අද ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන ප්‍රබල සෞඛ්‍ය ප්‍රශ්න අතර දියවැඩියාව ආශ්රිත හදවත් රෝග මුල් තැනක් ගෙන තිබෙනවා. මේ පිළිබඳව හැඳින්වීමක් කරනවානම් ....
සංඛ්‍යා ලේඛන අනුව ශ්‍රී ලංකාවේ දිනකට 20 දෙනෙක් පමණ හෘද රෝග නිසා මිය යන බව වර්තා වෙනවා. එසේම වසරකට රෝගීන් ලක්ෂ 2 කට අධික ප්‍රමාණයක් හෘද රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට රෝහල් ගත වෙනවා. හදවත ආශ්‍රිතව ඇතිවෙන රෝග අතරින් දියවැඩියාව ආශ්රිත හදවත් රෝග සහ කිරීටක ධමනි අවරෝධ වීම නිසා ඇතිවන හෘදරෝග අද බහුලව දැකිය හැකි යි. දියවැඩියාව සහ හෘද රෝග අතර ඝෘජු සම්බන්ධතාවක් තිබෙනවා. එසේම දිනෙන් දින එම රෝගවලට ගොදුරු වන රෝගීන්ගේ සංඛ්‍යාවේ ද සීඝ්‍ර වර්ධනයක් පෙන්වනවා.
දියවැඩියාව නිසා ඇති වන හෘද රෝග අතර හද මාංශ පේශිය ආශ්‍රිතව ඇති වන ව්යqහාත්මක විකෘතිතා මෙන්ම එහි ක්‍රියාකාරිත්වයේ විකෘතිතා බහුලව දැකිය හැකියි. නිසි පරිදි දියවැඩියාව පාලනය කර නොගැනීම නිසා සහ දියවැඩියාව කල්ගත වීම නිසා හෘද මාංශ පේශි පටකය තුළ මේද තැන්පත් වීමත් එනිසා මේද විෂාත්මකතාවයත් (Myocardial lipotoxicity) ඇති වෙනවා. හෘද මාංශ පේශියේ ඝන වීමක් ද ඇති වෙනවා. මෙම විකෘතිතා සංකීර්ණ ජෛව රසායනික යාන්ත්‍රණ පසුබිම් කරගෙනයි ඇති වන්නේ.
මේ තත්ත්ව නිසා හෘදයෙන් සිදු කරන රුධිර පොම්ප කිරීමේ යාන්ත්‍රණය නිසි පරිදි සිදු නොවී හෘද් ක්‍රියා හානිය (Heart failure) ඇති වෙනවා. මේ සඳහා කිරීටක ධමනි විකෘතිතා ද හේතු වෙනවා. හෘද් ක්‍රියා හානිය නිසා ශරීරයේ විවිධ ස්ථාන වල දියර කොටස් එකතු වීම මෙන්ම ඒවායේ ඉදිමීම ද ඇති වෙනවා. පෙනහලු ආශ්‍රිතව දියර කොටස් එකතු වීම සමඟ ක්‍රමයෙන් වර්ධනය වන ස්වසන අපහසුවක් ඇති වෙනවා. ශරීරයේ අනෙකුත් කොටස්වලට නිසි පරිදි රුධිරය නොලැබීම නිසා එම කොටස් වල ද ක්‍රියාකාරිත්වය දුර්වල වෙනවා. මොළයට රුධිරය නොලැබීම නිසා පළමුව ක්ලාන්තය, කරකැවිල්ල වැනි තත්ත්ව ඇති වී පසුව ක්‍රමයෙන් වර්ධනය වන බොහෝ සංකූලතා ඇති වෙනවා.
කිරීටක ධමනි විකෘතිතා නිසා ඇතිවෙන හදවත් රෝග කියන්නේ මොනවා ද?
හෘද මාංශ පේශිය පෝෂණය කිරීමට අවශ්‍ය රුධිරය සපයන ධමනි කිරීටක ධමනි ලෙස හඳුන්වනවා. වම් සහ දකුණු වශයෙන් මෙම කිරීටක ධමනි මහා ධමනියෙන් ආරම්භ වී කුඩා ශාඛා ලෙස බෙදී ගොස් හෘද මාංශ පේශියේ සෑම කොටසකටම රුධිරය සපයනවා. නොයෙක් හේතු සාදක නිසා මෙම කිරීටක ධමනි තුළ රුධිර ගමනයට බාධා ඇති වී හෘද මාංශ පේශි පටකය මිය යනවා. මෙම තත්ත්වය මයෝකාඩියල් ඉන්ෆාක්ෂන් (Myocardial Infarction) ලෙස හඳුන්වනවා. මෙම තත්ත්වය හදිසියේ ඇතිවිය හැකියි. හෘද මාංශපේශිය පීඩාවට පත්වීමේ ප්‍රමාණය හා උග්‍රතාවය අනුව හදවත් රෝගයේ බරපතළකම සහ මරණය සිදුවී මේ අවදානම රඳා පවතිනවා.
කිරීටක ධමනි විකෘති වන්නේ කෙසේ ද? ඒ සඳහා බලපාන හේතු මොනවා ද?
අපගේ ආහාර හා ජීවන රටාවේ පවතින වෙනස්කම් නිසා දීර්ඝ කාලයක සිට හෙමින් හෙමින් සිදුවන පරිවෘත්තීය විෂමතා හේතු කොට ගෙනයි කිරීටක ධමනි පටුවීම සිදුවන්නේ. ධූම පානය, ඇල්කොහොල් භාවිතය, මේද සහ කාබොහයිෙඩ්රට් අධික ප්‍රමාණයක් අඩංගු වන ආහාර-පාන නිතර පරිභෝජනය කිරීම, ප්‍රමාණවත් ලෙස ව්‍යායාම නොකිරීම සහ මානසික ආතතිය කිරීටක ධමනි විකෘති ඇතිවීම කෙරෙහි බලපාන හේතු අතර ප්‍රමුඛත්වය ගන්නවා.
මෙම හේතු දියවැඩියාව, අධික රුධිර පීඩනය, අක්මා රෝග සහ වකුගඩු ආබාධ ඇති වීම සඳහා ද බලපානවා.