iranama
ටොලමියානු ජ්‍යොතිෂයෙන් 2017 ලග්න පලාපල
ධනු - විශිෂ්ටත්වය වසරේ සංකේතය වේ මකර - ගමන දුෂ්කරය එහෙත් ජයගත හැක
කුම්භ - ජීවිතයේ අසිරිමත් වසර මීන - ඔබ ඔබ ම වෙන්න
පෙරළිකාර 2017
අදින් ඇරඹෙන 2017 නව වසර වචනයේ පරිසමාප්තියෙන් ම අලුත් ම අලුත් ආරම්භයකි. ජ්‍යොතිෂය අනුව ඊට බලපාන හේතු දෙකක් තිබේ. ජනවාරි 26 දා සෙනසුරු ධනු රාශියට පිවිසෙන්නේ වසර 30 කට පසුව ය. අප්‍රේල් 08 දා යුරේනස් මේෂ රාශියට පැමිණෙන්නේ වසර 84 ක අලුත් චක්‍රයක් ආරම්භ කරමිනි. මේ ග්‍රහයෝ දෙදෙනා ම ලෝකය සහ මානව ශිෂ්ටාචාරය විප්ලවීය වෙනසකට බඳුන් කරන නියමුවෝ වෙති. ඒ අනුව 2017 සමස්ථ ලෝකයට ම පෙරළිකාර ආරම්භයක් වනු ඇත.
අපේ රටේ ලග්නය කුම්භ වේ. සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහයෝ දෙදෙනා ම කුම්භ රාශියේ සම අධිපතියෝ වෙති. රටේ ලග්නයෙන් 11 වැන්නට එන සෙනසුරු ආර්ථික ක්ෂේත්රයේ ශීඝ්‍ර වර්ධනයකට මුල පුරන අතර අලුත් ම අලුත් ආදායම් මාර්ග විවෘත කැර දෙයි. ජාතික ආර්ථිකය පෙර නොවු විරූ ලෙස ශක්තිමත් වෙයි.
රටේ ලග්නයෙන් 3 වැන්නට එන යුරේනස් මෙහි සෑම සියලු ක්ෂේත්රයක් හරහා විනිවිද යමින් ඒ සෑම සියලු දෙයක් ම විප්ලවකාරී නවීකරණයකට ලක් කරයි. පැරණි දේ ඉවත් කිරීම සහ අලුත් ම අලුත් දේ හඳුන්වාදීම යුරේනස්ගේ නිසර්ග ලක්ෂණය වේ.
ධනු ලග්නය
ගිනි බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයකින් ද යුතු ධනු ලග්නය හිමි ඔබ හැම විට ම තම හෘදය සාක්ෂිය සමඟ ගනු දෙනු කරන අනුකම්පා සහගත චරිතයක් වන මුත් කිසිවකුගේ බලහත්කාරය නොරුස්සන සටන්කාමියෙකි. පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඔබ ජීවිතයේ විශාල පසුබෑමකට ගොදුරු විය. ඔබ උපයා ගත් බොහෝ දේ අහිමි කරවන තැනට කටයුතු යෙදිණ. රහසිගත සතුරු කුමන්ත්‍රණවල ගොදුරක් බවට පත්විය. එසේ වූයේ ඔබේ ලග්නයෙන් 02 සහ 03 අධිපති සෙනසුරු ග්‍රහයා ඔබට පරම සතුරු අඳුරු වෘශ්චික ජල රාශිය හෙවත් 12 වැන්න නම් මර්මස්ථානයේ ගමන් කරමින් ඒරාෂ්ටක තත්ත්වයක් උදා කිරීම ය. 2017 ජනවාරි 26 දා එකී සෙනසුරු ඔබේ ලග්න ශීර්ෂයට පැමිණෙයි. සෙනසුරු කොයි තැනට මාරක වෙතත් ධනු රාශියේදී නම් දෙවියන් බ්‍රහ්මයන් ලෙසින් ලෝ සතට උපකාර කරන්නට ඉදිරිපත් වෙයි. ධනුව ගිනි රාශි ත්‍රිත්වය අතරින් ශ්‍රේෂ්ඨතම රාශිය වන අතර ම සියලු සුබ ග්‍රහයන් අතර ශ්‍රේෂ්ඨ වන ගුරු ග්‍රහයාගේ මූල ත්‍රිකෝණ රාශිය ද වෙයි. ආධ්‍යාත්මික ග්‍රහයන් අතර ගුරු සහ සෙනසුරු ප්රමුඛවන අතර ඔවුන් දෙදෙනා පංච බල නියමය අනුවද අතිජාත මිතුරන් වෙයි. මේ නිසා සෙනසුරු ධනු රාශියේ ගමන් ගන්නේ ගුරු ග්‍රහයාගේ බලය ද තමා වෙත ආරෝපණය කැර ගනිමිනි. එහෙයින් සෙනසුරු ලග්න ඒරාෂ්ටකය පිළිබඳව කිසිදු ධනු ලග්න හිමියකු බිය විය යුතු නොවේ. එහෙත් ඔබේ ජීවිතයේ අති දැවැන්ත පරිවර්තනයක් 2017 ජනවාරි 26 දා සිට ආරම්භ වෙයි. භාරධූර වගකීම් ඔබ මත පැටවෙයි. කාර්ය බහුලබව පීඩාකාරී විය හැකි මට්ටම ද ඉක්මවා යයි. ශාස්ත්‍රීය පර්යේෂණයන් සහ පැරණි රහස් ගවේෂණය කිරීමේ අවස්ථා උදාවෙයි. කොටින් ම ඔබට පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් නැති කරවන තැනට කටයුතු සැලසෙයි.
2017 අප්‍රේල් 08 දා පෙරළිකාර වායු බලැති යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 05 වැන්න වූ ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එතැන ඔබේ කේන්දරයේ බලවත් ත්‍රිකෝණස්ථානයකි. මේ සමඟ ම යුරේනස් සහ සෙනසුරු අතර අංශක 120 සුබ දෘෂ්ටි සංයෝගයක් හට ගනී. ඒ ඉතා බලවත් පිහිටීමකි. මේ අතර සිංහ ගිනි රාශියේ සිටින රාහු ග්‍රහයා සමඟ යුරේනස් සහ සෙනසුරු නැවත අංශක 120 දෘෂ්ටි සංයෝගයක් නිර්මාණය කරයි. මේ අනුව ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 1-5-9 යන අති ප්‍රබල ත්‍රිකෝණ බල මධ්‍යස්ථාන වන ගිනි රාශි ත්‍රිත්වය ම ඒවාට අති මිතුරු ප්‍රතිපෝෂක වායු ග්‍රහයන් තිදෙනා විසින් උත්තේජනය කරනු ලැබේ. මේ ඉතා ම කලාතුරකින් හටගන්නා සංසිද්ධියකි. 2017 ඔබේ ජීවිතයේ අති මහත් පෙරළියකට මුල පුරන අවස්ථාවක් වෙයි. ඒ වෙනස ඔබේ මනස - සිතිවිලි පෞරුෂය - බුද්ධිය සහ ප්‍රඥාව - ක්‍රියාශූරත්වය - සහ සමාජ සබඳතා ආදී සෑම සියලු දෙයක් පාසාම විප්ලවීය පරිවර්තනයකට මුල පුරයි.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ජලකාරක කටක මර්මස්ථානයට පිවිසීම තරමක් පීඩාදායක ය. අභිසම්භිධාන පිරිත සජ්ජායනා කිරීම මගින් එකී පීඩාව අවම කැර ගත හැකිය. එහෙත් එතැන් සිට එන වසර එක හමාරක කාලය පරෙස්සම් විය යුතු ය. ගින්දර විදුලිය වස විස සර්පයන් සහ හදිසි අනතුරු ආදියෙන් ඇතිවිය හැකි පීඩාවන් ද ගංගා සමුදුරු ජලාශ ආදියේ ක්‍රියා කිරීමෙන් ද ඇති විය හැකි අනතුරු පිළිබඳව සැලකිලිමත්විය යුතු ය. ඇදුම වැනි සහජ අසාත්මිකතා ආශ්රිත රෝගයන් ගෙන් පෙළෙන අය ද විශේෂයෙන් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වගබලා ගැනීම මැනවි. රාහු 08 වැන්නට ඒමෙන් රැකියාව ආශ්රිත අනපේක්ෂිත වාසි සහ ජයග්රහණයන් භුක්ති විඳීමට අවස්ථාව උදා වන්නා සේම මෙතෙක් රැකියාව ආශ්‍රිතව පැවති බලවත් පීඩාවක් ඉවත්වීමත් සිදුවේ. ඔබට අහිමි කරන ලද තනතුරු වරප්‍රසාද පාරිතෝෂික යනාදිය වන්දි සමඟ ම නැවත හිමිවන කාලයකි.
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නාධිපති වූ ගුරු ග්‍රහයා 11 වැන්න වූ ඔබට පරම මිතුරු වායු බලැති තුලාවට පිවිසීම මහා භාග්‍යමත් කාලයක ආරම්භය වෙයි. එවිට යුරේනස් සහ ගුරු අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගැනීම ද අභියෝගාත්මක වෙයි. කෙටි කාලීන කැළඹීමක් හටගත හැකි මුත් මේ පිහිටීම සපුරා ම බුද්ධි විප්ලවයක් බවට පත්ව ඔබ විසින් ලෝකයට නවතම නිර්මාණ දායාධ කරන අතර ඒ වෙනුවෙන් පතළ කීර්තියක් දිනා ගැනීමේ අවස්ථාවද උදාවෙයි. පර්යේෂකයන්ට සහ විද්‍යා කලා ශාස්ත්‍ර පිළිබඳ නව නිර්මාණකරුවන්ට මේ ස්වර්ණමය අවස්ථාවක් වෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ධනු ලග්නයෙන් උපන් ඔබ විශිෂ්ටයකු බවට පත් කරවන ජයග්‍රාහී වසරකි.
මකර ලග්නය
අනම්‍ය තද පඨවි බලයෙන් ද අධිවේගයෙන් ද පෙරළිකාර මනසකින් ද යුත් මකර ලග්නය හිමි ඔබ කොතැන ගියත් තම අයිතිය සහ බලය තහවුරු කැර ගැනීමට උත්සුක වෙයි. අඩුවෙන් ම දීමට සහ වැඩියෙන් ම ගැනීමට පුරුදුව සිටින ඔබ පසුගිය වසර දෙක හමාරක කාලයේදී ඒ දෙ අංශයෙන් ම සාර්ථක වූ අතර ජීවිතයේ ලබාගත හැකි ඉහළ ම තනතුරු ආදියට ද නිතරගයෙන් පත්විය. ගෙවුණු වසර දෙක හමාරක කාලය ඔබේ ජීවිතයේ වසර 30 කට වරක් උදාවන ස්වර්ණමය අවස්ථාවක් විය. ඊට හේතු වූයේ ඔබේ ලග්නාධිපති වූ සෙනසුරු ඔබට පරම මිතුරු 11 වැන්න හෙවත් වෘශ්චික ජල රාශියේ ගමන් කිරීම ය. සෙනසුරුගේ වෘශ්චික රාශි ගමන ලෝකයට ම පීඩාදායක වුවත් මකර ලග්න හිමියන් රාජකීය ලීලාවකට පත්වූයේ ඒ නිසාය. එහෙත් 2017 ජනවාරි 26 දායින් පසුව ක්‍රම ක්‍රමයෙන් ඔබේ රාජකීයත්වයේ රශ්මි මාලාව මලානික වෙමින් යන්නේ ඔබේ ලග්නාධිපති ඔබට සතුරු ධනු ගිනි රාශියේ ගමන් ගනිමින් ලග්න ඒරාෂ්ටකය ආරම්භ කරන හෙයිනි. ධනුව ඔබේ ලග්නයෙන් 12 වැන්න වූ මර්මස්ථානයකි. එහෙයින් ඔබගේ අනම්‍ය තද ස්වරූපය ඉදිරි කාලය සඳහා වලංගු නොවන බව වටහාගත යුතුය. එමෙන් ම මෙතෙක් පැවති ඒ නිසර්ග අහංකාර උද්ධච්ච ස්වරූපය විසින් ඔබේ සමාජ ප්‍රතිරූපය අනුවණ බියගුළු ස්වරූපයකට රූපාන්තරණය කැර ඇති බැව් ඔබ පසක් කොට ගන්නේ ඉදිරි වසර හතහමාරක කාලයේදී ය. සෙනසුරු ඔබේ ලග්නයෙන් 12 වැන්නේ ගත කරන වසර දෙක හමාරක කාලය බුද්ධිමත් ලෙස යොදා ගතහොත් ඔබට ජීවිතයේ මග හැරුණු වටිනා පාඩම් ඉගෙන ගත හැකිය. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතා අඩු දැනුමකින් ලොකු වැඩ මවා පෙන්වීම මකර ලග්න හිමියන්ට ආවේණික පුරුද්දකි. එහෙත් දැන් ඔබට ඇත්තට ම වැඩ ඉගෙන ගැනීමට සිදුවෙයි. මක් නිසාද යත් ඔබේ ලග්නාධිපති 12 වැන්නේ මර්මස්ථානයේදී ඔබේ සැබෑ ස්වරූපය අනාවරණය කරන හෙයිනි. ඔබේ ජයග්‍රහණය රඳා පවතින්නේ ඔබ ඔබට ම අවංක වීමෙනි. මෙවර සෙනසුරු විසින් ඔබට ඒ පාඩම කියා දෙයි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ඔබේ ලග්නයෙන් 04 වැන්න වූ සතුරු ගිනි බලයෙන් යුත් මේෂ රාශියට පැමිණෙයි. එතැන් සිට ඔහු ඔබේ ලග්නයෙන් 10 වැන්න වූ වායු බලැති තුලා රාශිය දකී. මේ ඔබේ රැකියාව පිළිබඳ මතභේදාත්මක වාතාවරණයක ආරම්භයකි. සෙනසුරු තුලා රාශියට පැමිණි 2011 නොවැම්බර් සිට මේ දක්වා වූ කාලය රැකියාව සම්බන්ධයෙන් ඔබ වේගවත් ප්‍රගතියක් අත්කැර ගැනීමේ ආරම්භක අවස්ථාව වෙයි. එහෙත් සෙනසුරු 12 වැන්නේ සිටියදී ම වායු බලැති යුරේනස් විසින් 10 වැන්න කෙරෙහි අංශක 180 දෘෂ්ටිය පතිත කිරීම ඔබේ රැකියාව කෙරෙහි දැඩි පීඩනයකි.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 07 වැන්න වූ පරම මිතුරු කටක රාශියට ගමන් කරයි. ලග්නයෙන් 08 වැන්නේ සතුරු සිංහ රාශියේ ගමනට වඩා 07 වැන්නේ මිතුරු කටකයේ රාහු ගමන ඔබට හිතකර නොවේ. විවාහය - සහකරු හෝ සහකාරිය - සමාජ සබඳතා - හවුල් කටයුතු යනාදිය ආශ්‍රිතව අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙයි. ඔබේ පෞරුෂයට ද එමගින් ඇති කරන්නේ හානිදායක බලපෑමකි. අතිධාවනකාරී නොවී ආත්ම දමනය ඇති කැර ගත හැකිනම් මේ තත්ත්වය අවම කැර ගත හැකිය. අභිසම්භිධාන පිරිත සහ මෝර පිරිත සජ්ජායනා කිරීම ඉතා ප්රශස්ත වෙයි.
2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 10 වැන්නේ ගමන් කිරීමද සුබදායක නොවේ. ඔහු ඔබේ ලග්නයෙන් 03 සහ 12 අධිපතියා ය. රැකියාවේ නියත වෙනසක් එමඟින් නිවේදනය කරයි. එහෙත් ගුරු නෛසර්ගික සුබ ග්‍රහයකු වන හෙයින් ඔබව සොලවනවා මිස වට්ටන්නේ නැත. කෙටි සංචාර සහ විදේශ ගමන් බහුල වෙයි. ඒවායින් ලාබ ප්‍රයෝජන හිමිවෙයි. සමස්තයක් වශයෙන් ගත් කළ 2017 ඔබට දැඩි අභියෝගාත්මක වර්ෂයකි. දෛවය සමඟ ගනුදෙනු කළ යුතු ආකාරය පිළිබඳ වූ මේ ප්‍රායෝගික පරීක්ෂණය දුෂ්කරය. එහෙත් ඔබට එය ජයගත හැකිය.
කුම්භ ලග්නය
වායු බලයෙන් ද මන්දවේගයෙන් ද ආත්ම කේන්ද්‍රීය මනසකින් ද යුත් කුම්භ ලග්නයෙන් උපන් ඔබ හැම විට ම ඔබගේ ම න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන පුද්ගලයෙකි. ඕනෑ ම ජීවන ජවනිකාවක තිර රචනය ද අධ්‍යක්ෂණය ද ප්‍රධාන නළුවා ද ඒ සියල්ලෙහි විචාරකයා ද ඔබ ම මිස අන් කිසිවකු නොවේ. එහෙත් ඔබේ නිර්මාණය සමාජයේ ජනප්‍රිය වෙයි. සිතූ දේ කෙසේ හෝ ඉටු කැර ගන්නා හිතුවක්කාරයකු වූ ඔබට පසුගිය වසර දෙක හමාරක කාලයේදී සිදුවූයේ කුමක් ද ? ඔබේ රැකියාව සහ රැකියා ස්ථානය ඔබට වධක භූමියක් හා සමාන විය. ඔබට ලැබිය යුතු තනතුරු සහ වරප්‍රසාද නො ලැබී ගියා පමණක් නොව ඔබේ නිර්මාණාත්මක ක්‍රියා කෞෂල්‍යයට දොර මුල්ලේ තැබූ කොස්ස තරම් වත් වටිනාකමක් හිමි වූයේ නැත. ඇතැම් විට දැනටත් ඔබ රැකියාව අහිමි වූවෙක් විය හැකිය. මෙසේ සිදු වූයේ ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබට සතුරු විසකුරු අඳුරු වෘශ්චික රාශියේ ගමන් ගැනීම නිසා ය. ඔබේ ක්‍රියා කෞෂල්‍යය සහ රැකියාව නිවේදනය කරන 10 වැන්න එයින් බලවත් පීඩාවකට ලක්විය. එහි අනෙක් විපාකය වූයේ ඔබේ අයමාර්ග සියල්ල අවහිර වීමය. එහෙත් 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නාධිපති සෙනසුරු ඔබට අති මිතුරු ගිනි රාශිය වූ ධනුවට පැමිණෙයි. ධනු රාශිය ඔබේ ලග්නයෙන් 11 වැන්න හෙවත් සියලු සුබ යෝග ක්‍රියාත්මක කරවන රුවන් දොරටුවයි. ඉදිරි වසර දෙක හමාරක කාලය වසර 30 කට පසුව උදාවන ස්වර්ණමය අවස්ථාවකි. අහිමි වූ රැකියා - තනතුරු - උසස්වීම් සහ ඊට හිමි සියලු වරප්‍රසාද වන්දි සමඟ ම ඔබට නැවත හිමිවෙයි. සියලු අතින් ම ඔබ බලවත්වන අතර නව ආදායම් මාර්ග විවෘත වෙයි. මේ කාලයෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගත යුතු ය.
2017 අප්‍රේල් 08 දා පෙරළිකාර යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 03 වැන්න වු ගිනි බලැති මේෂ රාශියට පැමිණෙයි. එවිට ඔබේ ලග්නයේ 11 සහ 03 යන කාම ගිනි ත්‍රිකෝණයේ තැන්පත් සෙනසුරු සහ යුරේනස් අතර අංශක 120 ප්‍රබල දෘෂ්ටි සංයෝගයක් හටගනී. ඔබ නිරත ක්ෂේත්රය කුමක් වුවත් ඔබ එහි විශිෂ්ටයකු බවට පත්වෙයි. එක් පැත්තකින් ප්‍රසිද්ධියත් අනෙක් පැත්තෙන් ධනයත් ගලා එයි. ඔබ විද්‍යා තාක්ෂණ පරිගණක හෝ ලේඛන මුද්‍රණ හෝ විදුලිය - හෝ ගුවන් යානා සම්බන්ධ ක්ෂේත්රයක නිරත වන්නෙක් නම් මේ සුබ ඵල උපරිම වෙයි. ඔබේ කේන්දරයේ ප්‍රබල ම සුබඵල දෙන ගිනි රාශි ත්‍රිත්වය වූ මේෂ - සිංහ - ධනු යන බල මධ්‍යස්ථාන එක් විටම යුරේනස් - සෙනසුරු - රාහු යන වායූ ග්‍රහයන් වෙතින් උත්තේජනය වීම අතිශය කලාතුරකින් සිදුවන්නකි. මේ ඔබේ ජිවිතයේ එක් වරක් පමණක් යෙදෙන අවස්ථාවකි. එයින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. දේශපාලනයේ නිරත කුම්භ ලග්න හිමියන් ද මේ වාසනාවන්තයන් අතරට එක්වෙයි.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 06 වැන්න වූ ජල බලැති කටක රාශියට පිවිසෙයි. 06 වැන්න රාහු ග්‍රහයා ඉතා බලවත්වන ස්ථානයකි. ඔබේ සතුරන් භීතියට පත් කරවමින් ඔබේ යසස පැතිරෙයි. විදේශ ගමන් - විදේශ රැකියා - විදේශ ශිෂ්‍යත්ව ආදිය ආයාසයකින් තොරව ලබාගත හැකිවෙයි. විවාහය සහ සමාජ සබඳතා - හවුල් ව්‍යාපාර යනාදිය ආශ්‍රිතව මෙතෙක් පැවති පීඩනය ද අවසන් වෙයි. මේ සමඟ ම ජල රාශියක සිටින රාහු සහ ගිනි රාශියක සිටින සෙනසුරු අතර අංශක 180 දෘෂ්ටි සංයෝගයක් හට ගනී. කෙටි කාලීන පීඩනයක් වුවත් දිගුකාලීනව එය ඔබට වාසි සහගත ය. 2017 සැප්තැම්බර් 13 දා ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 09 වැන්න වූ වායු බලැති තුලා රාශියට පැමිණීම අතිශය සුබදායක ය. එමගින් ඔබේ කේන්දරයේ 1-5-9 යන වායු බල ත්‍රිකෝණය තුළ විශිෂ්ට බලයක් ගැබ්වෙයි. සමාජයේ උසස් ම තනතුරු හොබවන බලවතුන් - රාජ්‍ය නායකයන් - සහ ආගමික උතුමන් වෙතින් පිහිට ආරක්ෂාව ලබයි. මේ සමඟ ම ඔබේ රැකියාවේ කැපී පෙනෙන වෙනසක් හට ගනී.
සමස්තයක් වශයෙන් 2017 වර්ෂය කුම්භ ලග්නය හිමි ඔබට දෛවයෙන් ලැබෙන අසිරිමත් ම කාල පරිච්ජේදයක් වෙයි.
මීන ලග්නය
ජල බලයෙන් ද මධ්‍යස්ථ වේගයෙන් ද නිර්මල චින්තනයෙන් ද යුතු මීන ලග්නයෙන් උපන් ඔබ නිසල විලක් බඳුය. සියල්ල කෙරෙහි අධි සංවේදීවන මුත් දිය මතුපිට සිහින් රැළි තරංගයක් වත් නංවන්නේ කලාතුරකිනි.එහෙයින් සමාජයට ඔබ පෙන්නුම් කරන්නේ විදග්ධ තාපස චර්යාවකි. නමුත් ඔබේ අභ්‍යන්තර කැළඹීම සුනාමියක් තරම් ප්රවේගකාරීය.පිටින් පෙන්වන විදග්ධ තාපස වෘතය යටින් ඇත්තේ නොතිත් ආශාවන් පිළිබඳ අතෘප්තිය යි. මෙන්න මෙයයි ඔබේ දෙබිඩි ස්වභාවය. වරෙක තියුණු සහජ බුද්ධියකින් තැන්පත්ව ක්‍රියාකරන ඔබ වරෙක බේබදු රස්තියාදුකාරයකු මෙන් වගකීම් විරහිතව ක්‍රියා කරයි. එළඹෙන 2017 වර්ෂයේදී ඔබට මේ ද්විත්ව රංගනය අතහැර එක් චරිතයක් පමණක් තෝරා ගන්නට දෛවය විසින් බල කරනු ලැබේ. 2017 ජනවාරි 26 දා ඔබේ ලග්නයෙන් 10 වැන්න හෙවත් ඔබට පරම සතුරු ගිනි බලයෙන් යුත් ධනු රාශියට පැමිණෙන සෙනසුරු විසින් ඔබේ රැකියාව සහ ක්‍රියා කෞෂල්‍යය කෙරෙහි ඉතා අහිතකර පීඩනයක් ඇති කරනු ලැබේ. එහෙයින් ඔබ නිසර්ගයෙන් ම ඔබට උරුම තැන්පත් බුද්ධිමත් විචක්ෂණශීලී භූමිකාව බදා අල්ලා ගත යුතු අතර වගකීම් විරහිත ගොහොදු චරිතය ජීවිතයෙන් ම පන්නා දැමිය යුතුව තිබේ.මීට වසර 29 කට පෙර ඔබ කිසියම් කම්පනයකට ගොදුරු වූයේ නම් ඒ හා සමාන කම්පනයකට ඉදිරි කාලයේදී මුහුණ දීමට සිදුවෙයි.
2017 අප්‍රේල් 08 දා යුරේනස් ග්‍රහයා ඔබේ ලග්නයෙන් 02 වැන්න වූ ඔබට පරම සතුරු මේෂ ගිනි රාශියට පැමිණෙයි. ඔබේ තැන්පත් ධනය සහ කුටුම්බය කෙරෙහි ඉන් ඇති කෙරෙන්නේ අනර්ථයකි. එහෙයින් ඉදිරි සත්වසරක කාලය ඔබ අලුත් ආයෝජන කෙරෙහි යොමු නොවීම වැදගත් ය. ඔබේ වචන සහ ආහාර පාන රටාව ඔබට ම එරෙහි සතුරෙක් විය හැකි හෙයින් ඒ දෙකම පමණ දැන භාවිතා කිරීම ද අත්‍යවශ්‍ය වේ. 10 වැන්නේ සෙනසුරු සහ 02 වැන්නේ යුරේනස් අතර හට ගන්නා අංශක 120 දෘෂ්ටිය ඔබට ඉතා විසකුරු ය. යුරේනස් ඔබේ කේන්දරයේ 12 වැන්නේ මර්මස්ථානයේ නිවේදකයා වන අතර සෙනසුරු 11 වැන්නේ අධිපතියා ය. කෙසේ නමුත් අභිසම්භිධාන පිරිත සහ මෝර පිරිත මේ සඳහා ඉතා හොඳ පිළියමකි.
2017 අගෝස්තු 17 දා රාහු ග්‍රහයා ඔබේ ලග්නයේ බලවත් ස්ථානයක් වූ 06 වැන්න අතහැර 05 වැන්න වූ ඔබට පරම මිතුරු කටක රාශියට පැමිණීම ද අහිතකරය. ඔබ අවිවාහකයෙක් නම් ඔබේ ප්‍රේම සබඳතා ආදියෙහිදි ආවේගශීලී නොවීමට වග බලාගත යුතුව තිබේ. එමෙන් ම ඔබේ චරිතය කිළිටි කරවන ලිංගික සබඳතා ඇතිවිය හැකි බවද මතක තබා ගත යුතුය. අධ්‍යාපන සහ විභාග ආදී ඉගෙනීමේ කටයුතු විසිරී යා නොදී රැක ගැනීමද ඔබේ වගකීමකි.
2017 සැප්තැම්බර් 13 දා ඔබේ ලග්නයේ සම අධිපති ගුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් 08 වැන්න වූ ඔබට සතුරු වායු බලයෙන් යුත් මර්මස්ථානයට පැමිණෙයි. වධකාගාරයේදී කුමන බලවතකු වුව අසරණ වන්නා සේ මහ බලවත් ගුරු ග්‍රහයා ද 08 වැන්නේදී දුබල වෙයි. මෙය ද ඔබට දැඩි පීඩනයකි. ගිනි රාශියක සිටින යුරේනස් අංශක 180 අසුබ දෘෂ්ටියකින් ඔබේ ලග්නයේ 08 වැන්න සහ ලග්නාධිපතියා පීඩනයට පත් කිරීම අනතුරුදායක ය. රුධිරගත මේදය - ගින්දර - පුපුරන ද්‍රවය - වස විස - සහ විදුලිය යනාදියෙන් අනතුරු ඇතිවිය හැකි හෙයින් පරෙස්සම්වන්න.
සමස්තයක් වශයෙන් ගත් කළ මීන ලග්නයෙන් උපන් ඔබට 2017 වර්ෂය යනු සංග්රාම භූමියක් මැදින් නිරායුදව යන ගමනක් හා sසමාන එයි. එහෙත් උපාය ඥානයෙන් මේ දුෂ්කර අවස්ථාව ජයගත හැකිය .
silumina.lk