ලෝකය බෝලයක්ය. එය නොනැවතී කැරකෙන්නේය. ලෝකය කැරකෙද්දී මිනිසා සදහමින් මිදී පව්කාරකමින් පිරෙන්නේය. සාර ධර්ම ගුණධර්ම, යහපත් සිරිත් විරිත්, දැහැමි සංකල්පනා දුරින් දුරු වී යන්නේය.
ධර්මද්වීපය යැයි බොහෝ කලකට පෙර හැඳින් වූ අපේ රටේ ද අද වන විට මිනිසාගේ පරිහානිය ප්රබලව දැනේ. ශ්‍රී ලංකාව තරම් බණ කියන රටක් බණ අහන රටක් ලොවේම නැතුවා සේය. එහෙත් සිදුවන මානව පරිහානිය දිනෙන් දින වර්ධනය වන වෙනත් රටක් ඇත්දැයි කිවනොහැකි තරම්ය. මින් අසම්මත කාම අපරාධ රැල්ල වඩාත් බිහිසුණුය. ඛේදජනකය.
මේ කාම රැල්ලේ සටහන් වන සංවේදී විස්මයජනක හා අප්‍රසන්න සිද්ධි ගණනාවකි. බදුල්ලේදී වූ මේ සිදුවීම දිවයිනේ බාල වයස්කාර දැරියන් දහස් ගණනකට සිදුව ඇති විපතෙන් එකක් පමණි.
අපි ‘පියුමි’ යැයි අන්වර්ථ නාමයෙන් හඳුන්වන මේ දැරියගේ වයස අවුරුදු 15 කි.
ඇය ඉගෙන ගත්තේ ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේය. පියුමි ඉගෙනීමට හපන්ය. දිනපතාම පාසල් ඒම ඇගේ සිරිතය. එහෙත් පසුගිය දින කීපයක් ඇයගේ පාසල් පැමිණීමේ අඩුවක් තිබිණ. වෙනත් කිසිදු වෙනසක් පන්තිය භාර ගුරුතුමියට දක්නට නොලැබුණි.
අවසන් වරට පාසල් පැමිණි දිනයේම රාත්‍රී පියුමිට උණ ගත්තේය. පසුදා බඩේ රුදාවකි. ඇය මව සමග බදුල්ල මහරෝහලට ආවේ බේත් ගැනීමටය. බාහිර ප්‍රතිකාර අංශයේදී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරියගේ දෑස් ඉහළට ගියේය. වෛද්‍යවරිය තවත් විමසිල්ලෙන් ඇය පරීක්ෂා කළාය.
‘‘අනේ දෙවියනේ, මේ කෙල්ල දරුවෙක් ප්‍රසූත කිරීමට ආසන්න ගැබිනියක්’’
වෛද්‍යවරිය වහාම ඇය ප්‍රසව හා නාරිවේදී අංශයට යොමු කළාය.
එදිනම ඇය බදුල්ල මහ රෝහලේදී බිලිඳෙකු ප්‍රසූත කළාය. උපන් බිලිඳා දියණියකි. එම බිලිඳා සාමාන්‍ය බරෙන් යුතුව සිටියාය. පාදයක කිසියම් අසාමන්යතාවක් තිබුණද එය නියම තත්ත්වයට පත්කළ හැකි බව වෛද්‍යවරු පැවැසූහ.
බිලිඳිය දැක සෙනෙහසින් පීරීගිය දෑසින් මේ බාල වියේ අම්මා නිමේෂයක් සිනාසුණත් එසැණින් හඬා වැටෙන්න වූවාය. ඒ කඳුළු සිහිපත් කළේ මහා ඛේදවාචකයකි .....!
ඇය ඒ දුක්බර සිදුවීම් මාලාව මෙසේ පොලිසියට ප්‍රකාශ කළාය.
“එදා මම ඉස්කෝලේ අමතරව පන්තියට සහභාගිවෙලා සවස 4 ට විතර ගෙදර යද්දී අපේ නැන්දාගේ පුතා එයාගේ රතු පාට ත්‍රීවීලර් එකේ මම ගෙදර යන පාරේ පාළු තැනක හිටියා. ත්‍රීවීලර් එකට නගින්න කිව්වම මම බැහැ කිව්වා. ඊට කලින් එයා කීප සැරයක් මා සමග යාළු වෙන්න ඇහුවා. මම බැහැ කිව්වා.
ඒ අයියා බැහැල ඇවිත් මා ඇදල ත්‍රීවීලර් එකට දාගත්තා. මම කෑගහන්න හදනකොට එයා අතින් මගේ කට වැහුවා. ත්‍රීවීලර් එකේ පිටු පස්සේ මාව හේත්තුකරලා මේ අපරාධය කළා.
මම අඬ අඬා එයාට කිව්වා. මම මේ ගැන අම්මට කියනවා කියලා. එහෙම කිව්වොත් මාව මරනවා කිව්වා. ගෙදර අයත් මරනවා කිව්වා.
එතකොට පහළින් තවත් ත්‍රීවීලර් එකක් ආවා. ඒක එන්න කලින් ඉක්මනට යන්න කිව්වා.
මම එතැන ඉඳන් පයින් ගෙදර ගියා. මම ඒ ගැන කිසි දෙයක් කාටවත් කිව්වේ නැහැ. ඊට පසු පාසල් නිවාඩු දිනක ගෙදර කවුරුවත් නැති වෙලාවේ ගෙදරට ඇවිත් මට ඒ වගේම කරදර කළා. තවත් දවසක සති අන්තයේ පන්ති යන දවසක ත්‍රීවීලර් එකට අරන් මට එහෙමම කරදර කළා.
මට බබෙක් හම්බවෙන්න ඉන්න බව කවුරුවත් දන්නේ නැහැ. ඒ අයිය දැනගෙන හිටියෙත් නැහැ. මම දැනගෙන හිටියෙත් නැහැ.
මම ලොකු ළමයෙක් වුණේ ඉස්කෝලේ පහේ පන්තියේදී. මම අවසන් දිනය දක්වා පාසල් ගියා. පසුදා උණ හා බඩේ කැක්කුම හැදිලා බේත් ගන්න ඉස්පිරිතාලෙට ගියාම තමයි මම මේක දැනගත්තේ.
ඉස්පිරිතාලෙට ආවේ දවල් 1.30 ට විතර. සවස 3.30 ට විතර බබා ලැබුණා. මේ ශිෂ්‍යාව ඉකි බිඳිමින් කීවාය.
ඇය මෙන්ම ඇගේ මව සහ පන්තිය භාර ගුරුතුමිය අවධාරණය කළේ ඇය ගැබිනියක බව බාහිර වශයෙන් පෙනෙන්නට නොතිබුණ බවයි.
එය එසේ විය හැකිද?
මම විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් විමසුවෙමි.
‘‘ඔව්, එහෙම වෙන්න පුළුවන්. සිරුරේ හැඩය, උදරයේ පිහිටීම හා අඳින ඇඳුම් අනුව එහෙම වෙන්න පුළුවන්’’ ඔහු කීවේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 25 වන වියේ පසුවන විවාහකයකු බව බදුල්ල පොලිසිය සඳහන් කළේය.
මේ සිදුවීම වී දින 4 ක් තුළ තවත් 15 හැවිරිදි ශිෂ්‍යාවක් බඩේ රුදාව සඳහා බේත් ගැනීමට සිය මිත්තනිය සමග වැලිමඩ මූලික රෝහලට ගිය අවස්ථාවේ ඇය ද ගැබිනියක් වී ඇති බව අනාවරණය විය.
මෙම ශිෂ්‍යාව ද ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය.
ඇගේ මව වෙනත් විවාහයක් කරගෙන යාම නිසා මිත්තනියගේ රැකවරණය මැද සිටියදී යුද හමුදාවෙන් පැනගිය සෙබළෙකු විසින් මිත්තනිය ගෙදර සිටියදීම නිවසටම පැමිණ මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.
සැකකරු වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඊට පසුදා වාර්තා වූයේ තවත් මෙවැනිම අපරාධයකි. 70 හැවිරිදි මිත්තනියගේ සෙවණේ සිටි 12 හැවිරිදි දැරියක දූෂණය කළැයි 43 හැවිරිදි ලොකු තාත්තා අත්අඩංගුවට ගත්තේ බෝගහකුඹුර පොලිසිය විසිනි. ඇය ප්‍රදේශයේ පාසලක 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය.
මෙම දැරියගේ පියා සහ මව වෙනත් ප්‍රදේශයක තේ වත්තක වැඩකරන අතර දැරිය පාසල් යාමට මිත්තනියගේ නිවසේ නතරකර තිබිණ. සැකකාර ලොකු තාත්තා ද විවාහක බිරිඳගෙන් වෙන් වී පැමිණ මෙම නිවසේ ජීවත් වූ බව විමර්ශනවලදී අනාවරණය විය.
ඊට සතියකට පෙර 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාව දූෂණය කළැයි ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ළමාරක්ෂක අධිකාරිය විසින් කළ පැමිණිල්ලකට අනුවය.
සැකකරු මෙම දැරියගේ මව සමඟ අනියම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඊට අමතරව ඇගේ දියණිය වන මෙම දැරිය සමග ද අඹුසැමියන් ලෙස හැසිර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව මොණරාගල පොලිසිය කියයි.
අදින් දින 6 කට පෙර මේ අදහාගත නොහැකි සිදුවීම ද වාර්තා වූයේ බදුල්ල දිස්ත්රික්කයෙන්මය.
ලුණුගල ප්‍රදේශයේ ජීවත්වන ඇය 11 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. මෙම දැරියගේ මව මීට වසර 10 කට පෙර වෙනත් සැමියකු සමග ගිය නිසාත් වැඩිමල් දියණිය විවාහ වී වෙනත් ප්‍රදේශයක ජීවත්වන නිසාත් පියා සමග ජීවත් වී තිබේ.
ඉකුත් 23 වනදා සවස 2.00 ට පමණ දැරිය හිටි හැටියේ අතුරුදන් වූවාය.
පසුදා ඇගේ පියා මේ පිළිබඳව ලුණුගල පොලිසියට පැමිණිලි කර තිබිණ.
විමර්ශන සිදුකිරීමේදී පියා සමග එකට මත්පැන් පානය කරන මිතුරකු බව කියන මෙම දැරියට හිතවත් පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.
සැකකරුගේ නිවසට ගොස් විමර්ශන සිදුකිරීමේදී ඉතා කුඩා එම නිවසේ දැරියගේ හා සැකකරුගේ සෙරෙප්පු කුට්ටම් දෙක හා සරමක් හමු වූ නමුත් මොවුන් දෙදෙනා පිළිබඳව තොරතුරක් නොලැබුණි.
සැකකරු ද දැරිය අතුරුදන් දිනයේ සිට අතුරුදන්ව ඇති බවත් අනාවරණය විය.
ඉන්පසු සැකකරුගේ ඥාති නිවාස පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ලුණුගල පොලිසිය විසින් දියත් කෙරිණි. හය වැනි වරට සෝදිසි කළ සැකකරුගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී දැරිය හා සැකකරු පොලිසියට කොටු වූහ.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ලුණුගල දිසා රෝහල හරහා බදුල්ල මහ රෝහලට යැවූ පොලිසිය 46 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පවසන්නේ බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කයන්ගෙන් පමණක් බාලවයස්කාර දැරියන් දූෂණය වීම හා ස්ත්‍රී දූෂණ සිද්ධීන් මසකට 14 ක් පමණ ලැබෙන බවය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙසේ කීවේය.
මීට ගැහැනු ළමයින්ට නිවෙස් තුළදී නිසි රැකවරණයක් නොලැබීම ප්‍රධාන හේතුව වී තිබෙනවා. මේ තත්ත්වයන්ට ගොදුරු වූ බහුතරයක් ළමයින්ගේ අම්මලා වෙනත් විවාහ කරගෙන ගිහින්. සමහරවිට ගෘහසේවිකාවන් ලෙස විදේශ ගතවෙලා. තාත්තලා මත්පැන්වලට ඇබ්බැහිවෙලා.
තාත්තලා අතින් දැරියන් කෙළෙසුණ සිද්ධීන් පවා වාර්තා වී තිබෙනවා.
මොණරාගල, ගිරාදුරුකෝට්ට, වැලිමඩ, බෝගහකුඹුර, පස්සර, මහියංගණය, හපුතලේ යන ප්‍රදේශවල මේ තත්ත්වය වැඩියි.
පොලිසිය පාසල් සිසුන් හා ජනතාව දැනුම්වත් කිරීම සඳහා විශාල වැඩ කොටසක් කරගෙන යනවා.
පාසල් දරුවන් සඳහා දැනුම්වත් කිරීමේ සම්මන්ත්රණ දිගින් දිගටම තියනවා. මීට අමතරව ප්‍රජා පොලිස් සේවාවෙන් ජනතාව දැනුම්වත් කර නිවැසියන් පිළිබඳව විමසිල්ලෙන් සිටිනවා.
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ, මොණරාගල පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල හා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ දැනුම්වත් කිරීම් සිදුවෙනවා.
මේ අපරාධ නතර කරන්න නම් ජනතා සහායත් අත්‍යවශ්‍යයි.
විශේෂයෙන්ම දෙමාපියන් දරුවන් ගැන සොයා බැලිය යුතුයි. ඔවුන්ට ආරක්ෂාව ලබාදිය යුතුයි. එහෙම නොවන අවස්ථාවන්හි පොලිසිය හෝ අදාළ බලධාරීන් දැනුම්වත් කිරීමට අසල්වැසියන්ට ද පුළුවන්. ඒක ලොකු යුතුකමක් හා වගකීමක් මෙන්ම පින්කමක් යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය.
පොලිසියට වාර්තා නොවූ මෙවැනි සිද්ධීන් විශාල ප්‍රමාණයක් තිබිය හැකි බව අප කළ විමර්ශනයේදී අනාවරණය විය.
එවන් සිදුවීම් බොහෝවිට සිදුව තිබුණේ පවුලේ ඥාතීන් අතිනි. පියා, ඥාති සොයුරා, ලොකු තාත්තා, මාමා හෝ පියාගේ මිතුරෙකු හෝ මවගේ අනියම් සැමියා වැනි අය ද ඒ අතර වෙති.
වතුකරයේ සිදුවන මෙවන් බොහෝ සිදුවීම් පොලිසිවලට වාර්තා නොවන බව ද දැනගන්නට ලැබිණ.
විවාහක සැමියා නිවසේ සිටියදීම රාත්‍රී කාලයේ පැමිණ බිරිඳ පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කර නැවතත් ගෙනවිත් දැමූ සිද්ධියක් පසුගියදා ගිරාදුරුකෝට්ටේ දුෂ්කර ගම්මානයකින් වාර්තා විය.
මත්පැන් හා මත්ද්‍රව්‍ය ද මේවාට පිටුබලයක් වී තිබේ. ආර්ථික අපහසුතාවන් නිසා පවුල රැකීම සඳහා මුදල් සොයාගෙන යන කාන්තාවෝ ද සිටිති.
එම සල්ලාලයන්ට එම කාන්තාවන් පමණක් නොව දියණිවරුන් ද ගොදුරු වන අවස්ථා තිබේ.
මේ අනාවරණයට ඌව පළාත පාදක කර ගත්ත ද දිවයිනේ තවත් පළාත් ගණනාවක මෙවැනි තත්ත්වයන් ඇති බවට සමස්ත පොලිස් වාර්තා සාක්කි දරයි.
මෙවන් සිදුවීම්වලදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවට පමුණුවා නඩු පවරා දඬුවම් කිරීමට පොලිසියට පුළුවන. එහෙත් වින්දිත දැරියන් හා කාන්තාවන්ගේ අනාගතයට කුමක්වේද? කියන්නේ කාටද? ඇහුම්කන් දෙන්නේ කවුද? විසඳුම කුමක්ද?
මේ සමාජ ගැටලුව පිළිබඳව බදුල්ල මහරෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කමල් වල්ගම මහතාගෙන් විමසුවෙමු.
ඔහු මෙසේ කීවේය.
“සාමාන්‍යයෙන් මානසික රෝගීන් කියන්නේ අපරාධකාරයන් නොවෙයි. අහිංසක පිරිසක්. කාමුකත්වය කියන්නේ මානසික රෝගයක් නොවෙයි. එහෙත් සමහර විට විකෘති කාමුක ආශාවන් මානසික ගැටලුවලට ගොදුරු විය හැකියි. කෙසේ නමුත් මෙවැනි සිදුවීමවලදී චූදිත හා වින්දිත යන දෙපාර්ශ්වයම දැඩි මානසික පීඩනයට පත්වෙනවා. ඒ අනුව මානසික රෝගීන් වීමේ අවකාශ තියෙනවා.
අපට එවැනි රෝගීන් හමුවී තිබෙනවා. හොඳම ප්රතිකර්මය වන්නේ මෙවැනි සිදුවීම්වලට ගොදුරු නොවීමයි.
මෙවැනි සිදුවීම්වලදී පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. බොහෝ විට බාලවයස්කාර දැරියන් මේවා වසන් කරන්නේ අනෙක් අයත් දැනගනියි යන සැකය නිසයි. ඒ නිසා මේ ගැටලුවලට විසඳුම් ලබාදීමේදී ඔවුන්ගේ ගැටලු රහසිගතව තබාගැනීමට හා අන් අය සමග සාකච්ඡා නොකිරීමට වග බලාගැනීම වැදගත් වෙනවා.
අවශ්‍ය නම් අදාළ වෘත්තිකයන්ට දැනුම්දීම වගකීමක් වෙනවා. උදාහරණයක් ලෙස මනෝ විද්‍යා විශේෂඥ වෛද්‍යවරයකු සමග, ළමාරක්ෂක අධිකාරිය සමග, පොලිසිය සමග සාකච්ඡා කළහැකියි.
වැඩිහිටියන්ට මේක කිව්වම අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවාය කියන විශ්වාසය ගොඩනැගිය යුතුයි. එතකොට මුලදීම ඒ අයගේ ප්‍රශ්න වැඩිහිටි අපට කියන්න පටන් ගන්නවා.
විශේෂයෙන්ම පාසල් ගුරුවරුන් සහ මාපියන් මේක හොඳින්ම තේරුම්ගත යුතුයි.
විශ්වාසය ගොඩනැගෙන පරිසරයක් ඇති කළාම අපචාරයට ලක් වුණොත් අයථා සම්බන්ධතා ඇති වුණොත්, නැතිනම් වෙනත් ගැටලු ඇති වුණොත් වැඩිහිටියන්ට කියන්න යොමු වෙනවා. පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා කියන එක ප්‍රම්‍රඛ දෙයක්.
මේ තත්ත්වයන් පිටු දැකීමට නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් අත්‍යවශ්‍යයි කියලා මම හිතනවා.
ඒ කියන්නේ නිවැරැදි ලිංගික චර්යාවන් පිළිබඳව ඇතිවන වෙනස්වීම්, ලිංගික ආකර්ෂණය, නව යෞවන වියේ අනෙක් අයත් සමග ආකර්ෂණය වීම සහ වගකීම් සහිත ආරක්ෂාකාරී ලිංගික හැසිරීම, තමන් ආරක්ෂා වෙන්නේ කොහොමද? කියන එක ගැන කුඩා කාලයේ සිටම නිවැරැදිව දැනුම්වත් කිරීම ඉතාම වැදගත්.
ගොඩාක් වෙලාවට දෙමාපියන් සහ ගුරුවරු බය වෙනවා මේ ලිංගික කරුණු ගැන කතා කරන එකට.
ඒක දරුවන්ට කිසියම් උත්තේජනයක් වෙයි කියලා හිතනවා. එහෙම නෙවෙයි. අපි නිවැරැදි විද්‍යාත්මක දැනුම දරුවන්ට වැඩිවියට පැමිණෙන කාලයේ දී හෝ ඊට පෙර ඒ දරුවන්ගේ වයස් මට්ටමට ගැළපෙන පරිදි අවබෝධ කර දීම ඉතා වැදගත්. මෙවැනි ප්රශ්නවලදී ඒ බව හොඳින් තේරුම් යනවා.
මේ ගොල්ල දන්නේ නැහැ දූෂණයට ලක් වුණාම ගැබිනියක් වෙනවා කියලා. සමාජ අපවාදයට ලක්වෙනවා යන කාරණා පැහැදිලි කළ යුතුයි.
පාසල් වියේදීම නිවැරැදි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය කමල් වල්ගම මහතා යළිත් අවධාරණය කළේය.
බදුල්ල - පාලිත ආරියවංශ