Life
බිරිය දියණිය හෝ මව සුවනාරී සායනයට යැවීම සෑම පිරිමියකුගේම වගකීමයි
පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස්
තමාගේ පියයුරෙහි ගැටලුවක් ඇති බව හෙළි කිරීමට බොහෝ කාන්තාවෝ ලජ්ජා වෙති. එය පිළිකා තත්ත්වයක් බව හඳුනා ගත්ත ද තමාට පිළිකාවක් වැලඳී ඇතැයි කීමට පවා බොහෝ දෙනා මැළි වෙති. එහෙයින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු නොවීම රෝගය උත්සන්න වීමට හේතුවේ.
ඔක්තෝබර් මාසය විශ්ව පියයුරු පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසයයි. පියයුරු පිළිකාව පිළිබඳ නිවැරැදි තොරතුරු දැන සිටීමෙන් කල් තියා හඳුනාගෙන රෝගයෙන් සුවය ලැබිය හැකි ය.
ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලඳෙන පිළිකාවලින් බහුලතම පිළිකාව පියයුරු පිළිකාව බව ඔබ දන්නවාද? කාන්තාවන්ට වැලඳෙන පිළිකාවලින් 25% ක් ම පියයුරු පිළිකා වේ. එය මාරාන්තික වුවත් කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර කළහොත් සම්පූර්ණයෙන් ම සුවපත් දිවියත් ගත කළ හැකිය. පිළිකාවක් වළක්වා ගත නොහැකි වුවත් පියයුරු පිළිකාවක් ඇත්දැයි එහි මූලික ලක්ෂණ පරීක්ෂා කිරීමෙන් තමාටම පරීක්ෂා කර ගැනීමට පුළුවන.
තම පියයුරුවල ගැටිත්තක්, ඉදිමීමක්, මෑතදී ඇතිවූ හැඩයේ වෙනසක් හෝ පෙනුමේ වෙනසක්, අසමමිතික බවක්, තන පුඩුවේ ගිලීයාමක් හෝ පියයුරුවල වළ ගැසීමක්, සම මතුපිට දදයක්, තුවාලයක්, පැහැයේ වෙනසක්, දොඩම් ලෙල්ලක වැනි පෙනුමක්, තන පුඩුවෙන් කිරි නොවන ශ්රාවයක් පිටවීම හෝ නිතර ඇතිවන අසාමාන්‍ය වේදනාවක් දැනෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසු ය.
මේ සඳහා සෑම කාන්තාවක් ම තම පියයුරු පිළිබඳව දැනුමින් හා අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ. අවුරුදු 20 ට වැඩි සෑම කාන්තාවකටම මාස තුනකට වරක් ස්වයං පියයුරු පරීක්ෂාවක් මඟින් තමන්ගේ පියයුරුවල ඉහත සඳහන් ආකාරයේ වෙනස්කම් ඇත්දැයි පරීක්ෂා කිරීම සුදුසුය. පියයුරු පරීක්ෂාව පිළිබද ඔබට කිසියම් සැකයක් ඇත්නම් ළඟම පිහිටි රෝහලේ සුව දිවි මධ්‍යස්ථානය හෝ වෛද්‍ය නිලධාරී කාර්යාලයෙහි සුව නාරී මධ්‍යස්ථානය වෙත ගොස් ඒ පිළිබඳ උපදෙස් ලබා ගැනීමට මෙන් ම සුදුසුකම් සහිත වෛද්‍යවරයකු ලවා සායනික පරීක්ෂණයක් නොමිලේ කර ගැනීමට ද පිළිවන.
සෑම ගැහැණු දැරියක් ම තම මව බිරිය හෝ සහෝදරියක් ම මෙවැනි සුවනාරී සායන වෙත හෝ සුව දිවි මධ්‍යස්ථාන වෙත යොමු කර තමාට පූර්ව පිළිකා ලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කර ගැනීමට පෙලඹවීම සෑම සැමියෙකුගේ ම යුතුකම හා වගකීමක් ද වන බව ජාතික පිළිකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය පවසයි. ඒ මහත්මිය පවසන පරිදි පිළිකාවට ගොදුරු වී මිය යන කාන්තාවන් ගෙන් 25% ක් ම පියයුරු පිළිකාවලට ගොදුරු වූවෝ ය. ඔවුන්ගේ මරණයට හේතුව පිළිකා තත්ත්වය කල්තියා හඳුනා නොගැනීම හා කල්තියා ප්‍රතිකාර ලබා නොගැනීම ය.
තමාගේ පියයුරෙහි ගැටලුවක් ඇති බව හෙළි කිරීමට බොහෝ කාන්තාවෝ ලජ්ජා වෙති. එය පිළිකා තත්ත්වයක් බව හඳුනා ගත්ත ද තමාට පිළිකාවක් වැලඳී ඇතැයි කීමට පවා බොහෝ දෙනා මැළි වෙති. එහෙයින් ප්‍රතිකාර ලබා ගැනීමට යොමු නොවීම රෝගය උත්සන්න වීමට හේතුවේ. ඇතැම් විට සුදුසුකම් නොලත් වෛද්‍යවරුන් හෝ විකල්ප ප්‍රතිකාර කිරීමෙන් රෝගය වර්ධනය කර ගනිති. රෝගය බරපතළ වූ විට සුව කිරීම අසීරු වන අතරම අතිශය වේදනාකාරී වන බවත් වෛද්‍ය දමයන්ති පවසයි.
පියයුරු පිළිකාවක් වැලඳීමට හේතු වන්නේ ජානවල කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් නිසා පාලනයකින් තොරව හා අසාමාන්‍ය ලෙස සිදුවන සෛලවල බෙදීයාමකි. ජානවල සිදු වන මෙම අසාමාන්‍ය තත්ත්වය විවිධ හේතු නිසා ඇතිවිය හැකි ය. මින් සමහරක් උපතින් ම හා පරිසරගත හේතු වේ.
ප්‍රවේණිගත හේතුවලින් පියයුරු පිළිකා ඇතිවන්නේ 5 – 10% අතර රෝගීන් සංඛ්‍යාවකට වෙන අතර වැඩි සංඛ්‍යාවක් අයහපත් චර්යා සහ පාරිසරික හේතු මත ඇතිවේ. ඒ සඳහා අවදානම් සාධක එකක් හෝ කිහිපයක් බලපෑ හැකි ය. එහෙත් කිසිදු අවදානම් සාධකයක් නොමැතිව ද පියයුරු පිළිකා සෑදීමට ඉඩ තිබේ.
කාන්තාවන්ට මෙන් ම පිරිමින්ට ද පියයුරු පිළිකා ඇතිවිය හැකි ය. එහෙත් ඒ 1% කට පමණ වේ. අවදානම් සාධක වෙනස් කළ හැකි මෙන් ම නොහැකි ලෙස ද වර්ග කළ හැකි ය. වෙනස් කළ නොහැකි අවදානම් සාධක වන්නේ
* ස්ත්‍රියක් වීම
* වයස්ගත වීම
මව, සහෝදරියන් වැනි ලේ ඥාතීන් කිහිප දෙනෙකුට පියයුරු හෝ ඩිම්බ කෝෂ පිළිකා වැලඳී තිබීම
* ඊස්ට්‍රජන් හෝමෝනයට දීර්ඝ කාලයක් නිරාවරණය වීම අවුරුදු 12 ට පෙර වැඩිවියට පත් වීම හා අවුරුදු 55 පසුවන තුරු අර්තවහරණය සිදු නොවීම.
* ඇතැම් ජානමය තත්ත්ව
වෙනස් කළ හැකි අවදානම් සාධක
* අර්තවහරණයෙන් පසු අධික ලෙස තරබාරු වීම
* ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන ප්‍රතිස්ථාපන දිගු කාලීනව ලබාගැනීම
* දුම් බීම
* ව්‍යායාම නොකිරීම
* මධ්‍යසාර පානය
* අනවශ්‍ය ලෙස විකිරණ සඳහා නිරාවරණය වීම
මෙයට අමතරව දරුවන් නොමැති හා මවු කිරි ලබා නොදුන් කාන්තාවන්ට ද පියයුරු පිළිකා වැලැඳීමට වැඩි අවදානමක් තිබේ.
පෙර සඳහන් කළ රෝග ලක්ෂණ ඇතත් නැතත් ඔබේ පියයුරු ඔබටම පරීක්ෂා කරගත හැකි ය. වයස අවුරුදු 20 – 40 අතර කතුන් මාස තුනකට වරක් බැගින් හා වසර 40 ට වැඩි කතුන් මසකට වරක්වත් තමා විසින් ම තම පියයුරු පරීක්ෂා කර බැලීමට හුරු විය යුතු ය. වෙනත් පිළිකා මෙන් නොව පියයුරු පිළිකාව කල්තියා හඳුනා ගත් විට 100% ක් ම සාර්ථක ලෙස සුව කළ හැකි බව මහරගම අපේක්ෂා ජාතික පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයෙහි ප්‍රධානී විශේෂඥ ශල්‍ය වෛද්‍ය කණිෂ්ක ද සිල්වා මහතා පවසයි. පිළිකාවක් මුල් අවදියේදී හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් 80% ක් පමණ සැත්කම් මඟින් සුව කළ හැකි බව ද තෙවැනි සහ සිව් වැනි අවදියේ දී හඳුනාගත් ශල්‍යකර්ම ඖෂධ භාවිතා කරමින් සැත්කම් හා විකිරණ ප්‍රතිකාර යන සංකීර්ණ ක්‍රියාදාමයකට අනුව ප්‍රතිකාර කළ යුතු බව ද ඒ මහතා පවසයි.ළමයින් අතර පියයුරු පිළිකා දක්නට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. මෙරට හමුවූ ළාබාලතම පියයුරු පිළිකා රෝගියා වයස අවුරුදු පහක දැරියකි. මේ වන විට එම දැරිය සැත්කමකට බඳුන් කර ඇති අතර මෙවැනි අවස්ථා ඉතා දුලභ වන බව ද වෛද්‍ය සිල්වා මහතා පවසයි.
පිළිකාව මාරාන්තිකය. එහෙත් කල්තියා හඳුනා ගත්විට සුව කළ හැකි ය. ඒ සඳහා ඔබේ සිරුර ගැන අවදානයෙන් සිටීම ගත හැකි ආරක්ෂාකාරීම පියවර වේ.
Wmqgd .ekSu iriúh mqj;a m; weiqfrks