Kitchen
මානෙල් නැටි ව්‍යංජනය
මානෙල් මල්වලින් සුපිරි හෝටල් සරසනවා ඔබ ඕන තරම් දැකල ඇති. ඒ මානෙල් මල්වල නැටිවලට මොකද වෙන්නේ? කෙලින් ම කුණු කූඩෙට යනවද?
අපෝ නෑ…
රස ම රස ව්‍යාංජනයක් හැදෙනවා.
මේ රස ම රස ව්‍යංජනය හදාගන්න හැටි තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය :-
මානෙල් මල්වල නැටි කිහිපයක්.(මල් 10 ක – 15 ක විතර නැටි ගත්තොත් 4 දෙනෙකුට කන්න ඇතිවෙයි )
ලොකු, ලොකු ළුනු ගෙඩියක්
සුදු ළුනු බික් 5 ක්
ලොකුවට කැබලි කරගත් උම්බලකඩ තේ හැඳි 2 ක් ( මේ වෙනුවට කූනිස්සෝ ගන්නත් පුළුවන් )
රම්පෙ කැබැල්ලක්
ලුණු ටිකක්
ගොරකා කැබැල්ලක්
තෙල් ස්වල්පයක්
පොල් කිරි මිටක්
කැබලි මිරිස්
අමු තුනපහ කුඩු
හදන්නේ මෙහෙමයි :-
ඉස්සෙල්ල මානෙල් නැටි ටික මද උණුසුම් ලුණු වතුරේ ටිකක් වෙලා තියෙන්න හරින්න. කහට රහ නැතිවෙන්න වගේම මේ මානෙල් නැටි හොඳින් පිරිසිදු වෙන්නත් ඒක වැදගත්. ඊට පස්සේ මේ මානෙල් නැටි ටික සිහින් ව කපාගන්න ඕන.
ළුනු ගෙඩියත් සුදු ළුනුත් තරමක සිහින් වෙන්න ලියාගන්න.
දැන් තෙල් ටික රත් කරන්න.
ඉස්සෙල්ල සුදු ළුණුත් ලොකු ළුනුත් මේ තෙලට දාලා, ටිකක් බැදෙන්න හරින්න. දැන් මානෙල් නැටි ටික එකතු කරගන්න.
ලුණු ටිකකුත්, කැබලි මිරිසුත්, තුනපහත්, රම්පෙ, ගොරක වගේම උම්බලකඩ ටිකත් එකතු කරලා, පියනකින් වහල මද ගින්නේ තැම්බෙන්න හරින්න.
හොඳින් තම්බ්බුනායින් පස්සේ පොල් කිරි මිට එකතු කරලා හැඳි ගාල ඉදුණු පසු ලිපෙන් බාගන්න.
මේක බත්වලට වගේම ඉඳි ආප්ප වලටත් කියාපු ව්‍යංජනයක්.