෂා කර බලන්න.
තවදුරටත් දිව එළියට දමා උඩුතල්ල පරීක්ෂා කරන්න. අවසාන වශයෙන් ගෙල දෙපස පිරිමදිමින් වසා ගැටිති පරීක්ෂා කරන්න.
මුඛ පිළිකා වළක්වා ගැනීම
බුලත්විට සැපීමෙන් වළකින්න.
පුවක් සහ පුවක් ආශ්රිත නිෂ්පාදන (පැකට් සහ ටොපි) සැපීමෙන් වළකින්න.
දුම්පානයෙන් සහ මත්පැන් පානයෙන් වළකින්න.
යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වාගෙන යැම
එළවළු සහ පලතුරු සහිත සමතුලිත ආහාරයක් ගැනීම
මානසික ආතතියෙන් තොර සැහැල්ලු ජීවිතයක් ගත කිරීම
වසරකට වතාවක් දන්ත වෛද්‍යවරයකු ලවා මුඛය පරීක්ෂා කර ගැනීම