රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම මෙන්ම සීනි මට්ටම පහළ යාමද භයානකයි.සීනි අඩුවූ විට ඇතිවන කෝමා තත්ත්වය නිසා මොළය අක්‍රිය විය හැකියි. රුධිරයේ සීනි අඩුවීම සම්බන්ධව සාමාන්‍ය ජනතාව ලෙස අපි එසේ පවසන්නෙමු.
එනිසා බොහෝදෙනා රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යාමට වඩා බියක් දක්වන්නේ රුධිරයේ සීනි ප්‍රමාණය පහළ යාමටය. එලෙස රුධිර සීනි මට්ටම පහළ යාවියෑයි කියා සැකකරන පුද්ගලයන් නිතර පැණි රස වර්ග ආහාරයට ගැනීමට හුරුව සිටිති.
වෛද්‍යතුමනි, රුධිරගත සීනි මට්ටම පහළ යාම ලෙස හඳුන්වන්නේ කුමන අවස්ථාවේදීද?
නීරෝගීව ජීවත්වීම සඳහා අප සෑම පුද්ගලයකුගේම රුධිරයේ ඇති සංඝඨකවල ප්රශස්ත අගයක් තිබිය යුතුයි. ඒ අනුව නීරෝගී දිවියක් ගතකිරීම සඳහා පුද්ගලයකුගේ රුධිරයේ තිබිය යුතු සීනි වල ප්රශස්ත අගය එය පරීක්ෂා කරන ආකාරය අනුව තීරණය වෙනවා.
පැය 08 ක් නිරාහාරව සිටීමෙන් පසු සිදුකරන රුධිරගත සීනි පරීක්ෂාවේදී තිබිය යුතු ප්රශස්ත අගය 70-99 ලෙස සලකනවා.
ආහාර ගැනීමෙන් පසු සිදුකරන රුධිරගත සීනි පරීක්ෂාවේදී ප්රශස්ත අගය 90-140 ත් අතර තිබිය යුතුයි.
මීට අමතරව රුධිර ගත සීනි පරීක්ෂාව සිදුකරන HBA1C පරීක්ෂණයේදී තිබිය යුතු රුධිරගත සීනි ප්රශස්ත මට්ටම 5.7 ට අඩු අගයක පැවතිය යුතුයි. මෙම ප්රශස්ත අගයන් ඉහළ යාම හෝ පහළයාම එම පුද්ගලයාගේ ශරීරයේ පවතින සෞඛ්‍ය තත්ත්වය පෙන්නුම් කරනවා.
රුධිරයේ පැවතිය යුතු සීනි මට්ටම ශීඝ්‍ර ලෙස පහළ බැසීමට හේතුවන අවස්ථාවන්හිදී හැර සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ රුධිරයේ සීනි මට්ටම පහළ බසින්නේ නැහැ.
රුධිරයේ සීනි මට්ටම පහළ නොබැස ආරක්ෂාකර ගැනීමට යාන්ත්‍රණයක් සිරුර තුළ ක්‍රියාත්මකවෙනවා.
එනිසා දින කිහිපයක් ආහාර නොගෙන සිටියා කියා එකවර රුධිරගත සීනි මට්ටම පහළ බසින්නේ නැහැ. ශරීරයට අවශ්‍ය ග්ලූකෝස් ග්ලයිකෝජන් ලෙස ශරීරය තුළ තැන්පත්ව තිබෙනවා.
එයත් නැතිවූ විට අක්මාව තුළ ශරීරයට අවශ්‍ය ග්ලූකෝස් නිපදවනවා. (Gluconeo genesls)
ඇමයිනෝ අමිල මේද අමිල භාවිත කර සිරුරට අවශ්‍ය ග්ලූකෝස් නිපදවනවා.
යම් පුද්ගලයකුගේ රුධිරගත සීනි මට්ටම පහළ යාමට බලපාන විශේෂ හේතුවනුයේ දියවැඩියාව රෝගයෙන් පෙළෙන පුද්ගලයන් රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය සඳහා ඖෂධ භාවිත කිරීම, ඉන්සියුලින් ගනු ලබන පුද්ගලයන් ඉන්සියුලින් නිෂ්පාදනය කරනු ලබන සෛලවල ගෙඩිහට ගැනීම (Insulinoma Tumour) දරුණු අක්මා ආබාධ සහ වකුගඩු ආබාධ සහිත පුද්ගලයන් සහ ඉන්සියුලින් වලට එරෙහිව සිරුර තුළින් නිපදවන විට Cortisol වැනි හෝමෝන අඩුවන අවස්ථාවලදී එම පුද්ගලයන්ගේ රුධිර ගත සීනි මට්ටම පහළ බැසීමට හේතුවෙනවා.
වෛද්‍යතුමනි, ඔබ සඳහන් කළ විශේෂ රෝග සහිත පුද්ගලයන්ගේ රුධිර ගත සීනි මට්ටම අඩුවීමෙන් සිදුවිය හැකි අනතුරු මොනවාද?
ග්ලූකෝස් මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සම්පූර්ණ ශක්තිය ලබාදෙනවා. එනිසා ග්ලූකොස්වලින් මොළයට ලැබෙන ශක්තිය අඩුවන විට මොළයේ ක්රියාකාරීත්වයද දුර්වලවෙනවා. එවිට කල්පනාව අඩුවීම, මතක ශක්තිය දුර්වලවීම, තීරණ ගැනීමේ ශක්තිය අඩුවීම වැනි දුර්වලතා මතුවෙනවා. රුධිර ගත සීනි මට්ටම ඉතා විශාල ලෙස අඩුවූ විට සිහිනැතිවීමට (Coma) පත්වෙනවා.
එබැවින් දියවැඩියා රෝගීන් රුධිර ගත සීනි මට්ටම පාලනය සඳහා ඖෂධ ගන්නා විට නිසි වෛද්‍ය උපදෙස් මත ලබාගැනීමට අවධානය යොමුකළ යුතුයි.