මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ. බර අඩුවෙන්නෙත් නෑ. මොකක්ද හේතුව? නිකම් මහත් වෙන්නේ නැහැනේ. හේතු හොයා ගත්තොත් නම් මහත අඩුකරන ප්රතිකර්මවලට යොමුවෙන්න පුළුවන්.
ඒ කොහොමද?
මේ තරබාරුවට හේතුව කුමක්ද?
හේතුව වෙලා තියෙන්නේ අපේ කාර්යබහුල ජීවන රටාවයි. මේ ජීවන රටාවත් එක්ක වැඩිදෙනෙක් කෙටි කෑමවලට හුරුවෙලා. තෙල්, පිටි, සීනි මිශ්‍රිත කෑම වැඩිපුර ආහාරයට එක්වෙනවා. ඒ වගේම අප කන ප්‍රමාණයට සාපේක්ෂව ව්‍යායාමයක් කරන්නේ නෑ. බොහෝ විට සිදු වෙන්නේ කාලා බීලා එක තැන ඉඳගෙන සිටීමයි. දැන් සෑම දෙයක්ම පහසුවෙන් කරගත හැකි උපකරණ තාක්ෂණය මඟින් ලැබී තිබෙන නිසා එහි අනිසි විපාකයක් හැටියට අප සිරුර වෙහෙසවන්නේ නෑ. අප සිරුරට ගන්නා පෝෂණ ප්‍රමාණයට සාපේක්ෂව එය සිරුරෙන් දහනය වීමක් සිදු නොවුණොත් එම සංඝටක ප්‍රමාණය අධික තරබාරුව කියන තත්ත්වයට පත්කරවන්න පුළුවන්.
මොකක්ද මේ තරබාරුව කියන්නේ?
තරබාරුව කියන එක කෙනකුගේ උස, වයස අනුව මිමි වෙනස් වනවා. සාමාන්‍යයෙන් කෙනකුගේ උස මීටර්වලින් ගෙන බර කිලෝග්‍රෑම්වලින් ගෙන තමන්ගේ උසේ වර්ගයෙන් බෙදූ විට එන අගය අප හඳුන්වන්නේ ශරීර ස්කන්ධ දර්ශකය නමින්. මෙම ශරීර ස්කන්ධ දර්ශකය සාමාන්‍යයෙන් 18 ක් 24.9 ත් අතර තිබිය යුතුයි. 24.9 වඩා වැඩිවන ඕනෑම කෙනෙක් අධික තරබාරු හෝ බර වැඩිවීම කියන තත්ත්වයට පත් වෙනවා. තමන්ගේ සෞඛ්‍ය ගැන සිතන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ බර, තමන්ගේ උස තම වයසට ගැළපෙන උස සහ බරට අනුව තිබෙනවාද යන්න ගැන බැලිය යුතුයි.
මෙම තරබාරුව නිසා අපට ඇතිවිය හැකි උපද්‍රව මොනවාද?
පළමුවැනි දේ නම් මේ පිළිබඳ මානසික වශයෙන් තමන්ගේ සිතේ ඇතිවන ගැටලුවයි. එයට වඩා මෙය බරපතළ කායික ගැටලුවක් බවට පත්වෙන්නට පුළුවන්. මෙම අධික තරබාරුවෙන් යුක්ත පුද්ගලයන්ට හෘදයාබාධ, රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළයාම වෙනත් සංක්‍රමික නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවය වැඩියි. එමෙන්ම තරබාරු අයට සන්ධිගත රෝග, නහර ගැටගැසීම වැනි තත්ත්වයන් ඇති වීමේ ප්‍රවණතාවය ද වැඩියි. තරබාරුව නිසා බොහෝ විට සුළු උපද්‍රවයේ සිට ජීවිත හානි දක්වා වෙන පරාසයක් තුළ වුවද උපද්‍රව ඇතිවිය හැකියි.
ඇයි මේ තරබාරුව ඇති වෙන්නේ?
ආහාර විහරණ, ව්‍යායාම නොමැතිකම, එසේම තමා තුළ තිබෙන යම් යම් රෝගාබාධ, සමහරවිට ඔසප් චක්‍රය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම, ආර්ථවහරණය සිදුවීම, ඇතැම් විට ආර්ථවහරණයත් සමඟ තරබාරුව කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්. ඊට අමතරව එක් එක් රෝග තත්ත්ව නිසා ඇතිවන හෝමෝන අසමතුලිතතා, තයිරොක්සින් අසමතුලිතතා, ප්‍රජනන හෝමෝනවල අසමතුලිතතා නිසා තරබාරුව ඇති වන්නට පුළුවන්.
මේ තරබාරුව කියන දේ වළක්වා ගතහැක්කේ කොහොමද?
තරබාරුව වළක්වා ගන්නට නම් බාහිරව අභ්‍යයන්තරව යන ආකාර දෙකටම අප ප්‍රතිකාර කළ යුතුයි. අභ්‍යන්තරව කරන ප්‍රතිකාර නම් තරබාරුවට හේතුව කුමක්ද කියා හඳුනාගෙන ඒ අනුව අභ්‍යන්තරික ප්‍රතිකාර සිදු කිරීමයි. ආයුර්වේද ඖෂධවලින් සිදුකළ හැකි සුවිශේෂී ප්‍රතිකර්ම රැසක් තිබෙනවා.
බාහිරව සිදුකෙරෙන ප්‍රතිකාර මොනවාද?
විශේෂයෙන් බාහිරව කෙරෙන තෛල අභ්‍යාංග. තෙල්වලින් සිදුකරන අභ්‍යංග ප්‍රතිකර්මවලින් සිදුකරනු ලබන්නේ මාංසපේශීවල තිබෙන මේද තට්ටු දිය කිරීමයි. ඉන්පසු සිදුකෙරෙන්නේ වාෂ්ප ස්වේදනයයි. වාෂ්ප ස්වේද මඟින් විශේෂිත ඖෂධ යොදාගෙන දියකරන ලද මේද තට්ටු ස්වේදය නැත්නම් දහදිය වශයෙන් පිටතට ගැනීමක් සිදු කරයි. තෙල් තට්ටු දිය කිරීමට චීන කටු ප්‍රතිකාර බොහෝ දුරට උපකාරී වෙයි. මෙහිදී එල්ලා වැටෙන සමට තානයක් නැත්නම් ටෝන් එකක් ලබාදීමට ද මෙය උපකාරි වෙනවා.
මේ සඳහා ගැනෙන සමහර පත්තු වර්ග ද තිබෙනවා. එම පත්තු වර්ග දමා ශරීරය තදින් ආවරණය කිරීම මඟින් එල්ලා වැටෙන සම, රැලි වැටුණු සම නැවත යථා තත්ත්වයට පත් කරලීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම තරබාරුව අඩු කරලීමට නිසි ව්‍යායාමයන් ද අවශ්‍යයි.
මේ සඳහා යෝග්‍ය වෙන්නේ මොන වගේ ව්‍යායාමද?
යෝග ව්‍යායාම, උදරය, කලවා බාහු ප්‍රදේශවල වැඩි වශයෙන් තෙල් තට්ටු තැන්පත් වනවාට ස්ථානිකව සිදු කරන ව්‍යායාම ඇතුළත් යෝග ප්‍රතිකාර තිබෙනවා. තරබාරු බව මැඩලීමට මේ යෝග ප්‍රතිකාර වැදගත් වෙනවා. එමෙන්ම ක්‍රමානුකූලව සිදු කරන්නා වූ ආහාර රටාවකට පුරුදුවීම ද වැදගත්. වෛද්‍ය අධීක්ෂණය යටතේ හෝ පෝෂණවේදියකු යටතේ නියමිත ආහාර රටාවකට හුරුවීමෙන් තමන්ගේ බර යම්කිසි මට්ටමකට අඩුකර ගත යුතුයි.
උපදෙස් - වෛද්‍ය මිහිරානි සුලෝචනා සේනාරත්න
(under the courtesy of goodhousekeeping.lk web)