Kitchen
ගෙදරදි කොත්තු රොටි
චටස් පටස් කොත්තු රොටිය කැපෙයි මේ වගේ..
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය. . සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය. .
කොත්තු රොටී අපි කාටත් දහක් වටී. .තලු මර මර බලනා කට ගැහෙන සැටී. .
මට කොත්තුත් ඕනේ. . .
ඔය ඔක්කොම සින්දු හැදුනේ මේ රසවත් කෑම හින්දා.බයිට් එකක් විදිහට වගේම දවාලට කාපු කෑම ආපහු රෑට කන්නත් එපා උනාම මේක මාර විකල්පයක්.කලින් දවසක් කඩයක් ගැන ලියලා තිබුනට දැන් ලියන්නේ ගෙදරදි හදන විදිහ.හදන්න යන්නේ විනාඩි විස්සයි.මේක ලියන්නේ අපේ අනුවා සහ ලිෂාගේ මතක් කිරීම මත.
වැඩේ පහසුයි.තාච්චියක තෙල් ටිකක් රත් කරගන්න.ඒක තෙල් නටද්දි( බුබුලු දාද්දි ) ඒකට තලාගත්තු ඉඟුරු චුට්ටක්, තලාගත්තු සුදු ළුනු කෑල්ලක්, කරපිංචා, ලුණු කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න.ඒක ටිකක් රත්වෙද්දි පොඩියට කපාගත්තු ළුනු, කැරට්, ලීක්ස් ටිකත් දාගෙන කවලම් කරගන්න.ඒ ටික තෙල් වලින් පොඩ්ඩක් බැදෙද්දිම බිත්තරයක් කඩලා දාන්න.ඒ ටික හැන්දකින් කවලම් කරන ගමන් පොඩි කෑලි වලට කපපු ගෝදම්බා රොටි තුනක් හෝ හතරක්, ඒ වගේම බැදපු හෝ උයාගත්තු චිකන් කෑල්ලක( ඕනෑම මාංශ ජාතියක ) කටු අයින් කරලා පොඩි කෑලි වලට ලිහාගෙන මේකටම එකතු කරන්න.ඊට පස්සේ තක්කාලි සෝස් ටිකකුයි සෝයා සෝස් ටිකකුයි දාන්න.
ගෙදර හදන කොට කොත්තුව ටිකක් කරවෙන්න දෙන්න.ඒ නිසා මුලදි තෙල් ටිකක් අඩු වෙන්න දාලා අන්තිමට ගින්දර ටිකක් වැඩි කරන්න.මේ ඔක්කොම කරලා ඉවර වෙලා, තාච්චිය විනාඩි පහකින් ලිපෙන් බාන්න.මේ විදිහට කොත්තු හදන්න නං කලින් කොත්තු කාලම තියෙන්න ඕන.නැත්තං දාන ප්‍රමාන ගැන අපිට දැනුමක් නැති වෙනවා.
වෙජිටේරියන් නං චිකන් හෝ මාංශ ජාතිය වෙනුවට හතු එකතු කරගන්න.සෝයා සෝස් සහ තක්කාලි සෝස් නැත්තං සීනි තේ හැඳි එකහමාරක් විතර දාන්න.වෙනසක් විදිහට හැපී කව් චීස් වෙජ් එකක් එකතු කරගන්න.ක්‍රාෆ්ට් චීස් දාන්න එපා.