සම දිහා බැලුවාම ලෙඩ හරියටම කියන්න පුළුවන්
වයස් භේදයකින් තොරව ළදරු, ළමා, නව යොවුන්, තරුණ, මැදිවයස්, මහලු යන හැම දෙනාට ම සම රැක ගැනීම වැදගත් වන්නේ සමේ ස්වභාව හා එහි ඇතිවන සංකූලතා අනුව ශරීර අභ්‍යන්තරයේ පවතින රෝගාබාධ ගැන පැවසෙන නිසයි. අනෙක් ඉන්ද්රියයන් මෙන් නොව, සමේ රෝග හට ගැනීමට කිසිදු ලෙසකින් වයස් ප්‍රමාණයක් හෝ ස්ත්‍රී පුරුෂ වෙනසක් බලපාන්නේ නැත.
ඇතැම් අයට උපතින් ම සමේ රෝග හට ගැනීමේ ප්‍රවණතාවක් පවතී. යම් යම් විටමින් වර්ග අඩුකම නිසා හා මවට ඇතිවන රෝගාබාධ හේතුවෙන් යමෙක් උපතින් සමේ රෝගවලට ගොදුරු වේ. ළදරු වියේ දී විසබීජවලට ඔරොත්තු දීමේ හැකියාව (ප්‍රතිශක්තිය) අඩු බැවින් ද සමේ රෝග වැලඳේ. ළමා අවධියේ දී සමේ රෝග ඇති වන්නේ දරුවන් එළිමහනේ වඩා ක්‍රියාකාරී බවකින් කටයුතු කිරීම නිසයි. නව යෞවනයේ දී ශරීරයේ ස්වභාවිකව ම ඇතිවන හෝමෝන වෙනස්වීම් නිසා ඇක්නි, කුරුලෑ, අධික ලෙස රෝම වැවීම, බෙල්ල ආදී ස්ථාන කලු පැහැ වීම, සම අධික තෙල් සවභාවකින් යුතු වීම ආදී සමේ සංකූලතා ඇති විය හැකියි.මැදිවියේ දී ශරීර අභ්‍යන්තරයේ පවතින විවිධ රෝගාබාධ හේතුවෙන් සමේ රෝගී තත්ත්වයන් හටගනියි. ක්යූටේනියස් මැනිෆැක්ටේෂන් වැනි තත්ත්වයන් මෙන්ම සිරුරේ තයිරොක්සීන් ප්‍රමාණයේ අඩු වැඩි වීම් නිසාද සම රෝගී වෙයි. තයිරොක්සින් අඩු වීමෙන් සම අධික ලෙස වියළීමට ලක් වේ. කොරපොතු ස්වභාවක් දිස් වේ. කොතරම් ජලය පානය කළත් පෝෂණය ඇති ආහාර ලබා ගත්තත් මේ තත්ත්වය දුරු නොවේ. දෙපාවල සමේ ස්වභාව අනුව මේ රෝග තත්ත්වය හඳුනාගත හැකියි.
සමේ වර්ණයේ වෙනසක් ඇතිවීම, සම ඝන වී කළු පැහැ වී හෝ සම ඝන වී ඒ ස්ථානයේ තුවාලයක් පවතී නම් බොහෝ විට එය සමේ පිළිකාමය තත්ත්වයක් විය හැකිය. එමෙන්ම පිළිකා නිසා කෙස් අධික ලෙස ගැළවී යාම, සම වියළීම, සමේ කොරපොතු ස්වභාවක් ඇති වීම, ඇස් යට බෙල්ල ආදී ස්ථානවල සම අවපැහැ වීම සිදුවෙන අතර කොතරම් පෝෂණ කොටස් ලබා දුන්න ද මේ තත්ත්වයේ වෙනසක් සිදු නොවේ.
සමේ රෝම පිරිමියකුගේ මෙන් ඝනව වැඩී ඇත්නම්, ගෙල වටා තද කළු පැහැයක් ඇත්නම්, කොතරම් ආහාර අඩුවෙන් ගත්ත ද සිරුර මහත් වේ නම් එවැනි කෙනෙක් ඩිම්බකෝෂවල PCOD යන තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවකි. ගර්භණී කාන්තාවන්ගේ මුහුණේ ඇති වන සංකූලතාව මෙලැස්මා ය. එමෙන්ම සම වේගවත්ව වර්ධනය වීම නිසා එහි ඇදීම් ලකුණු (ස්ට්‍රෙචිං මාර්ක්) කැළැල් ඇති වේ.
යම් යම් රෝග තත්ත්වයන් සඳහා ලබා ගන්නා ඖෂධ හේතුවෙන් ද අධික ලෙස වියළීම වැනි සමෙහි සංකූලතා ඇති විය හැකියි. එමෙන්ම වයසට යාමේ දී ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවීම නිසා ඇති වන තත්ත්වයන් හේතුවෙන් සමේ ඇදීමේ හැකියාව, ක්‍රියාකාරීත්වය අඩු වේ. පුද්ගලයන් වයසට යාමේ දී මාංසපේශී දුර්වල වී පහළට එල්ලා වැටේ.
අනතුරු සිදු වීම නිසා ඇතිවන තුවාල කැළැල්, පිලිස්සුම් කැළැල් හා සැත්කම් නිසා ඇතිවන කැළැල් ජීවිතයේ ඕනෑම අවධියක දී පුද්ගලයකුට ඇති විය හැකි සම පිළිබඳ ගැටලුවකි. මෙවැනි බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීමට කටයුතු කරනවාට වඩා එවැනි සමේ සංකූලතා ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් ය. නැතිනම් බොහෝ මුදලක් වැයකොට එම සංකූලතා සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ඔබට සිදු වේ.
මානසික ආතතිය, බොහෝ වේලාවක් හිරු එළියට නිරාවරණය වීම, පාරිසරික බලපෑම් ආදිය නිසා ද සමේ රෝග හට ගනියි. කුඩා අවධියේ සිට ම මානසික පීඩනයට ගොදුරු වීමේ එක් අනිටු ප්‍රතිඵලයක් වන්නේ ඔබ සමේ රෝගයකට ගොදුරු වීමයි. අද බොහෝ දරුවන් පාසල් යාම ඇරඹීමත් සමඟ ම තරගකාරී ජීවිතයකට හුරු කරයි. මේ නිසා දද, කුෂ්ඨ, ඉස්හොරි වැනි සමේ රෝග මෙන්ම කුරුලෑ ද අධික ලෙස හට ගනී.
ඔබ මවක් නම් අනිවාර්යයෙන් ම තම දරුවාට කුඩා කල සිට ම තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීමට හුරු කරවන්න. ඒ සඳහා පිරිසුදුව සිටීමටත්, තමා භාවිත කරන ද්‍රව්‍ය හා උපකරණ පිරිසුදුව තබා ගැනීමටත් කුඩා කල සිට ම පුරුදු පුහුණු කරන්න. එවිට අනායාසයෙන් ම දරුවා වැඩිහිටියකු වන විට ද එම හුරු පුරුදු සමඟ ජීවත් වේ. එය සෞඛ්‍ය සම්පන්න දිවියකට ආශිර්වාදයක් වනු ඇත.
කාර්ය බහුලත්වය නිසා ද බොහෝ දෙනාට තමාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සිතීමට කාල වේලාවක් නොමැති වේ. එහෙත් ඔබගේ දෛනික කටයුතු අතරට පිරිසුදුකම ද එක්කර ගන්නේ නම් ඒ සඳහා වෙනම කාල වේලාවක් වෙන් කිරීමට අවශ්‍ය නොවනු ඇත. මේ සියල්ලට ම වඩා තමාගේ සම හඳුනා ගැනීමකින් තොරව විවිධාකාර වූ නොගැළපෙන ආලේපන තැවරීම ද, ප්‍රමිතියෙන් තොර ආලේපන භාවිතය ද සමේ නිරෝගී බවට තර්ජනයක් වී ඇත. සම සුසුදු කරගැනීම සඳහා ආලේප කරන ක්‍රීම් වර්ග නිසා බොහෝ විට සමේ විවිධාකාර වූ රෝග තත්ත්වයන් හටගැනේ. වඩාත් වැදගත් වන්නේ නිරෝගී සමක් පවත්වා ගැනීමයි.