නිරෝගි දිවි පෙවෙතකට එදිනෙදා අවශ්‍ය නිරෝගි දිවි පෙවෙතකට එදිනෙදා අවශ්‍ය දැනුම
බතට වැඩිපුර වතුර තබා පෙරා ඉවත් කළේ ඇයි
බෙහෙත් පෙත්තෙන් ඈත්ව මුළුතැන්ගෙය සහ අවට පරිසරය අපේකමට ගොඩනඟා ගැනීම තුළ නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට ඔබ දැනුවත් කිරීමට එක්වන්නේ පාරම්පරික දේශීය වෛද්‍ය ඩී. වී. පී. ආර්. සංජීව අල්විස් මහතාය. මැදවච්චිය ඔහුගේ උපන් ගමයි.
දුටුගැමුණු රජතුමාගේ වෛද්‍යවරයා වූ කපුරුනාථ ගුරුදේව වෙද පරම්පරාව වෛද්‍ය සංජීව අල්විස් මහතා නියෝජනය කරනු ලබයි. වෙල්විදාන වෙද පරම්පරාව සහ දම්පැල්ල වෙද පරම්පරාව ලෙසින් කපුරුනාථ ගුරුදේව වෙද පරම්පරාව අද කාණ්ඩ දෙකකට බෙදී තිබුණද එහි ආරම්භය කපුරුනාථ ගුරුදේව පරම්පරාවට අයත් වෙයි.
මෙම පරම්පරාව වෙදකමට පරිබාහිරව නාඩි ශාස්ත්‍රයට, නිල වෙදකමට දක්ෂතා දක්වන්නේ කපුරුනාථ ගුරුදේවයන් සතු දැනුම අද දක්වාම රැගෙන විත් තිබෙන නිසාවෙනි.
පරම්පරා ගණනාවක ඉතිහාසය මත, කපුරුනාථ ගුරුදේවයන්ගේ වූ පුරාණ පොත පත ඇසුරේ අදින් වසර දහස් ගණනාවකට එහා අද මිනිසා රෝගියෙක් බවට පත්වන බවත් ඒ සඳහා ඖෂධ පිළියම් ලියා තිබීමත් මවිතයට පත්වන කරුණක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
නිරෝගී දිවි පෙවෙතකට මෙන්ම රෝගී වී සිටින අයටත්, ජීවිතයේ සැබෑව කියාදෙන ලිපි පෙළෙහි ඇරඹුමයි මේ,
අපට ලෙඩ තිබුණේ නැහැ. එයට හේතුව වුණේ අපේ කෑම වේල සහ අපගේ ක්රියාකලාපයයි. අපි හොඳට තුන් වේලට බත් ආහාරයට ගත් ජාතියක්. දේශීය වී වගා කර ලබාගත් වී වලින් සකස් කර ගත් බත් තමයි අපි ආහාරයට ගත්තේ. ඉන්පසු කැත්ත උදැල්ල අතට ගෙන හොඳට මහන්සි වුණා.
ඇත්තෙන්ම එදා මනුස්සයෙක් වෙද ගෙදරට ගියේ සර්පයෙක් දෂ්ට කළ විට හෝ අස්ථි භග්නයක් (වැටීමකින් අස්ථියක් බිඳීම) වැනි අවස්ථාවකට පමණයි.
ඒත් අද එහෙම නෙමෙයි. ලොකු කුඩා සියලු දෙනාම වෛද්‍යවරුන් ළඟ පෝලිමට එක්වෙලා.
කාලය කෙමෙන් ගෙවී යැමේදී අනාගත මිනිසා ජීවිතය වරද්දා ගන්නා බව දැන සිටි අතීත සෘෂිවරු තම විඥානය මතින් අදට ගැළපෙන ඖෂධ වර්ග පොත පතෙහි සටහන් කර තිබීම සැබැවින්ම කාලීන අවශ්‍යතාවයක් වෙලා. අදින් අවුරුදු 40,000 ට පෙර ලියා තැබූ සටහනකට අනුව දිග කලිසම් ඇඳි මිනිසා ඖෂධ ස්ප්‍රීතු සෑදීම පිළිබඳ පවා පැරණි පොත පතෙහි සටහන්ව තිබෙනු දක්නට ලැබෙනවා.
ශාක ඖෂධ භාවිතය පිළිබඳ අද හැමතැනම දක්නට ලැබෙනවා. තැනෙකදි ඒවායේ ඵල රහිත බවකුත් කියෑවෙනවා. එහෙත් මෙවැනි දේ භාවිත කළ යුතු කාල වේලාව පිළිබඳ පවා අතීත පොත පතෙහි සටහන්ව තිබෙනවා. ගසක, වැලක, කොළයක, මුලක බලය තිබෙන කාල වේලාවක් තිබෙනවා.
සෘතු අනුව ගහේ කොළේ බලය වෙනස් වෙනවා. ඒ තරමටම ස්වභාව ධර්මය ශක්තිමත්.
එක් පළාතකට ගැළපෙන ඖෂධ වර්ග එම පළාතේ වැඩිපුර වැවෙනවා. ඒ ස්වභාව දහමේ නිමැවුමක්. අපේ බොහෝ අය එය නොදැන සිටින කාරණාවක් ඖෂධ තිබෙන්නේ අපේ වත්තේ පිටියේ. නිතර දෙවේලේ අපේ පරිසරයේ බහුලව හැදෙන්නේ එම පරිසරයේ ජීවත් වන අයට අවශ්‍ය දේ පහසුවෙන් සොයා ගැනීමටයි.
රජරට සියඹලා බහුල ප්‍රදේශයක් රජරට වැසියන් සියඹලා භාවිතයෙන් අඩුවීම වකුගඩු රෝගයට මූලික හේතුවක් වෙලා. සියඹලා ආහාරයට ගැනීම හැමෝටම හොඳයි. අද සියඹලා ආනම ගැන දන්නේ කීයෙන් කී දෙනාද. වකුගඩු රෝගයෙන් ගැළවීමට, නිරෝගී දිවි පෙවෙතකට සියඹලා ආනම සකස් කර සතියකට දින දෙක තුනක් ආහාරයට ගැනීමට උත්සාහ කර බලන්න.
සියඹලා ආනම
අවශ්‍ය ද්‍රව්‍ය
සියඹලා - ග්‍රෑම් 150
දෙවැනියට ගත් පොල් කිරි - අඬු කෝප්ප 2 ක්
සූදුරු, මහදුරු, කොත්තමල්ලි, ගම්මිරිස් ඇට කිහිපයක්, තිප්පිලි ටිකක්, සුදු ලූනු, රතු ලූනු, උළුහාල්, කුරුඳු, කරපිංචා
සාදා ගන්නා ක්‍රමය
සියඹලා සෝදා පිරිසිදු කර අතින් ඇට ගලවා ගන්න. අඹරාගත් සූදුරු, මහදුරු, කොත්තමල්ලි කබලේ බැද කුඩුකර ගත් තිප්පිලි කුඩු ටිකක්, කුරුඳු කෑල්ලක්, ගම්මිරිස් කුඩු ටිකක් සියඹලා මදවලට එක්කර පොල් කිරි දමා මිශ්‍ර කර ගන්න. සිහින්ව කපාගත් සුදු ලූනු සහ රතු ලූනු දමා ලිප තබා උකු පදමට සාදා ගන්න. දේශීය සහල් වර්ගයක් සමඟ ආහාරයට ගන්න. මෙය නිරෝගි බවට හොඳම පිළියමක්.
අතීතයේ අපේ ආච්චිඅම්මලා බත පිසින විට බතට වැඩිපුර වතුර තියලා බත තැබ්බෙන විට වතුර ටික පෙරා ඉවත් කළා. අද එහෙම කෙරෙන්නේ නැහැ. ඔවුන් බතේ වතුර ටික පෙරා ඉවත් කළේ බතේ වැඩිපුර පිෂ්ඨය ටික ඉවත් කර ගැනීමටයි. ඉන්පසු බත හැඳිගාලා පන් වට්ටියකට දමා නිවා ගත්තේ තව දුරටත් අනවශ්‍ය කොටස් වාෂ්පයෙන් ඉවත් කර ගැනීමටයි. හුමාලයෙන් විෂ ඉවත් වන බව පවා එදා වැඩිහිටියන් මනාව දැන සිටි නිසා ඔවුන් නිරෝගී බව රැකගත්තේ අත්දැකීම් තුළින් ලබාගත් දැනුම හරහායි. අද බතේ වතුර පෙරනවා තබා පිසුණු බතේ වාෂ්පය ඉවත් වීමට පියන විවෘත කර තැබීමක්වත් සිදුවන්නේ නැහැ.
ඇත්තෙන්ම අද අපි රෝගී වෙලා තිබෙන්නේ මෙවැනි ක්‍රමවලින් ඈත් වීම නිසා. මෙවැනි කරුණු කාරණා බොහෝමයකින් අපි ඈත්වෙලා. මොහොතක් සිතා බලන්න ආච්චිඅම්මලාගේ කාලේ ආහාර පාන රටාව අද අපිට නැහැ. ඒ නිසාම ඇති වූ රෝග බොහොමයක් අද අපට ඉතිරිවෙලා.
නිරෝගී දිවි පෙවෙතකට එදිනෙදා අවශ්‍ය දැනුම පිළිබඳ හෝ ඔබේ යම් රෝගී තත්ත්වයක් පිළිබඳ හෝ ඔබ අනුගමනය කළ යුතු ජීවන රටාව පිළිබඳ නොමිලේ විස්තර දැනගැනීමට 0779971700 අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.