Kitchen
දැල්ලෝමෝජු
ඔයාලා වම්බටු මෝජු නම් රස බලල ඇති නේද? ඒත් දන්නවද... වම්බටුවලට අමතරව මාළු, කරවල, කුකුළුමස්, පොලොස් වාගේ දේවල්වලිනුත් රසට මෝජු හදන්න පුළුවනි. මේ තියෙන්නෙ ඒ විදිහට හදපු රසවත් දැල්ලෝ
මෝජුවක්.
අවශ්‍ය ද්‍රව්‍ය:-
* දැල්ලෝ කිලෝග්‍රෑම් 01 ක්
* ලොකු බී ලූනු ගෙඩි 03 - 04 ක්
* අමුමිරිස් කරල් 10 - 15 ක්
* සුදුලූනු ගෙඩි 04 - 05 ක්
* ඉඟුරු කැබැල්ලක්
* කරාබුනැටි කිහිපයක්
* එනසාල් ඇට කිහිපයක්
* මිරිස්කුඩු ස්වල්පයක්
* කහ ස්වල්පයක්
* තුනපහ කුඩු ස්වල්පයක්
* ගම්මිරිස් කුඩු
* අබ තේ හැන්දක්
* රස අනුව ලුණු සහ දෙහි යුෂ
* පොල්තෙල්
* විනාකිරි
* සීනි තේ හැඳි 01 ක්
සාදාගන්නා ආකාරය:-
දැල්ලන් ශුද්ධකර සෝදාගෙන සිහින් රවුම් ආකාරයට කපාගන්න. ඔළු ටිකත් වෙනම තියාගන්න. දැන් මේ සියල්ලම භාජනයකට දමා ලුණු, ගම්මිරිස්, කහ, තුනපහ, මිරිස්කුඩු සහ දෙහි යුෂ ස්වල්පයක් ද එකතුකර හොඳින් අතගා විනාඩි විස්සක් පමණ වසා තබන්න.
රටලූනු සිහින්ව කපාගන්න. අමුමිරිස් සෝදා තෙත වියළෙන්නට හරින්න. සුදුලූනු සහ ඉඟුරු එකට අඹරා තලපයක් ලෙස සකසා ගන්න. අබ ටිකද විනාකිරෙන් අඹරාගෙන පසෙකින් තබන්න.
දැන් බඳුනක් ගෙන ළිප තබා එයට පොල්තෙල් ස්වල්පයක් දමන්න. තෙල් රත්වූ විට කලින් සකසා පසෙකින් තබාගත් දැල්ලන් ගැඹුරුතෙලේ රන්වන් පාට වෙනතුරා බදින්න. පසුව තෙල් බේරෙන්නට ටිෂූ පේපර් එකක් මත දමන්න. මේ ආකාරයට රටලූනු සහ අමුමිරිස් ද බැදගන්න.
අනතුරුව මැටි බඳුනක් ළිප තබා එයට විනාකිරි ටිකක් දමන්න. විනාකිරි උතුරාගෙන එනවිට සුදුලූනු, ඉඟුරු තලපය සහ අඹරාගත් අබ ටික දමන්න. කුරුඳු, කරාබුනැටි සහ එනසාල් ද එකතුකරන්න. එයටම මිරිස්කුඩු, තුනපහ, ලුණු ස්වල්පයක් ද දමන්න. ඉන්පසුව බැදගත් දැල්ලෝ, ලූනු, අමුමිරිස් ආදී සියල්ලම එකතුකර හොඳින් කලවම් කරන්න. එයටම සීනි තේ හැන්දක් ද එකතුකර ඉතාම අඩු ගින්දරේ ටික වේලාවක් තබා ළිපෙන් ඉවතට ගන්න.
මෝජුවේ නියම රස මතු වෙන්නෙ දවසක් දෙකක් ගතවුණාට පස්සෙ බව අමතක කරන්න එපා.
tharunie.lk