ප්රශ්නය - ඔටිසම් රෝගී දරුවන් සම්බන්ධයෙන් ඔබ දෙන උපදෙස් අපේ පාඨකයන්ගේ ඉමහත් ප්‍රශංසාවට ලක්ව තිබෙනවා. ඔටිසම් රෝගී දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා පිහිටුවාගෙන ඇති මාපිය වැඩිහිටි සංගමයත් මේ සම්බන්ධයෙන් අප සමඟ දිගින් දිගටම අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා.
වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - දරුවකුට වැළඳිය හැකි ලෙඩ අතර වඩාත්ම දුෂ්කර රෝගයක් ලෙස ඔටිසම් හඳුන්වන්නට පුළුවන්. එයට හේතුව ස්නායු ආශ්රිත රෝගයක් වන මෙහිදී දරුවා සමඟ ගනුදෙනු කිරීමට ඇති දුෂ්කරතාවයි. ඔටිසම් රෝගී දරුවාට ප්‍රතිකාර කරන විට මවුපියන්ටත් ප්‍රතිකාර කළ යුතු බව මා මෙයට පෙරත් කියා තිබුණා. දරුවාට ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධවලින්. මවුපියන්ට ප්‍රතිකාර කළ යුත්තේ උපදේශන මගින්. ඒ ප්‍රතිකාරවලදී කියා දෙන්නේ දරුවා සමඟ ගනුදෙනු කළ යුත්තේ කොහොමද කියන එක විතරයි.
ප්රශ්නය - ඔටිසම් රෝගය සුවපත් කිරීමේදී ඖෂධීය තෙල් යොදා කරන සම්භාහනය ප්‍රයෝජනවත් වන බව මෙයට පෙරත් සාකච්ඡා වී තිබෙනවා.
වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - වාෂ්පශීලී ඖෂධීය තෙල් (Esseබඑස්ක පැdසජ්එe දසක) සම්භාහනය සඳහා ඉතාම ප්‍රයෝජනවත්. බල අස්වගන්ධ තෛලය, මහා නාරායන තෛලය වැනි තෙල් යොදා සම්භාහනය කර යථා තත්ත්වයට පත් කෙරුණ දරුවන් පිළිබඳ අත්දැකීම් අපට ඕනෑ තරම් තිබෙනවා.
වාෂ්පශීලී බෙහෙත් තෙල් වලින්
හිස කෙලින් කරගන්නට බැරිව සිටින ළමයින්ට බල අස්වගන්ධ තෛලය යොදා සම්භාහනය සති 4 ක පමණ කාලයක් ලබා දීමෙන් පසු එම දරුවන් හිස ඔසවාගෙන, හිස කෙළින් තබාගෙන සිටින ආකාරය ගැනත් අපට අත්දැකීම් තිබෙනවා.
ප්රශ්නය - එතකොට පංචකර්ම ප්‍රතිකාරය?
වෛද්‍ය අයි. ඒ. එම්. ලීනා - ඔටිසම් රෝගයට කරන සියලු ප්‍රතිකාර අතරින් හොඳම ප්‍රතිකාරය පංචකර්ම ප්‍රතිකාරය බවට පත්වන අවස්ථා තිබෙනවා. එය දරුවාගෙන් දරුවාට වෙනස් විය හැකියි. පංච කර්ම ප්‍රතිකාරයේදී කේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ප්‍රතිකාර කෙරෙනවා. මුළු ශරීරයේම රෝම කූප අතරින් ශරීරයට ඖෂධ තෙල් ඇතුළු කරන්නට මේ ප්‍රතිකාර ක්‍රමයට පුළුවන්. එය හරියටම ඔටිසම් රෝගී දරුවාගේ සම ඔස්සේ ශරීරයට ආහාර ලබා දීමක් හා සමානයි. ඖෂධීය තෙල් මගින් කරන මෙම ක්‍රියාවලියේදී දරුවාගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නගිනවා. දරුවාට වෙනත් රෝග හටගැනීමේ ප්රවණතා එමගින් නැති වෙනවා. ඔටිසම් රෝගී දරුවාට වෙනත් රෝග හැදෙන්නට පටන් ගත්තොත් දෙමාපියන් ලොකු අමාරුවකයි වැටෙන්නේ. ඒ ප්රශ්නය නිරාකරණය කරන්ට පංච කර්මයට පුළුවන්.