තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය Malassezia furfur නම් වූ දිලීරයක් (යීස්ට් වර්ගයක්) නිසා ඇතිවේ. මෙය නිවර්තන කලාපීය රටවල බහුලව ඇතිවන රෝග තත්ත්වයකි. මතක තබාගන්න, අළුහම් සඳහා ප්‍රතිකාර තිබේ. නිසි වෛද්‍ය උපදෙස් අඛණ්ඩව පිළිපැදීමෙන් මේ අසෝබන චර්ම රෝගයෙන් වැළකීමට හැකිය.
මෙම දිලීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවීන් වර්ගයකි. ඒවා ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ, සහ පපුවෙහි වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි Malassezia furfur දිලීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අළුහම් නැමැති කුෂ්ඨය සාදයි.
අළුහම් ඇතිවන්නේ මෙලෙස සමෙහි ස්වාභාවිකව පවතින දිලීරයක් මගින් ආසාදනය වීමෙන් බැවින්, බෝවන රෝගයක් ලෙස නොසැලකේ. නවයොවුන් වියේ පසුවන්නන් සහ තරුණ පිරිමි අය අතර බහුලව දක්නට ලැබේ. උණුසුම් සහ ආර්ද්‍රතාවය (වාතයේ තෙතමනය) වැඩි පරිසරවල වෙසෙන්නන් අතර අළුහම් බහුලව පවතී.
අවදානම් සාධක
අධික තෙල් සහිත සමක් උරැම වීම, පරිසරයේ උණුසුම වැඩිවීම, පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය වැඩිවීම, ප්‍රතිශක්ති දුර්වල වීම, අධිකව දහඩිය දැමීම, පරම්පරාව තුළ අළුහම් ඇතිවීමට ප්‍රවණතාවයක් පැවතීම, ඌන පෝෂණය, ගර්භණීභාවය
රෝග ලක්ෂණ
එය බහුලව මුහුණ, ගෙල, පපුව, පිට, කිහිලි, බාහු, සහ පාදවල හටගනී.
සමේ ආසාදනය වූ ස්ථාන පැහැදිලිව පෙනෙන, සමෙහි වර්ණය වෙනස් වූ ලප ලෙස දිස්වේ. එහි මතුපිට සියුම් පොතු පවතී.
සමෙහි වර්ණය වෙනස්වීම වර්ණය වැඩිවීමක් (Hyper-pigmentation) හෝ වර්ණය අඩුවීමක් (Hypo-pigmentation) ලෙස දිස්වේ.
අළුහම් රෝස, තද දුඹුරු හෝ සුදුමැලි වර්ණයක් ගනී.
අළුහම් ඇතිවිට වැඩිපුර දහඩිය දැමීම සහ කැසීම ඇතිවිය හැක.
ඒවා සෙමින් පැතිරේ, පොකුරැ වශයෙන් පවතී.
පරිසර උෂ්ණත්වය අඩු වූ විට නැති වී යයි. එහෙත් නැවත ගිම්හාන සෘතුවේදී පැමිණේ.
මෙය සමහරවිට පොතු කබර රෝගය සමඟ පටලවාගන්නා අයද නැතුවාම නොවේ.
පරීක්ෂණ
අළුහම් පවතින ස්ථානයක සමෙන් සූරාගන්නා ලද කොටස් පොටෑසියම් හයිඩ්රොක්සයිඩ්වලින් වර්ණගන්වා අන්වීක්ෂයෙන් පරීක්ෂා කළවිට Malassezia furfur දිලීරය හඳුනාගත හැක.
ප්‍රතිකාර
අළුහම් පවතින ස්ථානය, එහි ප්‍රමාණය හා එය පැතිරී ඇති වර්ග ප්‍රමාණය අනුව ප්‍රතිකාර වෙනස් වේ.
ප්‍රති-දිලීර (Anti-fungal) ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම - මෙය ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය වේ. නමුත් මේවා ගත යුත්තේ වෛද්‍ය උපදෙස් මතම පමණි.
නිදසුන් : කීටොකොනසෝල් හෝ සෙලීනියම් සල්ෆයිඩ් (Selenium – sulphide), ක්ලොට්‍රිමසෝල් (Clotrimazole), මිකොනසෝල් (Miconazole), කීටොකොනසෝල් (Ketoconazole)
ක්ලෙන්සර් භාවිතය
කීටොකොනසෝල් හෝ සෙලීනියම් සල්ෆයිඩ් (Selenium sulfide) ෂැම්පු ආලේප කිරීම.
උග්‍ර ආසාදන ඇතිවිට මුඛයෙන් ගන්නා ප්‍රති-දිලීර ඖෂධ ලබාගත හැක. සාමාන්‍යයෙන් මෙය ඉතා කෙටි කාලයකට ලබා දේ. (ෆ්ලුකොනසෝල් (Fluconazole)
සාර්ථකව ප්‍රතිකාර කිරීමෙන් අනතුරැව සමෙහි වර්ණය යථා තත්ත්වයට පත්වීමට මාස කිහිපයක් වුවද ගතවිය හැක.
සුගත්