අකලට හිසකෙස් සුදුවීම, කෙස් වැටීම සහ ඉස්හොරි අද බොහෝ දෙනකුට හිසකෙස් ආශි‍්‍රතව තිබෙන ගැටලුයි. බොහෝ විට මෙවැනි දේ සිදුවීමට බලපාන හේතූන් තිබෙනවා. ඒ මොනවාද යන්න විමසා බලමු. හිසකෙස් පිළිබඳ කතා කරන විට දිනකට කෙස් ගස් 100 ක් 120 ක් අතර ප්‍රමාණයක් ගැලවී යාම සැලකෙන්නේ සාමාන්‍ය තත්ත්වයක් ලෙසයි. එය සාමාන්‍ය වන්නේ අලුතින් හිසකෙස් වර්ධනය වීමේ වේගය ඊට සාපේක්ෂව සමානව තිබේ නම් පමණයි. නමුත් බොහෝ දෙනකුගේ හිසකෙස් නැවත ඇතිවීමේ ප්‍රමාණයට වඩා ගැලවී යන ප්‍රමාණය වැඩියි. අකලට හිසකෙස් ගැලවීයාමක් ලෙස දකින්නේ එම තත්ත්වයයි.
අකලට හිසකෙස් ගැලවීයාම හිසකෙස් සුදුවීම, ඉස්හොරි යන කාරණාවන්ට පොදු හේතු රාශියක් තිබෙනවා. ඒ ගැන විමසා බැලුවොත් නිසි පෝෂණයක් සමබල පෝෂණයක් නොලැබීම පළමුවැනි හේතුවයි. එමෙන්ම අධික වශයෙන් කෘත්‍රිම ආහාර, ක්ෂණික ආහාර නිතර නිතර ගැනීම, හිසකෙස් හොඳින් පිරිසුදු නොකිරීම, රසායනික සංයෝග යෙදූ ආලේපන සහ එවන් විලාසිතාවන්ට යොමුවීම, ඊට අමතරව හෝමෝන ගැටලු, සමහර ඖෂධ විකිරණ ප්‍රතිකාර මෙන්ම වැරැදි ලෙස හිස සම්බාහනය කිරීම ආදිය හිසකෙස් ගැලවී යාමට හා සුදුවීමට හේතුවන්න පුළුවන්.
ඉස්හොරි වශයෙන් හඳුන්වන්නේ කුමක්ද?
හිස් කබලේ තිබෙන සම අධික වේගයකින් ගැලවී ඉවත්වී යාම ඉස්හොරි වශයෙන් හඳුන්වනවා. දිනපතාම සමේ ඉහළම ස්ථරය ගැලවීයාමක් සිදුවනවා. දෙවනුව දිලීරයක් මඟින් ආසාදනය වීමෙන් ඉස්හොරි කියන තත්ත්වය ඇතිවන්නට පුළුවන්. මෙය ක්‍රම ක්‍රමයෙන් වැඩිවුණොත් සහ නිසි පෝෂණයක් නොලැබුණහොත් කෙස් ගස් ගැලවී යාමටත් කෙස් ගස් සුදුවීමටත් එය බලපාන්න පුළුවන්.
* හිසකෙස් ආශි‍්‍රත රෝගී තත්ත්වයන්ට තිබෙන ආයුර්වේද ප්‍රතිකර්ම මොනවාද?
ඉස්හොරි තිබෙන අය බොහෝවිට තෛල සම්බාහන ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. එය වැරැදි ක්‍රමයක්. ඉස්හොරි තිබෙනවා නම් කිසිසේත්ම තෙල් සම්බාහන ප්‍රතිකර්ම නැත්නම් මසාජ් කිරීම සුදුසුවන්නේ නෑ. මෙහිදී කරන්නේ තවදුරටත් කෙස් ගසේ මුල බුරුල් කරලීමක්. ඉන් අනිවාර්යයෙන්ම කෙස් ගස ගැළවී ඉවත්වෙනවා. ඉස්හොරි සඳහා වෙනමම ඖෂධීය තෙල් වර්ග තිබෙනවා. හැම තෙලක්ම ඉස්හොරි තිබෙන කෙනකුට සුදුසුවන්නේ නැහැ. මෙහිදී කළ යුත්තේ නියමිත තෙල යොදාගෙන ස්ක්රේපින් නැත්නම් සූරා දැමීමේ ප්‍රතිකාරයක් කිරීමයි. කෙස් ගස් වැටීම නවත්වන නැවත කෙස් ගස් වැඩීම ඇති කරන පෝෂණීය සත්කාර කිරීමට හැකි වන්නේ ඉස්හොරි අඩුවී හොඳ සම මතුවුණාට පසුවයි.
මෙහිදී පෝෂණීය සත්කාර සඳහා විශේෂ පෝෂක අඩංගු තෙල් වර්ග යොදාගත යුතුයි. සමහර තෙල් වර්ග දිගු වේලාවක් හිසේ තබා ගැනීම සුදුසු නෑ. පැය එකහමාරක් පමණ තබා හොඳ ෂැම්පු එකක් ආධාරයෙන් සෝදා ඉවත්කළ යුතුයි. සාමාන්‍යයෙන් එදිනෙදා ගල්වාගෙන සිටිය හැකි ආකාරයේ තෙල් වර්ග ද තිබෙනවා. එවන් තෙල් වර්ග වැඩියෙන් තවරන්න අවශ්‍යයි. හිසකෙස් වියළීම වළක්වන ප්‍රමාණයට තැවරීම ප්‍රමාණවත්. නැත්නම් නැවත නැවත කුණු දූවිලි හිසකෙස්වල රැඳී ඉන්පසුව හිසකෙස් ගැලවී ඉවත් වෙන්නත් එම තෙල් හේතුවෙන්න පුළුවන්. සුදුසු තෙල් වර්ගයක් යොදා රාත්‍රියට හිස සම්බාහනය කරන්න පුළුවන්. නියමාකාරයෙන් සම්බාහනය කරන්නට දැනුමක් නැත්නම් දැති ඈතින් තිබෙන පනාවක් ගෙන හොඳින් කෙස් ගස මුල පීරීම හිස් කබල හොඳින් පීරීම කළ හැකියි.
නොදැන සම්බාහනයක් කරනවාට වඩා එය ඉතා සුදුසුයි. දිනපතා රාත්‍රියට පනස් වතාවක් පමණ දෙපැත්තට විසිපහ බැගින් පීරන්නට හැකි නම් එය ඉතා හොඳ සම්බාහනයක් වෙනවා. මේ සඳහා හොඳ පෝෂණීය තෙලක් යොදා ගන්නට පුළුවන්.
දෙවනුව අපට යෙදිය හැකි හොඳ ආලේපන වර්ග තිබෙනවා. උදා. කොහොඹ, කහ, අමුකහ, කුඹුක්, නෙල්ලි, ගොඩපර, ලුණුවිල, කලාඳුරු වැනි දේවල් යොදාගෙන ගෙදරදීම සාදාගත හැකි ෂැම්පු ආලේපන තිබෙනවා. වෙරළු කොළ, පේර කොළ, වැනි දේවල් කොටා පැක් විදිහට යොදා සෝදා ඉවත්කරන්න පුළුවන්. ඉස්හොරි නැවත ඇති නොවීමට දීර්ඝකාලීන ප්‍රතිකාර අවශ්‍ය නම් විශේෂයෙන්ම තෙල් වස්ති (තෙල් විශාල ප්‍රමාණයක් පැයක් පමණ හිසේ රඳවා ගැනීම) විනාඩි 40 ක් පුරා හිසට තෙල් වත් කිරීම, ශීරෝධාරා වැනි ක්‍රම අපට යොදන්න පුළුවන්. මේ ක්‍රමත් සමඟ අභ්‍යන්තරව ලේ පිරිසුදු කිරීම සහ නිසි පෝෂණය ලබාදෙන ඖෂධ හා පෝෂණය ලබා ගන්නවා නම් හිසකෙස් ආශ්රිත ගැටලු බොහෝමයක් අවමකර ගන්නට පුළුවන්.
(under the courtesy of goodhousekeeping.lk web)