අසනීපයක් ඇඟේ පතේ වේදනාවක් ඇති වුණාම අපි සොයා යන්නේ බෙහෙත් පෙත්තක්. සමහරු අනුන්ගේ ලෙඩවලට දුන් බෙහෙත් පෙතිත් ගන්නවා. තවත් අය ෆාමසියට ගිහින් නම කියල බෙහෙත් පෙති ඉල්ලනවා. හරියට සබන් කෑල්ලක් ගන්නවා වගේ.
වතුර බඳුනකට ලුණු කැටයක් දැම්මොත් ඒ වතුර ලුණු රස වන බව ඔබ දන්නවා. ලුණු හැදිලා තියෙන්නෙ සෝඩියම් හා ක්ලෝරීන් එකතු වීමෙන්. සෝඩියම්වත් ක්ලෝරින්වත් තව දුරටත් බෙදන්න බෑ. මුළු ලෝකෙම හැදිල තියෙන්නෙ සෝඩියම්, ක්ලොරින් වැනි මූලද්‍රව්‍ය එකසිය දාහතෙන් එකක් හෝ කීපයක් එකතු වෙලා. මේ අනුව ලුණුවල අඩංගු මොනවද කියල ඔබ හරියටම දන්නවා. ඒ වගේම ලුණු කැටයක් වතුර භාජනයකට දැම්මම එහි වතුර ලුණු රස වන බවත් ඔබ දන්නවා.
බටහිර ඖෂධ, එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් දන්නා භාෂාවෙන් කිව්වොත් ඉංග්‍රීසි බෙහෙත් කියන්නෙ ඒ කුඩා පෙත්ත තුළ අඩංගු දේ හරියටම වෛද්‍යවරයා විසින් හඳුනන, ඒක බිව්වම ශරීරය තුළ වෙනසක් ඇති කරන බොහොම ශක්තිමත් දෙයක්. බටහිර ඖෂධ නොවන වෙනත් බෙහෙත් වර්ග වල අඩංගු දේවල් ගැන විශ්ලේෂණයක් බොහෝ විටම සිදුවන්නෙ නෑ.
බෙහෙතක් ශරීරයට හරියටම උරා ගන්නා ක්‍රම කිහිපයක් තියනවා. බොහෝ විටම අප කරන්නෙ බෙහෙත් මුඛයෙන් ගැනීමයි. ඒ හැරුණු විට ඉන්ජෙක්ෂන් ලෙසින්, දිවයට තැබීමෙන්, හුස්ම සමඟ පපුවට ඉරීමෙන් මෙසේ ඒ ඒ බෙහෙත් වලට අනුව ඒ ඒ ආකාරයෙන් ශරීරගත කෙරෙනවා. බෙහෙත ශරීරයට ගත් පසු එය අවශ්‍ය තැනට, එනම් රෝගය ඇති තැනට ගෙනියන්නෙ රුධිරය විසිනුයි. රුධිරය ශරීරය පුරා ගලා යන විට බෙහෙත ද ඒ සමඟ සිරුර පුරා ගමන් කරනවා. අවශ්‍ය තැනදී එය ක්‍රියාකාරී වන අතර අනවශ්‍ය තැන් වලටත් රුධිරය සමඟ ගමන් කරන්නේ ඉබාගාතේ යන ගමනක් ලෙසිනුයි.
සමහරක් බෙහෙත් වර්ග කෑමට පෙර ගන්නා ලෙස උපදෙස් දෙනවා. ඒ වගේම බොහොමයක් බෙහෙත් වර්ග කෑමට පසුවයි ගන්නෙ. කෑමට පෙර ගන්න කියන්නෙ කෑම සමඟ මිශ්‍ර නොවීමටයි. එනිසා බෙහෙත් ගත් වහාම ආහාර ගැනීම නොකළ යුතුයි. එවැනි බෙහෙත් වර්ග ගත් විට පැය භාගයකට පමණ පසුවයි ආහාර ගත යුතු වන්නෙ. එයට හේතුව බෙහෙත පැය භාගයක් පමණ ආමාශය තුළ රැඳී පැවැතීමයි.
සමහර බෙහෙත් වර්ග කෑමට පසුව ගන්නා ලෙස උපදෙස් දෙන්නෙ එම බෙහෙත් කෑම සමඟ මිශ්‍ර විය යුතු නිසයි. එහිදී කෑම ගත් පසු පැය භාගයක් පමණ ඇතුළත ඕනෑම වෙලාවක එය ගත හැකියි. ප්‍රමාද වී ගැනීම පලක් නෑ. හේතුව එවිට ආහාර දිරවා තිබෙන නිසයි.
තවත් සමහර බෙහෙත් වර්ග ගත යුතු වන්නේ පැය හයකට වරක් වශයෙනුයි. එයට හේතුව පැය හයකින් පසු එම ඖෂධය ශරීරය තුළ ක්‍රියාකාරි වී අවසන් වීමයි. පැය හයකට පසු නැවත ඊළඟ බෙහෙත් වේල ගත යුතුයි. දිනකට දෙවරක්, දවසට එක් වරක් ආදී වශයෙන් ගන්නා ඖෂධයක් මෙලෙස ඒ නියමිත කාලයෙන් පසු එහි ක්‍රියාකාරී බව නැතිව යනවා.
බෙහෙත් ඔබට ලබා දී ඇති මාත්‍රාවටම ගත යුතුයි. පෙති දෙකක් එකවර ගන්නා ලෙස උපදෙස් දුන් විට ඔබ එක පෙත්තක් ගැනීම හෝ පෙති තුනක් ගැනීම හොද්දට ලුණු අඩු වැඩි වීම වගේ දෙයක්.
ලුණු ප්‍රමාණය හැන්දෙන් මනිනවා වගේ අවශ්‍ය බෙහෙත් ප්‍රමාණය මනින්නෙ මිලි ග්‍රෑම් වලින්. ඔබට සුදුසු වන්නෙ මිලි ග්‍රෑම් සියයක් නම් එය මිලිග්‍රෑම් පනහේ පෙති දෙකක් හෝ මිලිග්‍රෑම් දෙසීයේ පෙත්තකින් භාගයක් විය හැකියි.
සමහර විට ශරීරය තුළ බෙහෙත් අතර ගැටුම් ඇති වන්නේ ඉඟුරු සහ මඤ්ඤොක්කා වගේ. එනිසා වෛද්‍යවරයා ඔබට බෙහෙත් ලියන්නට සූදානම් වන විට ඔබ දැන් පාවිච්චි කරන බෙහෙත් වල නම් වෛද්‍යවරයාට පෙන්විය යුතුයි. බෙහෙත් පෙති පෙන්වීමෙන් ඇතැම් විට ප්‍රයෝජනයක් නොවිය හැකියි. හේතුව ඖෂධයක බාහිර පෙනුම එය නිපදවන සමාගම් වලට කැමති පරිදි සිදුවීමයි.
සමහර බෙහෙත්වලට එහි ඖෂධ නාමය හැරුණු විට එය නිපදවන සමාගම විසින් තවත් නමක් යොදනවා. එය හඳුන්වන්නේ ඖෂධයෙහි වෙළෙඳ නාමය ලෙසයි. නිදසුනක් ලෙස පැරසිටමෝල් ඖෂධය විවිධ වෙළෙඳ නාම ගණනාවකින් පැවැතීම දැක්විය හැකියි.
බෙහෙත් වර්ග අප ගැනීමෙන් පසු ඇතැම් ඒවා පිට වන්නේ වකුගඩු හරහා මුත්‍රා සමගයි. තවත් ඒවා අක්මාව හරහා මල සමඟ පිට වෙනවා. බොහෝ ඖෂධ ශරීරයෙන් පිට වන්නේ මේ ක්‍රම දෙකටයි. එනිසා වකුගඩු රෝගීන්ට මෙන්ම අක්මා රෝගීන්ටත් නොගැළපෙන බෙහෙත් වර්ග තිබෙනවා. ඒ වගේම තවත් බෙහෙත් වර්ග දිගු කලක් ගත් විට ශරීරයේ ඇතැම් අවයවවලට ඔරොත්තු නොදෙන තත්ත්වයක් ඇති වන්න පුළුවන්. වෛද්‍යවරයකුගේ උපදෙස් මතම ඖෂධ ගත යුතු වන්නේ මෙවැනි හේතු නිසයි.
සමහර රෝගවලට දෙන බෙහෙත් වර්ග සිරුරට විෂ විය හැකි බව වෛද්‍යවරුන් දන්නවා. නමුත් රෝගයේ ඇති අවදානම ඊට වඩා වැඩි නම් එවැනි ඖෂධ රෝගීන්ට නියම කරන්නට වෛද්‍යවරයාට සිදු වෙනවා.
තවත් සමහර ඖෂධ වර්ග අප ගත් පසු ඒවා අපේ ශරීරය විසින් ප්‍රතික්ෂේප කරනවා. බෙහෙත් අසාත්මිකවීම හෙවත් ඇලජික් (Allergic) වීම ලෙස හඳුන්වන්නේ එයයි. යම් අවස්ථාවක එලෙස කිසියම් ඖෂධයක් ඔබේ සිරුරට අසාත්මික වුවහොත් එය මුළු ජීවිත කාලයටම වලංගු වන බව සිහි තබා ගන්න. ඒ අනුව එම ඖෂධය වෛද්‍යවරයා වෙතින් ලියවා ගෙන ළඟ තබා ගත යුතුයි. ඔබ ඕනෑම අවස්ථාවක කිනම් රෝගයකට හෝ ප්‍රතිකාර ගැනීමට ගිය විට එම ඖෂධය ලියූ තුණ්ඩුව අදාළ වෛද්‍යවරයාට පෙන්වන්න. එවිට ඒ ඖෂධය නොදී හිඳින්නට වෛද්‍යවරයා වග බලා ගන්නවා.
කොහොම වුණත් ඔබට කුමන ඖෂධය අසාත්මික විය හැකි දැයි එවැනි අත්දැකීමක් ලැබීමට පෙර ඔබ දන්නෙ නෑ. ඒ වගේම ඔබට අසාත්මික විය හැකි ඖෂධ ගැන වෛද්‍යවරයා දන්නෙත් නෑ. ඖෂධයක් අසාත්මික වුණාම ඔබ එය සිහි තබා ගත යුත්තේ ඒ නිසයි.
සමහර බෙහෙත් වර්ග බොන විට ඇතිවන ගැටලු බෙහෙත්වල අතුරු ආබාධයි. නිදසුනක් ලෙස සමහර බෙහෙත් නිසා ඔබට බඩ දැවිල්ල ඇතිවිය හැකියි. කෙසේ හෝ මේ අතුරු ආබාධ ද එම බෙහෙත් සම්බන්ධයෙන් ජීවිත කාලයටම පවතිනවා.
අධි රුධිර පීඩනයට ගන්නා සමහර බෙහෙත් වර්ග නිසා කකුල් ඉදිමීම, වියළි කැස්ස ඇති වීම සුලබ තත්ත්වයක්. එවැනි අවස්ථාවලදී බෙහෙත් වෙනස් කිරීම ප්‍රමාණවත්.
මේ ආකාරයට ඖෂධ විසින් අපට ලැබෙන වාසි විශාල වගේම අවාසිත් නැතුවා නොවෙයි. ඒත් අප රෝගී වීම වළක්වන්න බෑනේ. එනිසා ඖෂධත් අපේ ජීවිතවලට නැතිවම බෑ. ඔබ කළ යුත්තේ වෛද්‍ය උපදෙස් පිළිපැදීමයි.