අප විසින් ඉතාමත්ම රසවත්ව අනුභව කරන පලතුරු වර්ග අපට මොන විදිහේ ගුණයන් ලබාදෙනවාදැයි සොයා බලා පරිභෝජනයට ගැනීම අවබෝධයෙන් කළ යුතු දෙයකි. මක්නිසාද යත් අප විසින් වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ඉතාමත්ම වර්ණවත්, විවිධ හැඩයේ ලස්සනට අසුරා ඇති පලතුරු අපට උචිත පලතුරු දැයි සොයා බැලිය යුතු නිසාවෙනි. එයට හේතුව විදෙස් රටවලින් ලංකාවට ගෙන්වන ලද ජාන වෙනස් කළ පළතුරු වර්ග පරිභෝජනයෙන් අපට ඉතාමත්ම අහිතකර ප්‍රතිඵල අත්කර දෙන නිසාවෙනි. එවැනි පලතුරු ආහාරයට ගැනීමෙන් දරු සම්පත් අඩුවීම, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ශරීර ශක්තිය අඩුවීම, හා සෙම් රෝග වැනි තත්ත්වයන් බහුලව වැළඳෙන බව ඇතැම් තැනෙකදී සනාථ කර තිබෙන නිසාවෙනි.
මෙවැනි පලතුරු කල්තබා ගැනීමට සහ ඉතාමත්ම ශක්තිමත්ව පෙනුමින් පවත්වා ගැනීමට යම් යම් රසායනික ද්‍රව්‍ය භාවිතා කරන බව අප මේ වන විට දන්නා කරුණකි. දැන් දැන් මේ රසායනික ද්‍රව්‍ය දේශීය පලතුරුවලට මෙන්ම කොස්, මඤ්ෙÆක්කා, පොලොස් වැනි අපට ඉතාමත්ම වටිනා දේශීය ආහාරවලට පවා ඇතැම් තැනෙකදී යොදන බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.
අප ගන්නා ආහාර වස විසවලින් තොර හා නැවුම් බවින් යුක්ත පළතුරු සහ එලවළු මෙන්ම පිරිසිදු ජලය ලබා ගැනීමෙන් අපගේ සිරුර පෝෂණය වන අතර මෙමගින් ශරීරයේ ඇති රෝගාබාධ අපට නොදැනුවත්වම සුවවන බව ඔබ නොදැන සිටියා වීමට පුළුවන.
විශේෂයෙන්ම ගත් කල කොමඩු ලාභයට සහ පහසුවෙන් ලබාගත හැකි හොඳින් ගුණදෙන පලතුරකි. මෙම පලතුර බීම වශයෙන් හෝ ආහාරයක් වශයෙන් ලබාගත් විට ශරීරයේ ශෛලවල ඉතාමත්ම හොඳ උද්දීපනයක් ඇතිවන අතර ආමවාත රෝගය, ගැස්ට්‍රයිටීස් සුවවන බව ඔබ දන්නවාද? කොමඩු ආහාරයට ගැනීමෙන් මල බද්ධය පහව යන අතර රූපයේ ලස්සන පවත්වා ගැනීමට එයින් ලැබෙන පිටිවහල සුළුපටු නැත.
අපගේ දේශීය දෙළුම් ගෙඩි විශාලව වැඩෙන්නේ නොමැති අතර මෙම දෙළුම් ගෙඩිය විජාතික දෙළුම් මෙන් පැහැයෙන් හැඩයෙන් මනා පෙනුමකින් දිස් නොවූවද දේශීය දෙළුම්වල ඇති ගුණ අපමණ බව මෙතෙක් දැන සිටියාද?
රෝගීවූ අසල්වැසියෙක්, ඥතියෙක් එසේත් නැතිනම් රෝහල් ගතව සිටින රෝගියෙක් බැලීමට යැමේදී දේශීය දෙළුම් ගෙඩියක් රැගෙන යැමට හැකිනම් එම රෝගියා ගේ ආයුෂ වැඩි කිරීමට ඔබත් එක්වූ බව සිහිතබා ගන්න. එයට හේතුව දේශීය දෙළුම්වල ඇති පෝෂණීය ගුණයෙන් ඉහළ බවය.
රෝගාතුර කෙනකුට නිතරම මළ බද්ධය, ආමවාතය, උදර රෝග හටගන්නා බැවින් දේශීය දෙළුම් වල ඇති ඖෂධීය සංඝටකවල අර්ශස්, ගැස්ට්‍රයිටීස්, ආමවාත වැනි රෝග සුවකිරීමේ මෙන්ම පාලනය කිරීමේ හැකියාවක් තිබෙන බව සොයාගෙන ඇත.
තවද ඇඹරැල්ලා භාවිත කිරීමෙන් අඹවලින් ආහාර රුචිය වඩවන අතර ඇඹරැල්ලා වලින් පෝෂ්‍ය කොටස් නියම ආකාරයෙන් ශරීරයට අවශෝෂණය කර ගැනීමට හේතුවක් වන්නේය. අඹ, ඇඹරැල්ලා වැනි පලතුරු වර්ග වලින් ශරීරයේ ආම්ලිකතාව අඩුකර භාෂ්මික තත්ත්වයට පත්කරන නිසාවෙන් එය සිරුරේ පැවැත්මට ගුණදායකය.
මධුමේහ සහ ගැස්ට්‍රයිටීස් ඇති අයට අඹ ඇඹරැල්ලා එතරම් ගුණදායක නොවූවත් කොමඩු, දේශීය දෙළුම් ඉතාම ගුණදායක බව කිව හැකිය.
ගෘහණියක් ලෙසට ඔබගේ ගෙවත්තේ ඉඩ ප්‍රමාණය මත දේශීය දෙළුම් පැළයක් වැනි පලතුරක් සිටුවා ගැනීමට ඔබත් උත්සාහ කර බලන්න. ඉඩකඩ ඇති නිවෙසක පලතුරු වර්ග කිහිපයක් සිටුවා ගන්නවා යනු වස විසෙන් තොර පලතුරු වර්ග ආහාරයට එක්කර ගැනීමෙන් එය නිරෝගීභාවය වෙනුවෙන් පිටිවහලක් ලබා ගැනීමක් වන්නේය.
දේශීය වෙදකම තුළ දෙළුම් වැනි පලතුරුවලට මුල්තැන දෙන්නේ ඒවා යොදා ගනිමින් ඖෂධ නිෂ්පාදනය කර රෝගීන්a සුවකර ගැනීම වෙනුවෙන් ඒවායේ ගුණ දන්නා නිසාවෙන්ය. ඕනෑම තත්ත්වයක අර්ශස් රෝගයක් දෙළුම් ගෙඩියෙන් සුවකර ගත හැකි බව පැරණි පොත පතෙහි සටහන් කර ඇත්තේ දෙළුම් ගුණ දන්නා නිසාවෙන් අපේ පැරැන්නන් දෙළුම් භාවිතයට ගෙන ඇති නිසාවෙනි.
එයට හොඳම උදාහරණයක් ලෙසට ඔබේ මහ ගෙදරත් දෙළුම් ගසක් හෝ දෙකක් තිබූ බවට ඔබේ මතකයේ සටහන්ව තිබෙනවා නේද? එදා නිවෙසක මිදුලේ දෙළුම් ගසක් වවා තිබුණේන් එහි ඇති ගුණ හඳුනාගෙන තිබූ නිසාවෙන් බව පැහැදිලිය.
එක්තැන්වී සිටින රෝගීන්ට දෙළුම් යුෂ පානයට ලබාදුන් අතීතයේ අපේ වැඩිහිටියන් එවැනි රෝගියෙකු වෙනුවෙන් මිදුලේ ඇති දෙළුම් ගසෙන් ගෙඩියක් කඩා ගොස් දුන්නේ මහත් ලැදිකමින්.
ඔබ ඔබ ගැනම මොහොතක් සිතා බලන්න. රෝගියෙක් බලන්නට යන ඔබ රෝගියා වෙනුවෙන් ගෙන යන්නේ මොනවාදැයි සිතා බැලීමේදී ඔබට ඔබ ගැනම කණගාටුවක් ඇතිවිය යුතුය. ඉතා ගුණ දෙන දේශීය පලතුරු වර්ග රාශියක් තිබියදී රෝහල අසල විකිණීමට තබා ඇති විදේශීය පලතුරු වර්ගයක් හෝ දෙකක් රැගෙන යැම අද විලාසිතාවක් බවට පත්වී ඇත. ඒ නිසාම රෝගියාට පුංචි හෝ සුවයක් ලැබුනේ නැත.
රෝගියෙක් බැලීමට යැමේදී මවක ගෘහණියක ලෙසින් හොඳින් සිතා බලා බොහෝ ගුණ ඇති දේශීය පලතුරු ටිකක් රැගෙන රෝගියා බැලීමට යැම තුළ රෝගියාගේ සුවයට එයින් යම් පිටිවහලක් ලැබීම පිළිබඳ ඔබේ සිතටද සතුටක් දැනෙනු ඇත.
අනෙක් විශේෂ කාරණාව නම් බොහෝ ගුණ දෙන දෙළුම් වැනි පලතුරු පැළයක් නිවසේ සිටුවා ගැනීමෙන් ඔබගේ පවුලේ නිරෝගීභාවය වෙනුවෙන් ඒවායේ ඵල ප්‍රයෝජනයට ගැනීමය.