Life
හෝමෝන ක්‍රියාවලිය යහපත් කරවන මොළය වඩවන අළුපුහුල්
ආහාර අනුභව කිරීමේ අරමුණ හුදෙක් කුස පුරවා ගැනීම පමණක් නොවේ. ආයුෂය, බලය, සැපය, වර්ණය, ප්‍රඥාව වර්ධනය කර ගැනීම අප ගන්නා ආහාරයේ අතුරුඵල වේ.
එහෙත් අද නම් අප ආහාර ගනුයේ මේ කියන අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොවේ. එය හුදෙක් දිව පිනවීමට, කුස පිනවීමට පමණක් සීමා වී තිබේ.
අපේ පැරැන්නන් නම් යම් ආහාරයක් අනුභව කිරීමට පෙර එය තමාගේ ශරීරයට ගුණද අගුණද එය කාලයට ගැළපේද නැද්ද යන්න විමසා බැලීමට පුරුදුව සිටිය බව කිව යුතුය.
අප රටෙහි පැහැදිලි තු විපර්යාසයක් නොමැති වුවද එහි ජනතාවට වැසි හා වියළි කාලගුණයන්හි දී ගත යුතු ආහාර පිළිබඳව අවබෝධයක් තිබිණ. නමුත් වර්තමානය වන විට මෙම දැනුම වළපල්ලට දමා හුදෙක් කුස හා දිව පිනවීම අරමුණු කරගත් ආහාර රටාවකට හුරු වී දිනකට බේත් පෙති කරල් රාශියක් ගිල දමන තත්ත්වයක් ඇති වී තිබේ.
මෙම තත්ත්වයට මුහුණ දෙන්නේ රටේ සංවර්ධනයට උර දෙන ශ්‍රම බළකායය. තවද මෙය හේතු කොට ගෙන අප රටේ ජාතික ධනය ඖෂධ සඳහා විදේශවලට ඇදී යෑම ද වේගවත් වී ඇත. එබැවින් නිරෝගී ජනතාවක් බිහිකරලීම සඳහායි.
යහපත් සෞඛ්‍යමය ප්රතිලාභ අත්කර දෙන ආහාර පිළිබඳව ජනතාව දැනුම්වත් කොට තම ආහාර ගැනීම සඳහා ඔවුහු පෙලඹවිය යුතුය.
අපට බොහෝ සෞඛ්‍යමය ප්රතිලාභ අත්කර දෙන ආහාරයකි අළුපුහුල්. Benincasa hispida යන උද්භිද විද්‍යා නාමයෙන් හැඳින්වෙන අළුපුහුල් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල ඈත අතීතයේ සිටම වැවෙන භෝගයකි. වර්තමානයෙත් එය ඇමෙරිකාවේ මෙන්ම යුරෝපීය රටවලද වවනු ලබයි.
ලාංකීය ජන සාමජයෙහි අළු පුහුල්වලට අදාළ විශේෂ රාශියක් දැකිය හැකිය. හුදු ආහාර සහ ඖෂධ පිණිස පමණක් නොව ශාන්තිකර්ම, නව නිවාසවල වස්දොස් යැවීම ආදී කටයුතු සඳහාද භාවිත කෙරෙයි. පුහුල් හොරා කරෙන් දැනේ වැනි ජනකතා ද නිර්මාණය වී තිබෙන්නේ ද අළුපුහුල් වටාය. පෙර කී භාවිතාවන් සඳහා අළුපුහුල් යොදා ගත්තේ මන්දැයි මෙහි ගුණ විමසා බැලීමෙන් පෙනී යයි.
ඖෂධීය වශයෙන් අළුපුහුල්වල වැලේ සියලුම අංගයන් ප්‍රයෝජනයට ගනු ලබයි. ලංකාවේ වියළි කලාපය ඇතුළත හැම ප්‍රදේශයකම වැවෙන අළුපුහුල් ආහාරයට ගන්නට නම් කැමැති වන පිරිස ඉතා අල්පය. නමුත් සම්ප්‍රදායික ලෙස යක් තොවිල් ආදියට නම් නැතුවම බැරිය. මේ නිසාමදෝ ආහාරයට වඩා අදටත් පුහුල් භාවිත වනුයේ ශාන්තිකර්ම උදෙසාය. එහෙයින්ම මේවා ආහාරයට ගැනීමට ඇතැම්හු බිය වෙති. ශාන්ති කර්ම සඳහා පුහුල් යොදා ගන්නේ ඒවායේ ඇති ගුණ සමුදාය නිසා විය යුතුය. නමුත් පැසුණු අළුපුහුල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ බොහෝ දෝෂයන් සමනය කර ගත හැකි බව දේශීය වෛද්‍ය ක්රමයේ සඳහන් වේ. මධුර රසයෙන් යුත් පුහුල් ශීත ගුණ දෙන ආහාරයක් වශයෙන් අප වෛද්‍ය ක්‍රමයේදී හඳුනාගෙන ඇත.
පෝෂණ විද්‍යාත්මකව මෙහි ඇති සංඝටකයන් දෙස බැලුවහොත් තන්තු, සෝඩියම්, සින්ක්, යකඩ, පොස්පරස් මෙන්ම විටමින් B කාණ්ඩයේ බොහෝ දෑ අන්තර්ගත බව පෙනේ. විශේෂයෙන් ශක්තිය, ප්‍රෝටීන්, විටමින් C, විටමින් B12, B1, B6,B5,B3, ආදිය සැලකිය යුතු ප්‍රමාණයක් අන්තර්ගත වේ. ඒ අනුව ගත් කලද පෝෂණීය අගයෙන් වැඩි ආහාරයක් ලෙස ද හඳුනා ගත හැකිය.
වර්තමානයේ සමාජයේ පවත්නා බොහෝ රෝගයන් සඳහා අළුපුහුල් ආහාරයක් ලෙස ගැනීම ඉතා වැදගත් වේ. අද සාමජයේ බහුලව දැකිය හැකි ආමාශයේ හා ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝගයන්ට අළුපුහුල් ඉතා හොඳ ප්‍රතිකාරයක් ද වෙයි. විශේෂයෙන් ආමාශයේ දැවිල්ල මෙන්ම තුවාල ඇති අයට උදෑසන අළුපුහුල් යුෂ වීදුරුවක් පානය කිරීම යෙහෙකි.
මෙසේ පානය කිරීමෙන් පසු අවම වශයෙන් පැය 2ක් වත් වෙනත් කිසිදු ආහාරයක් නොගෙන සිටීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. එයට අමතරව වර්තමානයේ දැකිය හැකි තවත් රෝග තත්ත්වයක් වන මහන්ත‍්‍රය තුළ හටගන්නා පිළිකා වැළැක්වීමට ද අළුපුහුල් යහපත් වේ. මලබද්ධය වැළැක්වීමටද පුහුල්වලට හැකියාව ඇත. එයට හේතු වනුයේ මෙහි ඇති තන්තු ප්‍රමාණයයි. රුධිර ගත මේදය ඇති අයට ද ඉතා ගුණ ආහාරයකි. මේ නිසාම හදවත් රෝග අවදානමෙන් ද මිදිය හැකිවේ. පුහුල්වල තවත් විශේෂ හැකියාවක් වනුයේ අධි රුධිරපීඩනය පාලනය කිරීමට ඇති හැකියාවයි. එම නිසා අධි රුධිර පීඩනය ඇති අයට එය ආහාරයට පිණිස දීමට හැකි නම් අධි රුධිරපීඩනයට ඇති අනියත බිය නැතිකර ගත හැකිය. තවද මොළයේ ලේ නහරවල ලේ කැටි හිරවීම හා පිපිරීම නිසා ඇති වන ආඝාතය වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීමට ද පුහුල්වලට හැකියාව ඇත.
අළුපුහුල්වල ඇති විශේෂත්වය නම් මොළයේ ක්‍රියාකාරීත්වය ඇති කරන යහපත් බලපෑමයි. විශේෂයෙන් මොළයට හොඳින් රුධිරය සපයා දෙයි. මෙහි ඇති යකඩ වැනි ඛනිජ හේතුවෙන් මතක ශක්තිය වර්ධනය වේ. තවද විවිධ මානසික රෝග ඇති අයට මෙන්ම මානසික ආතතිය අධික අයට මහඟු ආහාරයකි. විවිධ ආහාර හා ඖෂධ හේතුවෙන් ඇතිවන මත් බව දුරලීම සඳහා අළුපුහුල් යුෂ යොදා ගත හැකිය. තවද වර්තමානයේ අප ගන්නා ආහාරවල ඇති විෂ තත්ත්වය අවම කර ගැනීම සඳහා ද අළුපුහුල් යොදා ගත හැකිවේ. අප ශරීරයට ඇතුළුවන රසදිය වැනි විෂ වර්ගවලින් වන හානිය අවම කිරීමට අළුපුහුල්වලට හැකියාව ඇත.
අප ආහාරයට ගන්නා ආහාරවලට යොදන කෘෂි රසායනවල රසදිය අන්තර්ගතව ඇත්නම් ඒවා ශරීරගතවීමේදී ශරීරයට වන හානිය අවම කිරීමට අළුපුහුල් යොදා ගත හැකිවේ.
අළුපුහුල්වල තවත් විශේෂ ගුණයක් වනුයේ ක්ෂය රෝගයෙන් ශරීරය යථා තත්ත්වයට පත් කිරීමට හැකි වීමය.
විශේෂයෙන් ඇදුම සහ ක්ෂය රෝගය නිසා දුර්වලවූ පෙණහලු යථා තත්ත්වයට පත් කිරීමට අළුපුහුල් යොදා තනන ලද ඖෂධවලට මෙන්ම ආහාරවලට ද හැකියාව ඇත. එය ශරීරයේ බර අඩු කිරීමට යොදා ගත හැකි ආහාරයක් ද වේ. එම නිසා අධික ව්‍යායාමය අකැමැති අයට ඉතාමත් යහපත් වේ.
අළුපුහුල්වල තවත් විශේෂ ගුණයක් වනුයේ රත්පිත හා සම්බන්ධ රෝග සුවපත් කිරීමට ඊට ඇති හැකියාවයි.
විශේෂයෙන් ගුද මාර්ගයේ මෙන්ම මූත්‍රා සමග ලේ පිටවීම, නාසයෙන් ලේ පිටවීම ද වැනි රෝගවලදී අළුපුහුල් ගෙඩියේ යුෂ ඉතාමත් වැදගත් වේ. නිරන්තරයෙන් සැදෙන හිස රුදාවට මෙන්ම ඉරුවාරදයට ද ප්රත්යක්ෂ ඖෂධයකි.
නිරන්තරයෙන් ඉරුවාරදයෙන් පෙළෙන අයට එම රෝගය හැදෙන වාර ගණන අඩුකිරීමට අළුපුහුල්වලට හැකියාව ඇත. රාත්‍රී නින්ද අඩුවෙන් යන අයට යහපත් නින්දක් ලබාගැනීමට පුහුල් දිව ඔසුවකි. යහපත් මානසික සෞඛ්‍යය තත්ත්වයක් පවත්වාගෙන යාමට කැමැති ඕනෑම කෙනකුට අළු පුහුල් හොඳ පිළියමකි. තවද වකුගඩු රෝග මෙන්ම මූත්‍රාශය දැවිල්ල, මූත්‍රා ගල් ආදියට ද අළුපුහුල් ගෙඩි යුෂ මෙන්ම ඇට ද ඉතාමත් ගුණදායකය.
මෙහි ඇති තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ඇසේ සුද සෑදීම අවම කිරීමයි. තවද ඇස්වල ඇති වන විවිධ රෝගයන් සමනය කර පෙනීම යහපත් කිරීමට පුහුල්වලට හැකියාව ඇත. තවද ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය යහපත් කර සමතුලිතව තබා ගැනීමට හැකිය.
ඒ නිසාම නොයෙක් ලෙඩ රෝගවලින් වැළකී සිටීය හැකිය. තවද රතු රුධිරාණු නිපදවීම අඩු අයට මෙන්ම පාණ්ඩු රෝගයෙන් පෙළෙන අයට ද ඉතාමත් යහපත් වේ.
අළුපුහුල්වල විශේෂ හැකියාවක් වනුයේ එය විකිරණවලින් ආරක්ෂා කරදීමට ඊට ඇති හැකියාවයි. වර්තමානයේ අප සමාජයේ බොහෝ රෝගවලට මෙම විකිරණ හේතු වෙයි. නවීනයන් විකිරණ හා වෛරස් රෝග ලෙස හඳුන්වන්නේ ඇතැම් විට පැරැන්නන් යක්ෂ, භූත දෝෂයන් ලෙස සැලකූ දේම විය යුතු යැයි හැඟෙන්නේ නොයෙක් දොස් නැතිකර ගැනීම සඳහා බලිතොවිල් ආදියට අළුපුහුල් භාවිත කළ හෙයිනි. අලුත් ගෙයක් ඉදිරිපිට අළුපුහුල් ගෙඩියක් එල්ලීමේ හේතුව ද එයයි.
අන්ත්‍රවල සිටින අහිතකර පණුවන් ඉවත් කිරීමට ද පුහුල් හොඳ ඖෂධයකි. ශරීරයේ ඇති ආම්ලිකතාව මෙන්ම දාහය හෙවත් දැවිල්ල අවම කිරීමට ද පුහුල් යොදා ගත හැකිවේ. පුරුෂ මඳ සරුභාවය අවම කිරීමට ද අළුපුහුල්වලට හැකියාව ඇත. පුහුල් ආහාරයට ගැනීමෙන් ශුක්‍රාණු ප්‍රතිශතය ඉහළ නංවා ගැනීමට ද පුළුවන.
පුහුල් රූපලාවණ්‍ය සඳහා ද ඉතා හොඳ ප්‍රතිකාරයකි. විශේෂයෙන් හිස කෙස් වර්ධනයට අළුපුහුල් ඇට සහ ලෙලි පොල්තෙල් සමග සිඳ භාවිත කිරීමෙන් යහපත් දිගු කේශ කලාපයක් ලබා ගත හැකිවේ. මෙම තෙල් භාවිතය හිස්හොරිවලට ද ප්‍රතිකාරයකි. තවද තද සූර්යාලෝකයෙන් මුහුණේ සම ආරක්ෂා කර ගැනීමට මෙන්ම මුහුණේ රැලි වැටීම අවම කර ගැනීමට ද සම සිනිඳු කර ගැනීමට ද පුහුල් අඹරා ගෑම සුදුසුය.
බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝග වන හෘදයාබාධ, ආඝාත, පිළිකා, දියවැඩියාව, අධිරුධිර පීඩනය ආදී බොහෝ රෝගයන්ට හොඳ ප්‍රතිකාරයක් වන අළුපුහුල් ආහාරයට ගැනීමෙන් අපට මහත් ප්‍රතිඵල අත්කර ගත හැකිය. අළු පුහුල් අත්‍යවශ්‍ය ආහාරයක් ලෙස හැඳින්විය හැක්කේ මේ නිසා අළුපුහුල් තොවිලයට පමණක් සීමා නොකොට ආහාරයට ගැනීමට අමතක නොකරන්න.
දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගනආරච්චිගේ කථිකාචාර්ය / මාලේවන ශ්‍රී ඥානිස්සර ආයුර්වේද වෛද්‍ය විද්‍යාලය
Wmqgd .ekSu ��r mqj;am; weiqfrks