iranama
නාහෙට නාහන සෙනසුරු නිල් මැණිකට වශී වේ!
මැණික් අතර ශ්‍රී ලංකාවේ ජාතික මැණික ලෙස විරුදාවලිය ලත් මැණික නිල් මැණිකයි. සෞභාග්‍යය උදාකරන ආකර්ෂණීය මැණික ලෙස ද නිල් මැණික පිළිගනී. මේ වර්ගයේ මැණික් සමහර රටවලින් හමුවන නමුත් ශ්‍රී ලංකාවේ හමුවන නිල් මැණික් වර්ණයෙන් මෙන්ම දීප්තියෙන් ද වැඩි ය.
තායිලන්තය , පාකිස්තානය හා ඉන්දියාව වැනි රටවලින් හමුවන නිල් මැණික් වර්ණයෙන් හා දීප්තියෙන් අඩු බවක් උසුලයි.
නිල් මැණික් වර්ග හතරකි. මැණික්වල ඇති වර්ණයේ අඩු වැඩි බව සලකා මෙසේ වර්ග කෙරේ. වර්ණයේ අඩු එකේ සිට වැඩි එක දක්වා ගත් කල ළා නිල් මැණික, නිල් මැණික , කාක නිල් මැණික හා ඉන්ද්රනීල මැණික ලෙස වේ. මේවායින් ළා නිල් මැණික හුදෙක් අලංකාරය සඳහා පලඳින අතර නිල් මැණික කාකනිල් මැණික හා ඉන්ද්රනීල මැණික යන මැණික් වර්ග 3 ශනි ග්‍රහයාගේ අපල සඳහා භාවිතා කරයි.
ශනි ග්‍රහයාගෙන් උදාවන ඒරාෂ්ඨක තත්ත්ව 4ක් ප්‍රධාන වශයෙන් පවතී. ලග්න ඒරාෂ්ඨකය නම් ශනි ග්‍රහයා ගෝචරයෙන් කේන්දරයේ 12 වැන්න, 1 වැන්න හා 2 වැන්න යන ස්ථාන තුනේ ගමන් ගන්නා අවුරුදු 7 1/2කට ආසන්න කාලය යි.
දෙවන ඒරාෂ්ඨක වර්ගය වනුයේ ජන්ම ඒරාෂ්ඨකයයි. එනම් ශනි ග්‍රහයා ගෝචරයෙන් කේන්දරයේ සඳු සිටින ස්ථානයට පෙර රාශිය, සඳු සිටින රාශිය හා සඳු සිටින රාශියට පසු රාශිය යන රාශි තුනේ ගමන් ගන්නා අවුරුදු 71/2 කට ආසන්න කාලයයි. තුන්වන ඒරාෂ්ඨකය වන්නේ අෂ්ඨම ඒරාෂ්ඨකයයි. එනම් ශනි ග්‍රහයා ගෝචරයෙන් 8 වැන්නේ ගමන් කරන අවුරුදු 21/2ක කාලයයි. අවසන් ඒරාෂ්ඨක වර්ගය වනුයේ සඳුගෙන් 8 වැන්නේ ශනි ගෝචර වීමයි. ඒ චන්ද්‍රාෂ්ඨම ඒරාෂ්ඨකයයි.
ශනි ගෝචර වීමෙන් ඒරාෂ්ඨක අපලයක් යෙදී තිබෙන අවස්ථාවක එකවර නිල් මැණික්, කාකනිල් මැණික් හෝ ඉන්ද්රනීල මැණික් පැලඳීම නොකළ යුතුයි. ශනි ග්‍රහයා තමන්ගේ උත්පත්ති භාව කේන්දරයේ සිටින ස්ථානය අනුව ඇති බලය ගැන විමසා බැලිය යුතුයි. උත්පත්ති භාව කේන්දරයේ ශනි ග්‍රහයා උච්ච, ස්වක්ෂේත්ර, මිත්‍ර ආදී කොට ඇති ඒරාෂ්ඨක තත්ත්වයට කාක නිල් මැණික් හෝ නිල් මැණික් හෝ ඉන්ද්රනීල මැණික් පැලඳීමෙන් අවැඩක් සිදු නොවේ. යම් හෙයකින් ශනි ග්‍රහයා සතුරු, සතුරු මුඨ හෝ භංග නොවන නීචයක වේ නම් ශනිගෙන් උදාවන ඒරාෂ්ඨකයට කාක නිල් හෝ නිල් මැණික් හෝ ඉන්ද්රනීල මැණික් පැලඳීම අදාළ ඒරාෂ්ඨක තත්ත්වය දෙගුණ තෙගුණ කරන්නෙකි.
ඒ නිසා ශනිගේ අපලයට පමණක් නොව ඕනෑම ග්‍රහයෙකුගෙන් උදාවන අපලකාරී තත්ත්වයකට මැණික් පැළඳීමේදී එම මැණිකට අදාළ ග්‍රහයාගේ බලය, ජන්මියාගේ උත්පත්ති භාව කේන්දරයෙන් බැලිය යුතුය. අදාළ ග්‍රහයා බලවත් නම් පමණක් මැණික පැලඳීම සුදුසුය.
තවදුරටත් විස්තර කළහොත් ශනි ග්‍රහයා මේෂයට, කටකයට, සිංහයට හා වෘශ්චික රාශියට ඉතා අශුභය. මේ රාශිවලින් එකකභාව කේන්දරයේ ශනි ග්‍රහයා සිටී නම් ශනි ග්‍රහයාට අදාළ මැණික පැලඳීමෙන් ශනි ග්‍රහයාගෙන් ලැබෙන අශුභ පල තවත් වැඩි වනු ඇත. ශනි ග්‍රහයා ජන්ම පත්‍රයේ මකර, කුම්භ තුලා හෝ වෘෂභ රාශියේ වේ නම් නිල් මැණික් පැලඳීමෙන් ශනි ග්‍රහයාගේ බලය තව තවත් වැඩි වී සුබ පල උදාකර ගත හැක. ශනි ග්‍රහයාට මිත්‍ර රාශි වන මිථුන, කන්‍යා යන රාශියක ශනි සිටී නම් නිල් මැණික් පැලඳීමෙන් සුබ පල ජන්මියාට හිමිවනු ඇත.
නිල් මැණික්වල යකඩ අඩංගු බැවින් නොයෙකුත් රෝගාබාධ සුව කිරීමේ ශක්තියද ඊට ඇත. විශේෂයෙන් ස්නායු ගත ආබාධ සුව කිරීමේ ශක්තිය ඇත. ඒ අතර අංශභාග රෝගය විශේෂ ස්ථානයක් ගනී. යකඩ ඌනතාවයෙන් යුත් රෝග වලින් පෙළෙන්නන්ටද නිල් මැණික් පැලඳීමෙන් සහනයත් ළඟාකර ගත හැක.
රාශී 12කින් යුත් රාශී චක්‍රයේ ශනි ග්‍රහයාට ස්වක්ෂේත්ර රාශි 2 වන මකර හා කුම්භ යනරාශිවලට නිල් මැණික් අයිති වේ. ඊට අමතරව වෘෂභ හා තුලා ලග්නයන්ටද නිල් මැණික් විශේෂයෙන් සුබ පල උදා කරයි. ඒ වෘෂභ හා තුලා යන රාශි දෙකටම යෝගකාරක ග්‍රහයා ශනි වන බැවිනි.
මීට අමතරව මකර හා කුම්භ ලග්න හිමියන්ට තමන්ගේ භාව කේන්ද්‍රයේ ශනි ග්‍රහයා සිටින ස්ථාන සුබ නම් ඊට අදාළ නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැලඳීමෙන් එම ලග්න හිමියාගේ පෞරුෂය වර්ධනය වේ. වෘෂභ හෝ තුලා ලග්න හිමියන්ටද නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැලඳීමෙන් ලබන්නා වූ දියුණුව ප්‍රබල වේ.
සෞභාග්‍යයේ මැණික ලෙස හඳුන්වනු ලබන නිල් මැණික පැලඳීමේදී ශරීරයේ වැඩිපුර ස්පර්ශ වන ආකාරයට පැලඳිය යුතුයි. ඒ සඳහා විශේෂයෙන් අතේ ඇඟිලි වඩාත් සුදුසු වේ. එයින් වඩාත්ම සුදුසු ඇඟිල්ල වනුයේ ශනි ඇඟිල්ල ලෙස හඳුන්වනු ලබන මැද ඇඟිල්ලයි. ශනි ඇඟිල්ලේ දැමීමට නොහැකි නම් පමණක් නිල් මැණික්වලින් සෑදූ මාලයක් හෝ පෙන්ඩනයක් ශරීරයේ ස්පර්ශ වන සේ දැමිය යුතුය. නිල් මැණික් ඔබ්බවා සාදන ආභරණ රන් ආභරණ වීමට වඩා සුදුසු වන්නේ රිදී ලෝහ ආභරණ වීමයි. නිල් මැණික් මෙන්ම කාක නිල් ද වඩා සුබ පල ලබා දෙන්නේ රිදී ලෝහය සමඟ සම්බන්ධ වීමෙනි.
ලෝකයේ පවතින මැණික් වර්ග විශාල සංඛ්‍යාවක් අතරින් නිල් මැණික් විශේෂ ප්‍රසිද්ධියක් උසුලයි. පුද්ගලයෙකුගේ දියුණුවට, අපල උපද්‍රව දුරුවීමට මෙන්ම ලෙඩ රෝග සුව වීමටද නිල් මැණික් හෝ කාක නිල් මැණික් සුදුසු යැයි පුරාණයේ සිට පවතින මතයකි. මේ නිල් මැණක් වර්ගයේ සුබ පල ලැබීම සිදුවනුයේ ශනි ග්‍රහයාගේ මහ දශා කාලයේදී පමණක් නොව අතුරු දශා, විදශා මෙන්ම සූක්ෂ්ම දශා කාල වලදීත් සිදු වේ. මේ මහ දශා, අතුරු දශා කාලවලදී ද භාව කේන්දරයේ ශනිගේ බලය අනුව ශනිගෙන් උදාවන සුබ අශුභ ලබා දේ. ලොව උපදින සෑම ජන්මියෙකුටම ලග්නයක් හිමි වේ. එම ලග්න සඳහා නිල් මැණික් සුබ පල උදා කරන ආකාරයද දැන ගත යුතුය. යම් ජන්මියෙකුගේ ලග්නය මේෂ වී ශනි ග්‍රහයා භාව කේන්දරයේ ශනිට හිතකර රාශියක වේ නම් නිල් මැණික් පැලඳීමෙන් ඔහුගේ හෝ ඇයගේ වෘත්තිමය ජීවිතයේ දියුණුවක් ලැබෙන අතර ආදායම් මාර්ගයද වැඩි දියුණු වී ධනය ලැබීම සිදුවේ.
මේ ආකාරයටම ලග්නය වෘෂභ වී එම ජන්මියාගේ භාව කේන්දරයේ ශනි හිතකර රාශියක වූයේ නම් එම ජන්මියා නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැලඳීමෙන් ආර්ථික දියුණුව මෙන්ම ජීවිතයේ සෞභාග්‍යද උදාකරනු ඇත. මේ සුබ පල අන් ලග්නවලට වඩා මේ ලග්න හිමියාට ලැබෙනු ඇත. මන්ද වෘෂභයේ යෝග කාරක ග්‍රහයා ශනි වීම නිසාය.
ඉහත ආකාරයටම මිථුන ලග්න හිමියන්ට ආර්ථික දියුණුව හා දේපලවල දියුණුව ද ඇති කරයි.
කටක ලග්න හිමියන්ට නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැලඳීමේදී ඉහත ආකාරයට ශනි ග්‍රහයාගේ තත්ත්වය සුබ නම් විවාහය ප්‍රමාද වීම හෝ විවාහයේ ඇති ගැටලු මඟ හැරී යනු ඇත.
සිංහ ලග්න හිමියෙක් වී ජන්ම පත්‍රයේ ශනි ග්‍රහයා ප්රබලව යෙදී එම ශනි ග්‍රහයාට අයිති කාක නිල් හෝ නිල් මැණික් පැලඳීමෙන් අදාළ ජන්මියාට විවාහ ජීවිතයේ සාමය, සතුට උදාවන අතර තරගවලින් ජය ලැබීම සිදුවේ. ජීවතයට ඇති සතුරු බලපෑම්ද දුරු වී යනු ඇත.
කන්‍යා ලග්නයටද විශාල සුබ පල ප්‍රමාණයක් නිල් මැණික් පැලඳීමෙන් උදාවේ. ඒවා අතර ප්‍රේමයේ හා විවාහයේ ඇති ගැටලු විසඳී යනු ඇත. අධ්‍යාපන කටයුතු සාර්ථඛ කර ගැනීම මෙන්ම දරුපල ප්‍රමාද ස්ත්රීන්ට දරුපලද ඉක්මන් කර ගත හැක. තුලා ලග්නයට නිල් මැණික් වර්ග පැලඳීම ඉතා සුබ වේ. මන්ද තුලා ලග්නයටද යෝගකාරක ග්‍රහයා හා උච්ච ග්‍රහයා ශනි වීම නිසාය. තුලා ලග්න හිමියාට දේපළ, වස්තුව වැඩි වශයෙන් ලැබෙන අතර ආර්ථික දියුණුව, ධන වර්ධනය හා අධ්‍යාපනික දියුණුවද ඇති කරයි.
වෘශ්චික ලග්න හිමියන්ට නිල් මැණික් හෝ කාකනිල් මැණික් පැලඳීමෙන් සැඟවී තිබුණු සහජ කුසලතා ඔප්නංවා ගැනීමට හැකි වෙයි. එමෙන්ම නිවෙසේ දියුණුවද සැලසේ.
ධනු ලග්න හිමියන්ට නිල් මැණික් හෝ කාක නිල් මැණික් පැලඳීමේදී රැකියා දියුණුව, ව්‍යාපාර දියුණුව මෙන්ම ආර්ථික දියුණුවද, ධන වර්ධනය ද සිදු වේ.
මකර ලග්න හිමියන්ට අයිති මැණික් වන නිල් මැණික් වර්ග පැලඳීමෙන් ඔවුන්ගේ පෞරුෂයේ යම් අඩුවක් වී නම් එය නැති වී යනු ඇත. එමෙන්ම ධන සම්පත් වර්ධනය වී ජීවිතයේ දියුණුව, යසස උදාවනු ඇත.කුම්භ ලග්න හිමියන්ටද අයිති මැණික් නිල් මැණික් වර්ගයි. එම නිල් මැණික් පැලඳීමෙන් ජීවිතයට ඇති වී ඇති දුක් කම්කටොලු දුරුකර සැපත සතුට උදාවනු ඇත. සතුරන් පරාජය කිරීම මෙන්ම අලසකම නැති වී යාමටද හේතු වේ. මීන ලග්න හිමියන් ශනිට අදාළ මැණික වන නිල් මැණික හෝ කාක නිල් මැණික පැළඳීමෙන් බාධාවකින් තොරව මුදල් ලැබීම, මුදල් වියදම් කිරීමේදී සකසුරුවම් බව ඇතිවීම ආදී දේ සිදුවේ.
කාක නිල් මැණික් හෝ නිල් මැණික් හෝ ඉන්ද්රනීල මැණික් මිලදී ගැනීමේදී පලුදු වූ ගල් මෙන්ම පිච්චීමට ලක් වී මැරුණු ගල් නොගත යුතුයි. ඊට අමතරව ඇත්ත නිල් මැණික් වර්ග මෙන්ම පැහැපත් වීදුරු ගල් ද වෙළෙඳපොළේ ඇත. එනිසා මැණිකක් මිලදී ගැනීමට යෑමේදී මැණික් පිළිබඳ හොඳ දැනුමක් ඇති අයෙකු සමඟ යෑමට අමතක නොකරන්න. ව්‍යාජ මැණික් වලින් කිසිදු සුබ පලයක් නොලැබෙනු ඇත.
ජ්‍යොතිෂවේදීනි, දේශබන්ධු
මංජුලා පුෂ්පරාංගනී පල්ලේබැද්ද
silumina.lk