ඈත අතීතයේ සිටම අපේ රටේ පැරැන්නන් දේශීය දේවල්, ස්වාභාවික දේවල් යොදාගෙන රෝග සුවකර ගැනීමට හා රුව අලංකාර කර ගැනීමට පෙලඹී තියෙනවා. මේ අතරින් කහ සහ කිරි විශේෂයි. කහ සහ කිරි කියන්නේ ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් රටවල අය පවා ස්වාභාවිකව යොදාගත් අමුද්‍රව්‍ය වේ.
මෙහි ඇති විශේෂ ගුණාංග නිසාම බොහෝවිට කහ සහ කිරි අභ්‍යන්තර ප්‍රයෝග අවස්ථා ලෙසත් බාහිරවත් යොදන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම බාහිර රූපාලංකරණ කටයුතු සඳහා මේ සුසංයෝගය බහුලව යොදා ගැනෙනවා.
අප කහ පිළිබඳ විමසා බැලුවොත් කහ ඉන්දියාව, ලංකාව වැනි රටවල කුළුබඩුවක්, වර්ණකාරකයක්, ඖෂධයක් වශයෙනුත් වටිනාකමක් තිබෙනවා. කහවල ප්‍රයෝජනයට ගනු ලබන්නේ පොළොවෙන් පහළ හැදෙන රයිසෝම කොටසයි. මෙහි රසායනික සංයුතිය ගත්විට අධික ලෙස වාෂ්පශීලී තෙල් වර්ග, සැකරයිඩ් වර්ග, ප්‍රෝටීන් වර්ග අඩංගුයි. මෙම රසායනික සංයුතිය නිසාම මෙයට සුවිශේෂී ගුණාංග බොහෝමයක් ඇතුළත් වෙනවා.
අපේ රූපය අලංකාර කරගත හැකි මෙහි සුවිශේෂී ප්‍රතිප්‍රදාහක ගුණයක් තිබෙනවා. එනිසා ඇඟේ තඩිස්සිවීම්, රතුවීම්, කැසීම්, වේදනා අවස්ථා, රතු බිබිලි වැනි අවස්ථා නැති කරලයි. ඒ වගේ ප්‍රතිඔක්සිකාරක ගුණය හෙවත් ඇන්ටි ඔක්සිඩන්ට් ගුණය තිබෙනවා. මෙහි නිදහස් මුක්තානු අවම කිරීමක් වනවා. ඒ වාගේ ශරීරයේ සුදු ලප, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඇතිවීම අවම කරන අතර අකලට වියපත්වීම, රැලි වැටීම අවම කරයි.
කහ යනු ඉතාම හොඳ විසබීජ නාශකයක් බව අප කවුරුත් දන්නවා. එම නිසා ඉතා හොඳින් සම පිරිසුදු කිරීම, කුරුලෑ ආසාදන ඒම වැළැක්වීම, සමේ ඇතිවන දිලීර බැක්ටීරියා ආසාදන වැළැක්වීම සිදුවෙනවා. එමෙන්ම මෙය තුවාල සුව කිරීමේ හැකියාවෙන් යුක්ත නිසා කුරුලෑ සහ වෙනත් ආසාදන මඟින් ඇතිවන්නා වූ ලප කැළලි ඉවත්කර මනා වර්ණයක් ගෙනදීමේ හැකියාවක් තිබෙනවා.
දැන් අපි කිරි ගැන විමසා බලමු. එළකිරි වැනි ස්වාභාවික කිරි වර්ග ඈත අතීතයේ ආහාර, ඖෂධ වර්ග ලෙස මෙන්ම ආලේපන ලෙසත් යොදාගත් අවස්ථා දක්නට පුළුවන්. මේ කිරි වර්ග පානය කළ විට බාහිරව මෙන්ම අභ්‍යන්තරවත් ප්‍රයෝජන රාශියක් අත්වෙනවා. මෙයද ඔක්සිකාරක ගුණයෙන් යුක්තයි.
එම නිසා අකලට වියපත්වීම, වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඇතිවීම වළක්වනවා. කිරි යනු ඉතා හොඳ තෙතමන කාරකයක් ද වෙනවා. එම නිසා සමේ වියළි බව, ඉවත් කිරීමට හේතු වෙනවා. මෙහිදී කහ, කිරි එක් කළ විට කහවල තිබෙන අවශෝෂණ ගුණය කිරිවලින් වැඩි කරනවා.
කිරි යනු අභ්‍යන්තරව ගත්තත් බාහිරව ආලේප කළත් හොඳ පෝෂකයක්. විශේෂයෙන්ම තෙල්වල දියවෙන K, A, D, E ආදී විටමින් වර්ග ඛනිජ වර්ග කැල්සියම්, මැග්නීසියම් වැනි අයන වර්ගවලින් පෝෂණයෙන් අනූනයි. එමෙන්ම හොඳ මෘදු කාරකයක් නිසා සම සිනිඳු කරනු ලබයි.
කහ සහ කිරි සුසංයෝගයෙන් ස්වාභාවිකව අපේ සමේ ආලේපනයට මුහුණේ ආලේපනයට යොදා ගැනීමෙන් අසාත්මික විය හැකිද?
යම් කෙනකුට කහ අසාත්මික වෙනවනම් සැර වැඩි නම් එය බාලකර එම අසාත්මිකතාවය කිරි මගින් වළක්වා නිරෝගී සමක් ලබාදෙනවා.
රෝගී පුද්ගලයෙක් භාවිත කරනවා නම් තිබෙන දද, කුෂ්ඨ, චර්ම රෝග අඩු කරන අතර සමේ වියළි බව ඉවත්කර හොඳ තෙතමනයක් සහිත සමක් ලබාදෙනවා. වියපත් සම ඉවත්කර තරුණ පෙනුමක් සමඟ සමේ ප්‍රබෝධවත් බවක් ඇති කරයි.
මෙම වර්ග දෙකෙහි ගුණ සලකා බලා එය ස්වාභාවිකව ගෙන යොදන්නට පුළුවන්. නැත්නම් ස්වාභාවික අමු ද්‍රව්‍යයන්ගෙන් හැදූ ආලේපන භාවිතයෙන් මෙම ප්‍රයෝජන ලබාගත හැකියි.
උපදෙස් වෛද්‍ය සුලෝචනා මිහිරාණී සේනාරත්න
(under the courtesy of goodhousekeeping.lk web)