Kitchen
හැමදාම ලස්සනට නිරෝගිව ඉන්න කොළ කැඳ බොමු
∗ පෝෂණය රැකෙන්න කොළ කැඳ හදා ගන්නේ කොහොමද?
තෝර ගත්ත කොළ වර්ගය හෝදලා, කොටලා එහි යුෂ මිරිකා ගන්නවා. ඊට පස්සේ හාල් මිටක් අරගෙන මැටි වලඳකට වතුර දාල ලිප තියනවා. හාල් තැම්බූනහම කොළ යුෂ එකතු කරලා මද ගින්නේ ලාවට රත් කරනවා. පොල් කිරි අවසානෙට දමන්න. නමුත් නටවන්න එපා. මදක් රත් වෙද්දීම අරගෙන හකුරු සමග හරි නිකම් හරි බොන්න.
වැඩි පෝෂණයට අමු ඉඟුරු පෙති කීපයක් හා තලාගත් සුදුළූණු බික් දෙක තුනක් මෙයට එක් කරන්නත් අමතක කරන්න එපා.
∗ සුදුසු සහල් වර්ග මොනවාද ?
තැම්බූ රතු සහල් යොදා ගැනීම ඉතා සුදුසුය. වී තම්බන විට පොත්තෙහි අඩංගු විටමින් බී ආදිය සහල් ඇටයට තදින් ඇලේ. එබැවින් පාහින විට හෝ සෝදන විට එම පෝෂ්‍ය පදාර්ථ ඉවත් නොවේ. එහෙත් කැකුළු හාල්වල නිවුඩ්ඩ සේදීමේදී ඉවත්ව යන නිසා එම පෝෂ්‍ය පදාර්ථ ශරීරයට නොලැබී යයි.
හාතාවාරිය
වා පිත් නසයි, ප්‍රජනන පද්ධතියට ඉතාමත් ගුණ දෙන ඖෂධයකි, ශුක්‍ර වඩයි , මවුකිරි වඩයි, ගර්භ පෝෂකයි, ශරීර ශක්තිය වඩවයි,තරුණ බව ඇති කරයි), හෘදයට හිතකරයි, මුත්‍රා කාරකයි, ශරීරයේ දාහ සමනය කරයි.
ඉරමුසු
වා පිත්, සෙම් යන ත්‍රිදෝෂයම සමනය කරයි. ලේ පිරිසිදු කරයි. දාහ නසයි. උණ නසයි. ස්තන්‍ය ශෝධකයි. ගර්භ ස්ථාපනයි. එබැවින් ගර්භ ස්‍රාව (Miscarriages) සඳහා විශේෂයෙන් හිතයි. කුසගිනි වඩයි. ආහාර රුචිරය ඇති කරයි. මුත්‍ර ජනනය කරයි. මල මුත්‍ර ප්‍රවෘත්තිය පහසු කරයි. කුෂ්ට රෝග සඳහා හිතකරයි
ගොටුකොළ
මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි. හෘදයට හිතකරයි. තිත්ත රසය හේතුවෙන් කළු හෙවත් සෙම් කොටස් බැහැර කරයි. කිරිදෙන මව්වරුන්ට ඉතා ගුණදායකයි. බාහිර සමෙහි රුධිර ගමන ක්රමානුකූල කරයි. එබැවින් කුෂ්ට රෝග සඳහා ද හිතකරයි. ආයුෂ වැඩි කරයි.
මොණරකුඩුම්බිය
වා සෙම් නසයි. උණ නසයි. මුත්‍ර කාරකයි. මුත්‍ර ගල් බිඳ හෙලීම සිදු කරයි. රක්ත ශෝධකයි. ශරීරයේ ඉදිමුම් සමනය කරයි. කුඩා ළමුන්ගේ පණු රෝග සඳහා හිතකරයි .
පොල්පලා
විශේෂයෙන් මුත්‍ර වහා සංස්ථානයෙහි ((Urinary System) ක්‍රියාකරන ඔසුවකි. අතිශයින් මුත්‍ර කාරකයි. එබැවින් මුත්‍ර කෘච්ඡ්‍ර (අපහසුවෙන් මුත්‍ර පිටවන අවස්ථා) සඳහා ගුණදායකය. මුත්රාශ්මරී (Renal Calculi) නාශකයි.
මුකුණුවැන්න
කුසගිනි වඩයි. රක්ත ශෝධකයි. දාහ ශමනය කරයි. කුෂ්ට නසයි. ස්තන්‍ය වර්ධකයි. ඇස්වල පෙනීම වර්ධනය කරයි.
කොහිල
ත්‍රිදෝෂ ශාමකයි. අන්නපචන ව්යqහාවේ (GIT) ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වේ. මල භේදක ගුණයෙන් විශිෂ්ටයි. අර්ශස් සඳහා හිතයි. මධු මේහයට කොහිල කරටි හීනටි හාල් සමග පිළියෙල කළ කැඳ ඉතා ගුණ දෙයි.
රණවරා
ගුණ අනුව කළු පිත්ත ශාමක වේ, සියලු ප්‍රමේහ රෝග සඳහා විශේෂයෙන් ගුණදායකය. මුත්‍ර සංග්‍රහණිය වේ. රක්තස්‍රාව වළකයි. පිපාසා ශමනය කරයි. සමෙහි කැසීම්, කුෂ්ට ආදිය සඳහා හිතකරයි. ශරීරයේ වර්ණය ඇති කරයි (වර්ණකාරකයි) ශුක්‍ර වඩයි. ඇසේ පෙනීම වර්ධනය කරයි.
වැල් පෙනෙල
වාත ශමනයි. කුසගිනි වඩයි. විශේෂයෙන් ශරීරයේ සෞම්‍ය ධාතු වර්ධනයේ ලා ගුණදෙන ඔසුවකි. වෘෂ්යයයි. ශුක්‍ර ධාතු වර්ධනය කරයි. අණ්ඩවවෘද්ධි රෝගය සඳහා ගුණදෙයි. ආර්ථව ක්ෂය සහිත ස්ත්රීන්ට ආර්ථව ජනකයක් ලෙස යෙදේ. අර්ශස් නසයි. ක්රිමිස්නයි.
කරපිංචා
පණු රෝග නසයි. රුධිරගත මේදය අඩු කරයි. ඇස් පෙනීම වැඩි කරයි . විෂ නසයි. කණ්ඨ්යයි. එන්ම කටහඬ පැහැදිලි කරයි. විශේෂයෙන් මේදෝ වෘද්ධි Hyperlipidemia) අවස්ථා සඳහා ගුණදායකයි.
පොළොං ආදී සර්ප විෂටද කරපිංචා කොළ කැඳ විශේෂ ප්‍රතිකාරයක් ලෙස යෙදේ. කැඳ පිසීමේදී අමු ඉඟුරු හා සුදු ළුණු ස්වල්පයක් එක්කර ගැනීමෙන් අමතර ගුණයක් එකතු වෙයි.
ඉඟුරු
කටු රස හේතුවෙන් කුසගිනි වඩයි, ආහාර දිරවීම පහසු කරයි. කොළකැඳ වල ගුරු බව අඩු කරයි. සෙම් නසයි.
සුදු ළූණු
සෙම් වා නසයි, අග්නිය වඩයි, ආහාර දිරවීම පහසු කරයි. ඉන්ද්රිය ශක්තිය වර්ධනය කෙරේ.
කොළ කැඳ සෑදීමේදී එකම කොළ වර්ගයක් එක දිගට භාවිත නොකර විවිධ කොළ වර්ග යොදාගත යුතුය. එවිට එම කොළවල අඩංගු විවිධ ගුණ ශරීරරයට ලැබේ. එමෙන්ම ශීත ගුණයෙන් යුත් කොල වර්ග නිසා ප්‍රතිශ්‍යා, කාස වැනි සෙම් බහුල රෝග ඇතිවීමද වළක්වාගත හැකියි.