Life
මනස ව්‍යාකූල නම් ... කතා කරන වචන පැටලෙනවා නම්... අනේ! බලාගෙන ඉන්න එපා
අපේ අය මොන තරම් වැඩිහිටි වුණත් හොඳ ළමයින් වීමට උත්සාහ ගන්නා අවස්ථා ඕනෑ තරම් තිබේ. එක් අවස්්ථාවක් වන්නේ රෝග පරීක්ෂණ වාර්තාව වෛද්‍යවරයා වෙත රැගෙන යන අවස්්ථාවයි.
අඩු සීනි, අඩු ලුණු, අඩු තෙල් සූත්‍රය අපේ ඇත්තෝ අකුරටම පිළිපදින අවස්ථාවයි. ඒ සූත්‍රය පිළිපදින ගමන් එකී මෙකී නොකී පලා වර්ග අනුභව කරමින් රෝග වාර්තාව සියයට දෙසීයක් පිරිසුදුකර ගැනීම බොහෝ දෙනකුගේ සිරිතයි. එහෙත් ඒ දිනකට දෙකකට පමණි. නැවත අධි මාත්‍රාවෙන් සීනි, තෙල්, ලුණු ගන්නේ රෝගයක් තිබෙන බවද අමතක කරමිනි.
බොහෝ දෙනාගේ මේ කල්ක්රියාවලින් සිදුවන්නේ රෝගය තිබුණාටත් වඩා උග්රවීමයි.
ආඝාතය මෙසේ අපේ ඇත්තන් ජීවිතයට තර්ජනයක් කර ගන්නා බරපතළ රෝග තත්ත්වයකි. ආඝාතය නැතිනම් ස්ට්‍රෝක් අවදානම අපේ රටේ අයට වැඩිය.
* මේ රෝගය හෙණ ගහන්නාක් මෙන් හදිසියේම ඇතිවන රෝග තත්ත්වයකි. එහෙත් ඇතැම් විට රෝග ලකුණු පෙන්නුම් කෙරෙන අවස්ථා ද නැතුවා නොවේ.
* මොළය අකර්මණ්‍ය වෙන හැටි
මොළයේ එක් පෙදෙසකට හදිසියේ රුධිර සැපයුම අඩාල වීම රෝගයට හේතුවයි. එයින් එම රුධිර සැපයුම අඩාල වන මොළයේ පෙදෙසට අවශ්‍ය ඔක්සිජන් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යයි. එසේ පෝෂණය, ඔක්සිජන් නොලැබීමෙන් ඒ ප්‍රදේශයේ ස්නායු සෛල මිය යයි. මොළයේ ස්නායු සෛල හා සිරුරේ අනෙක් කොටස් අතර ඇත්තේ ගසත් පොත්තත් මෙන් සබඳතාවයකි.
* හේතු දෙකයි
රුධිර නාල අවහිර වීම ක්‍රම දෙකකට සිදුවිය හැකියි. වැඩි පිරිසක් ආඝාතයට ගොදුරු වන්නේ රුධිර නාල අවහිරවීම නිසයි (ඉසියමික් ස්ට්‍රෝක්). ලේ කැටියක් නිසා රුධිර නහරයක් අවහිරවීමෙන් මෙසේ සිදුවේ.
මොළය තුළ රුධිර නහරයක් පිපිරීමෙන් (හෙමරජික් ස්ට්‍රෝක්) ඇතිවන තත්ත්වයට තවත් පිරිසක් ගොදුරු වෙයි.
* හානියේ තරම
ආඝාතය ක්ෂණික මරණයට හේතුවකි.
ක්ෂණිකවම මරණයට පත් නොවුණත් රෝගයට ගොදුරු වූ පසු වසරකදී තුනෙන් එකක් මරණයට පත්වෙයි.
තවත් තුනෙන් එකක් ආබාධිත තත්ත්වයට ගොදුරුවේ. ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු කරගැනීමට හැකිවන්නේ තුනෙන් එකකට පමණි.
රෝග ලක්ෂණවලට බලපාන්නේ මොළයේ රුධිර නාල අවහිරවන ස්ථානයයි. අවහිරවන ස්ථානය අනුව ආබාධිත වන ස්ථානය ද තීරණය වෙයි.
* රෝග ලකුණු
හදිසියේ රෝග ලකුණු රැසක් ඇති වෙයි.
* එක්වරම ඇතිවන හිසරදය
හිසරදය හා ආඝාතය අතර තිබෙන සබඳතාව ගැන දහසක් කතා පවතී. එහෙත් මිග්රේන් ලෙස හඳුන්වන හිසරදය හා ආඝාතය අතර සබඳතාවක් පවතින බව තවමත් පර්යේෂණ මඟින් හෙළි වී නැත. කෙනකු නිතර නිතර මිග්‍රේන්වලට ගොදුරු වෙනවා නම් ආඝාතයට යම් අවදානමක් පවතී. එහෙත් එය සුළු අවදානමකි.
අවදානම් හිසරදය ඇතිවන්නේ එක් වරම තදබල ලෙසිනි. වමනය යාමට, කරකැවිල්ලක්, ව්‍යාකූල බවක් හටගැනීමට පුළුවන.
ඔබට එක්වරම තදබල හිසරදයක් ඇති වුණොත්, එක් ඇසක පෙනීම අහිමි වුවහොත්, සිරුරේ එක් පැත්තක මාංශ පේශී දුර්වල වුණොත් එය වහාම, නොපමාවම වෛද්‍ය උපදෙස් පැතිය යුතු ලකුණුය.
* කතා කිරීමට, අවබෝධකර ගැනීමට දුෂ්කර වීම - මනස ව්‍යාකුල නම්, කතා කරන වචන පැටලේ නම්, එය බලා සිටිය යුතු තත්ත්වයක් නොවේ.
* මුහුණේ, අත්පාවල, හිරිවැටීමක් හෝ දුර්වලවීමක් අංශභාග තත්ත්වයක් ඇත්නම්, විශේෂයෙන්ම එසේ වන්නේ එක් පැත්තක නම් එය අවදානම් ලකුණකි. අත් හිසට උඩින් ඔසවද්දී පහළට වැටේ නම් ආඝාතය විය හැකියි. සිනාසෙන විට මුවේ එක් පැත්තකට ද එසේ විය හැකියි.
* එක ඇසක හෝ දෑසේම පෙනීමේ ගැටලු මතුවේ.
එක දෙක වී පෙනීමට පුළුවන.
* ඇවිදීමට අසීරු වෙයි. හදිසියේ ඇතිවන කරකැවිල්ල මීට හේතුවයි.
* අධික රුධිර පිඩනය ඇත්නම් ආඝාත අවදානමක්
මොළයට එල්ල වන හදිසි ප්‍රහාරය නැත්නම් ආඝාතයට (ස්ට්‍රෝක්) පාලනය නොකළ අධික රුධිර පීඩනය ප්‍රබල ලෙසින් හේතුවේ. පාලනය නොකළ අධික රුධිර පීඩනය ආඝාතය ඇතිවීමේ අවදානම හය ගුණයකින් ඉහළ නංවයි.
කාලයක් පුරා ආඝාතය පැවතීමේදී අපේ විශාල නහර අවහිරවීමට පටන් ගනී. එය මොළයේ කුඩා නහර අවහිරවීමට ද බලපායි.
* අහිතකර කොලෙස්ටරෝල් අධික වීම හා ආඝාත අවදානම
අහිතකර කොලෙස්ටරෝල් වැඩිවන විට හෘද රුධිර නාල සම්බන්ධ රෝග ද වැඩි වෙයි. අපේ සිරුරින් ස්වාභාවිකව කොලෙස්ටරෝල් නිපදවෙයි. ඊට අමතරව කිරි, බිත්තර, මස් ආහාරයට ගත් විට ද සිරුරට අවශ්‍ය පමණට වඩා කොලෙස්ටරෝල් නිපදවෙයි.
රුධිර නාලවල, අහිතකර කොලෙස්ටරෝල් බැඳෙන අතර එය ද මොළයට ඇති තරමට රුධිරය සහ ඔක්සිජන් ලැබීමට බාධාවකි. අහිතකර කොලෙස්ටරෝල් හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂාවකිනි. බොහෝ දෙනෙක් රුධිර
පරික්ෂණයක් කරගන්නා තුරුම කොලෙස්ටරෝල් අධික බව නොදනිති.
* ආඝාතය හා හෘද රෝග
එකම කාසියේ දෙපැත්ත මෙන් හෘද රෝගවලට මෙන්ම ආඝාතයට ද හේතු වන්නේ රුධිර නාල අවහිරතාවකි.
* දියවැඩියාව හා ආඝාත අවදානම
දියවැඩියාව තවත් රෝග රැසකටම හේතු වන රෝගයක් ද වෙයි. ඒ අතර ආඝාතය, හෘද රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම පෙරමුණ ගනී. දියවැඩියාව ඇතිවිට නහර ඝනවීමට තිබෙන ඉඩ වැඩිය.
අප ආහාර ගත් විට ඒවා ග්ලූකෝස් බවට පත් වී සිරුරට ශක්තිය ලබා දෙයි. වැඩිපුර පිටි, සීනි සහිත ආහාර ගත්විට ග්ලූකෝස් වැඩි වී රුධිර නාලවල අහිතකර මේදය බැඳීම වැඩිවේ. මේ බැඳෙන මේදය නහර අවහිර කරයි. පටු කරයි. එය ආඝාතයට මඟ පාදයි.
* තරබාරුකම සහ ආඝාත අවදානම
තරබාරුකම ද නහරවල අහිතකර මේද තැන්පත්වීමට හේතුවකි. කෙනකු තරබාරු වන තරමට අහිතකර කොලෙස්ටරොල් (එල් ඩී එල්) වැඩි වන අතර හිතකර කොලෙස්ටරීල් (එච් ඩී එල්) අඩු වෙයි. හිතකර කොලෙස්ටරෝල් අහිතකර කොලෙස්ටරොල් අඩු කිරීමට හේතුවන අතර එය ද අපේ නහරවල යහපත් සෞඛ්‍යයට තර්ජනයකි.
පරිවෘත්තීය සින්ඩ්‍රෝමය
පරිවෘත්තීය සින්ඩ්‍රෝමය සියලු බෝ නොවන රෝගවලට අත වනන සාධකයකි. ඇපල් ගෙඩියක් මෙන් ගෝලාකාර වීම, විශාල උදරයක් තිබීම, රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීම, හිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය තිබිය යුතු මට්ටමට වඩා අඩුවීම, අධික රුධිර පීඩනය, දියවැඩියාව, පරිවෘත්තීය සින්ඩ්‍රෝමය වැඩි කරයි. ව්‍යායාම නොකිරීම ආඝාතයට ප්රබලවම බලපායි.
* ආඝාතය අවම කිරීමට
මේ හදිසි මාරයාගෙන් බේරීමට දිනපතා අඩු වශයෙන් එළවළු ග්‍රෑම් 14 ක් වත් කෑමට ගන්න. එවිට අහිතකර කොලෙස්ටරෝල් මි. ග්රෑ. 300 ක මට්ටමට පවත්වාගත හැකියි.
* අක්‍රීය දුම්පානයෙන් වළකින්න
* කාන්තාවන්ගේ ඉණ අඟල් 35 ට අඩුවෙන් හා පිරිමින්ගේ ඉණ අඟල් 40 ට අඩුවෙන් තබාගන්න.
* එක දිගට පැය භාගයක් ව්‍යායාම කළ නොහැකි නම් දිනපතා විනාඩි 10, 15 බැගින් විනාඩි 30 ක් සපිරෙන ලෙස ව්‍යායාම කරන්න.
* ලුණු තේ හැඳි 1 1/2 කට (ග්‍රෑම්1.5 - 3 ට වඩා) ආහාරයට එක්කර නොගන්න.
සීරුවට තබා ගත යුතු පරීක්ෂණ වාර්තා අංක
* දියවැඩියාව සඳහා ඒධ්ඛ් පරීක්ෂණ ප්‍රතිපල 7% ට අඩුවෙන් තිබිය යුතුයි.
* රුධිරයේ සීනි මට්ටම කෑමට පෙර 90 - 130 mg / dl තිබීමත්, කෑමට පැය 1 - 2 ට පසු 180 mg /dl තිබීමත් වැදගත්වේ.
* රුධිර පීඩනය 130/80 ථථ ඩඨ ට අඩුවෙන් තබා ගන්න.
මුළු කොලෙස්ටරෝල් එකතුව 200 mg /dl අඩුවෙන් ද අහිතකර කොලෙස්ටරෝල් එකතුව (එල් ඩී එල්) 100 mg /dl ට අඩුවෙන් ද ට්රයිග්ලිසරයිඩ්ස් මට්ටම 150 mg /dl ට අඩුවෙන්ද, එච් ඩී. එල් හෙවත් හිතකර කොලෙස්ටරෝල් මට්ටම පිරිමින්ට 40 mg /dl ට වැඩියෙන් ද, කාන්තාවන්ට 50 mg /dl ට වැඩියෙන් ද තිබිය යුතුයි.
* ලොකුම රතු එළිය
ආඝාතය ඇතැම් විට ඇති වන්නේ එක්වරම නොවේ. පුංචි පුංචි අනතුරු ඇඟවීමේ ලක්ෂණ ඇතමුන්ට වරින් වර ඇතිවේ. මිනි ස්ට්‍රෝක් නැත්නම් ට්‍රාන්සියන්ට් ඉෂැයමික් ඇටෑක් (ටී අයි ඒ) ලෙස මෙය හඳුන්වයි.
මේ තත්ත්වයේදී සිදුවන්නේ ආඝාතයට අදාළ රෝග ලකුණු සුළු වේලාවක් (මිනිත්තු හෝ පැය කිහිපයක්) පැවතීමයි. පැය 24 ක් ඇතුළත ‘පුංචි ආඝාත’ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවවෙයි. පුංචි ආඝාතය (ටී අයි ඒ) යනු මරණයට හෝ ස්ථිර ආබාධිත තත්ත්වයට හේතු වන ලොකු ආඝාතයක පෙර නිමිත්තකි. අවාසනාවකට රෝග ලක්ෂණ කෙටි කාලයකින් නැති වන නිසා බොහෝ දෙනෙක් ගණන් නොගනිති.
පුංචි ආඝාතය ඇති වන්නේ මොළයට සැපයෙන රුධිරයේ තාවකාලික ඇණහිටීමක් නිසයි. මේ තාවකාලික නතර වීම මොළයට, ස්නායු රජ්ජුවට හෝ ඇසේ දෘෂ්ටි විතානයට සැපයෙන රුධිරය නතරවීමක් විය හැකිය. මෙයින් මොළයේ සෛලවලට කිසිදු හානියක් සිදු නොවේ.
* පුංචි ආඝාතයේ ලකුණු
* මාංශපේශීවල හිරිවැටීම හෝ දුර්වලකම.
සාමාන්‍යයෙන් එක් පැත්තක එසේ සිදුවෙයි.
* කතා කිරීමට හෝ කතා කිරීම වටහා ගැනීමට ඇති දුෂ්කරතාව.
* කරකැවිල්ල සිරුරේ සමබරතාව නැතිවීම
* එක ඇසකින් හෝ ඇස් දෙකෙන් බලන දෙය දෙගුණ වී පෙනීම
මේ ලකුණු මිනිත්තු කිහිපයක් පැවතිය හැකියි. සමහර විට පැය 24 ක් ද තිබිය හැකියි. එම් ආර් අයි, සී ටී මඟින් පුංචි ආඝාතය මතු බරපතළ ආඝාත තත්ත්වයකට හේතුවේදැයි බලාගත හැකියි.
උපදෙස් - ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය එම්. ටී. එම්. රිෆ්සි
ස්නායු රෝග පිළිබඳවිශේෂඥ වෛද්‍ය උදය රත්නායක සහ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය
ආඝාත ලකුණු ඇත්නම් ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ඇති රෝහලකට යා යුතුයි. කොළඹ ජාතික රෝහල, රාගම, කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, මහනුවර, පේරාදෙණිය, කරාපිටිය, යාපනය, අනුරාධපුර, මඩකලපුව වැනි ශික්ෂණ රෝහල්, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, මාතර, කළුතර වැනි සියලුම පළාත් සහ මහ රෝහල්, කායික වෛද්‍ය විශේෂඥ සේවා ඇති රෝහල්, බොහෝ මූලික සහ දිස්ත්‍රික් රෝහල් ඒ අතර ප්‍රධානයි.
Wmqgd .ekSu wo forK fjí wvúh