මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම ගැන අපි දුක් වෙනවා. ඒ වගේම තවත් විටක අපට යම් දෙයක් අමතක කිරීමට නොහැකි වීම ගැනත් අපි දුක් වෙනවා.
බිනරගේ වයස අවු. 12යි. පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගනුම ලැබූ බිනරට තිබූ ලොකුම ගැටලුව වූයේ එදිනෙදා පාඩම් කරන දේ අමතක වීමයි.
මම දවසට පැය 5ක් පමණ පාඩම් කරනවා. පාඩම් කරේ නැත්නම් අම්මා බනිනවා. ඒත් මට ඒ පාඩම් කරන දේවල් ඉක්මණින්ම අමතක වෙනවා. විභාගෙ කිට්ටු වෙනකොට මට ලොකු බයක් දැනෙනවා. විභාගෙට ගියාම දන්න ටිකත් අමතක වෙනවා. ගිය සැරේ විභාගෙදි මට ගණිතයට තිබුණේ ලකුණු 40යි. අම්මා මට හොඳටම බැන්නා.
ඉහත සිද්ධිය කියවන ඔබට යම් දරැවෙකුට පාඩම් මතක තබාගැනීමට ඇති අපහසුව පෙන්නුම් කරනවා.
ඒත් සමහර අවස්ථාවලදී අපේ සිතට වද දෙන මතකයන් අමතක කරන්න ඕන වෙනවා. එය සමහර විට මතක තියාගන්නවාටත් වඩා අපහසු වෙනවා. පහත කථාවෙන් එය පැහැදිලි වෙනවා.
සුජීවාගේ වයස අවු. 22යි. ඇගේ පෙම්වතා ඇගෙන් ඈත් වී දැනට මාසයක් වෙනවා. ඔහු නැවතත් ඇය වෙත නොඑන බව ඇය හොඳින්ම දන්නවා. නිතර දැනෙන දුක සහ වේදනාව තුළ සිරවී සිටි ඇය මෙසේ පැවසුවා.
Dr. මට අමතක වෙන්න බෙහෙතක් දෙන්න. අතීතය මතක් වනවිට ඒ සිතුවිලි මට දරාගන්න බෑ.
ඉහත කතා දෙක කියවූ විට අපට ප්‍රශ්න දෙකක් මැවෙනවා.
1. අපි යමක් මතක තබා ගන්නේ කොහොමද?
2. අපිට ක්ෂණයකින් යමක් අමතක වන්නේ කොහොමද?
මතකය කියන්නේ අපේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ජීව රසායනික ක්රියාවලිවක්. ඕනෑම දෙයක් අපට මතකයේ තබා ගැනීමට නම් මොළය තුළ ක්‍රියාවලින් තුනක් සිදුවිය යුතුයි.
1. ප්‍රථම රදවාගැනීම (Encoding)
මෙය හරියටම පරිගණකයකට තොරතුරු ඇතුළු කිරීමට යම් තොරතුරක් ටයිප් කරනවා හා සමානය.
2. තොරතුරු ගබඩා කිරීම (Storage)
ටයිප් කරන තොරතුරු පරිගණකය තුළ ගබඩා කරතැබීම හා සමානයි.
3. ගබඩා කරන ලද තොරතුරු නැවත මතකයට ගැනීම (Retrieval)
පරිගණකයේ ගබඩා කරන ලද තොරතුරු අපට අවශ්‍ය වූ විට නැවත එළියට ගැනීම සමානය.
අපි මතකය පිළිබඳ තව ගැඹුරින් සොයා බලමු. මතකයේ තවත් ප්‍රධාන කොටස් හතරක් තිබෙනවා ඒවා නම්.
I. සංවේදන මතකය (Sensory Memory), II. කෙටිකාලීන මතකය (Short – Term Memory), III. දිගුකාලීන මතකය (Long – Term Memory)
මොකද්ද මේ සංවේදන මතකය කියන්නේ?
අපි හිතමු ඔබට මගතොටදි ගසක් උඩ අත්තක මිහිරි හඬක් නගමින් සිටින කුරුල්ලකු දුටුවායැයි කියලා එම මොහොතේදී එම පක්ෂියාගේ මිහිරි හඬ මෙන්ම පෙනුමද ඔබ ආශ්වාද කරනවා නිසැකය. නමුත් ගෙදර පැමිණෙන ඔබට එම සිද්ධිය, එනම් මිහිරි හඬ සහ පක්ෂියාගේ පෙනුම සම්පූර්ණයෙන්ම ඒ ආකාරයටම මතකයට නැගීමට අපහසුය. මින් අදහස් වනුයේ. සංවේදන මතකය (Sensory Memory) තත්පර ගණනකට සීමා වන බැවිනි. අපට එය තවදුරටත් මතක තබාගැනීමට අවශ්‍ය නම් මෙම මතකය කෙටිකාලීන මතක ධාරාවට එක්කර ගත යුතුය.
මොකද්ද මේ කෙටිකාලීන මතකය කියන්නේ?
කෙටිකාලීන මතකය අප තුළ ගබඩා වන්නේ Chunks නැමති ක්‍රියාවලිය තුළිනි. Chunks යනු වචන, ඉලක්කම් හෝ රූප වශයෙන් කොටස් 7කට සීමා කිරීමයි. මෙම මතකය තප්පර 15 සිට 25 දක්වා කාලයක් මොළය තුළ රුදෙන අතර ඉන්පසු ක්ෂය වී යයි. කෙටිකාලීන මතකයට යම් සිද්ධියක් ඔබට ඇතුළු කරගැනීමට අවශ්‍ය නම් එය නැවත නැවත මතක් කර යුතුය. අපි මෙතනදී අර කුරැල්ලා පිළිබඳ උදාහරණය ගනිමු. එම කුරැල්ලාගේ ස්වරූපය සහ මිහිරි කට හඬ ඔබ කීප වතාවක් මෙනෙහි කළානම් එය සංවේදන මතකයෙන් කෙටිකාලීන මතකයට ඇතුළු වේ. නමුත් කෙටිකාලීන මතකය තුළ ද යමක් රුදෙන්නේ තප්පර 25කි. මෙය ඔබ වැඩි කාලයක් මතකයේ තබාගැනීමට අවශ්‍ය නම් දිගුකාලීන මතක ධාරාවට ඇතළත් කරගත යුතුය. සැබැවින්ම මෙහි එන බිනරට විභාගය ආසන්නව බොහෝ කරුණු අමතක වී යන්නේ ඒවා දිගුකාලීන මතකයට නිසි ලෙස ඇතුළු වී නොමැති නිසාය.
මොකද්ද මේ දිගුකාලීන මතකය කියන්නේ?
දිගුකාලීන මතකය මොළයේ එක් තැනකින් නිර්මාණය නොවේ. එය මොළය පුරා පැතිරී ඇති සංකීර්ණ ජාලාවකි. පළමුවෙන්ම මතක ජාලා මොළය තුළ ගබඩා වන්නේ හිපොකැම්පස් (HippCampus) නැමති කොටසේය. හිපොකැම්පස් තුළින් මෙම මතක ජාල මස්තිස්කය (CerebralCortex) තුළ සාර්ථක ලෙස ගබඩා වේ. අනෙක් කොටස නම් ඇම්ග්ඩෙලා (Amygdala) හැඟීම් සමඟ මිශ්‍ර වූ මතකයන් මෙහි ගබඩා වේ. අපි හිතමු ඔබ කළු තඩි බල්ලෙකුට බිය වූවායැයි කියා එවැනි බල්ලකු ඔබ නැවත දුටුවොත් ක්ෂණිකව භීතියට පත්වේ. මෙම මතකයන් එළියට ගන්නේ ඇම්ග්ඩෙලාවල ක්‍රියාකාරීත්වයෙනි. දිගුකාලීන මතකයේ ප්‍රධාන කොටස් 4කි.
1. සාමාන්‍ය තොරතුරු ගබඩා කිරීම් අංශය (Declarative Memory)
මෙහිදී කෙනෙකුගේ නම්, මුහුණු, දින වකවානු සහ වෙනත් තොරතුරු මෙහි ගබඩා වේ. Ex- ඔහුගේ නම නිමල්. නිමල් සුදුයි. ඔහුට බයිසිකලයක් තිබෙනවා. එහි රෝද දෙකක් තිබෙනවා. 2. කුසලතා සහ අත්දැකීම්වලට අදාළ මතක ගබඩා අංශය (Procedural Memory) Ex- බයිසිකලය පැදීම, පිහිනීම, මෙම ක්‍රියාකාරකම් අපගේ කුසලතා බවට පත්ව ඇත්නම් ඒවා කිරීමේදී ක්‍රමවේදය නැවත මතක් කළයුතු නැත. මෙම හැකියාව ගබඩා වී ඇත්තේ කුසලතාවලට අදාළ කොටසේය. 3. දැනුම ගබඩා කිරීමේ අංශය (Semantic Memory) Ex- රටේ ජනාධිපති කවුද? වැනි දත්ත.
සාපේක්ෂතාවාදය සොයාගත්තේ කවුද?
ලෝකගෝලය තුළ අමෙරිකාව පිහිටියේ කොතැනද?
4. සිද්ධීන් පිළිබඳ මතක ගබඩා කිරීමේ අංශය (Episodic Memory)
යම් කාල සීමාවකදී සිදුවූ යම් යම් සිද්ධීන් අපට තවමත් මතක ඇත.
Ex- අයියාගේ මගුල් ගෙදර ඔබ නටපු හැටි.
උපාධි ප්‍රදාන උත්සවයේදී ඔබ උපාධිය ලබාගත් අයුරු.
ඉහත කොටස් කියවීමේදී සන්වේදන මතකය, කෙටිකාලීන මතකය, දිගුකාලීන මතකය සහ ඒවා මොළයේ ගබඩා වන ස්ථාන පිළිබඳ ඔබට හොඳ දැනුමක් ලැබුණා විය හැකියි. නමුත් මතකය පිළිබඳ තවත් ප්‍රශ්න රාශියක් අප ඉදිරියේ ඇත. ඒවා නම්
1. මතක තබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රම වේද, 2. ආතතිය නිසා මතකයට හානියක් වේද?, 3. හැඟීම් සමඟ මිශ්‍ර වූ විට සමහර දේවල් අපට පහසුවෙන් මතක තබාගත හැකිය. ඒ ඇයි?
මේවා ගැන වැඩි විස්තර ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක