iranama
නිවැරදිව පලතුරු පූජාවක් තබමු
අප රටේ ඇත්තන් දෙවියන්ට දේවාල වෙත ගොස් තබන පූජාවන් වැඩිපුරම වැරදි ආකාරයට සිදු කරනු ලබයි. පලතුරු යනු මොනවාදැයි ඇතැම් අය නොදන්නා නිසා දෙවියන්ට නොතැබිය යුතු පලතුරුද පුදට තබමින් පසුවේ. කුමන හෝ දෙයක් පලතුරු වට්ටියට තබා මුදල් හම්බ කිරීමට පලතුරු වෙළෙන්දන් පුරුදුව සිටින අතර, දේවාලයේ කපු මහතා එන බැතිමතුන්ගේ සිත් නොරිදවා දෙවියන්ට පූජා කිරීමට කටයුතු කරනු ලබයි.
පලතුරු පූජාවේ 'පලතුරු' දේව පූජාවේදී වර්ගීකරණයට භාජනය වන බව තැකිය යුතුය. පළමුවෙන්ම "සෙත් පූජාවේ පලතුරු" ද දෙවනුව "වස් පූජාවේ පලතුරු" ද වශයෙන් කොටස් දෙකකට බෙදා ඇත. මෙහිදී පලවැල පලතුරු කාණ්ඩයට කෙසේවත් ඇතුළත් නොවේ. පලතුරු යනු තුරේ පලයි හෙවත් ගසේ ගෙඩියි. එවිට වැලේ පල හෝ පඳුරේ පල පලතුරු නොවේ.
මෙහිදී සෙත සඳහා සෙත් පූජා පලතුරු ද අවැඩ සඳහා වස් පූජා පලතුරු වෙන වෙනම තෝරාගත යුතුය. පලතුරු නාමාවලියෙන් මදුලු සහිත පලතුරු පිදීම වඩා වැදගත් බවත්, නොඑසේ නම් ඒ තැන "ගඩාගෙඩි'වලට දීමේ වරදක් නොමැති බව අප ආචාර්යවරුන්ගේ නිර්දේශයයි.
සෙත් පූජාවේ පලතුරු:
වැල, වරකා, වැලි අනෝදා. කටු අනෝදා, බූරි අනෝදා, දූරියන්, සැපතිල්ලා, බෙලි, අඹ, දෙලුම්, රට ලාවුළු, ගිරිතිල්ල, පේර, වෙරළු, උගුරැස්ස (කටු ලොවි), කරඹ, ජමනාරං, පැණි දොඩම්, ජම්බු, කජුපුහුලන්. වීර, පළු, මොර, නෙල්ලි, දං, කිරල මැංගුස්
වස් පූජාවේ පලතුරු:
සිදරන්, නමිනාරන්, රඹුටන්, පැපොල්, ජම්බෝල, දිවුල්, අන්නාසි, කිරිල්ල, ඇඹිල්ල, ඇඹුල් පේර, ඇඹුල් ලොවි, කාමරංගා, යකිනාරං, ගල් අන්නාසි, ඇඹුල් දොඩම්. සෙත් පූජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග
රත් කෙසෙල්, සුදු කෙසෙල්, කෝලිකුට්ටු, ඇඹුල්, හොඬරවාළු, සුවඳැල්, ඇම්බුම්, ආනමාළු, සීනි කෙසෙල්
වස් පූජාව සඳහා ගන්නා කෙසෙල් වර්ග
ඇට කෙසෙල්, ඇටි කෙසෙල්, අලු කෙසෙල්.
දේව පූජාව සඳහා පැණි කොමඩු, සීනි කැකිරි, වැනි දේ ද තබනු නිතර පෙනේ. ඒවා එළවළු ගණයට වැටේ. එමෙන්ම අන්නාසි තැබීම නිතර සිදුවූවත් ඒ පූජාවෙන් සෙතක් නොවේ. සූනියම් කැපීමට ගන්නා ද්‍රව්‍ය අතර, අහු, අන්නාසි, ජම්බෝල, සිදරන්, කාමරංගා, පුහුල් මූලිකත්වයෙන් ගැනෙන බව අමතක නොකළ යුතුය.
පූජාව සෑදීමද යාග රටා ගණයට ගැනේ. පූජාව සෑදීමේදී හතර පස් දෙනෙකු එක්වී කතාබහ කර කර පලතුරු සේදීම, කැපීම අතරේ පලතුරු අපිරිසිදු වන බව දැනගත යුතුය. ඇසට නොපෙනෙන සෙම් සොටු බිංදු මුඛයෙන් පිටවන කෙල බින්දු නිතරම පලතුරුවලට එක්විය හැකිය. එබැවින් පලතුරු පූජාව සකස් කිරීමේදී සුගන්ධය හමන පලතුරු තැබීම වැදගත්ය.
පලතුරු පූජාවට අවශ්‍ය දේවල්
* සෙත් පලතුරු වර්ග 07, * තැඹිලි ගෙඩි 01, * පොල් ගෙඩි 01, උක්දඬු කැබලි 01, * කෙසෙල් ඇවරි 01, * කපුරු, * බුලත්, * හඳුන් කූරු ආදී සුවඳ ධූපය
කැවිලි තබන්නේ නම් තමන් විසින්ම පිරිසිදුව සැදූ නොඉඳුල් ඒවා තැබීම වැදගත්ය.
කතරගම සිද්ධ සූනියම් දේවාලයේ
කපු ධුරන්දර
කේ. ඩී. දේවප්‍රිය