ආයුර්වේදය හා සම්බන්ධ නොයෙකුත් ප්‍රතිකර්ම ක්‍රම පිළිබඳ අප කථා කරනවා. මෙවන් වූ ප්‍රතිකර්ම වඩාත් වැදගත් වන්නේ කිසිදු අහිතකර බලපෑමකින් තොරව හිතකර ප්‍රතිඵල ගෙනදෙමින් රෝග සුවපත් කිරීමයි. තරබාරුව අද බොහෝ දෙනකු පීඩාවට පත් කරලන තත්ත්වයක් බවට පත්වෙලා. මෙය බොහෝ ලෙඩ රෝගවලට අත වනන තත්ත්වයක්. මෙම තත්ත්වය වළක්වන ආයුර්වේද ප්‍රතිකර්මයක් ගැනයි මේ සඳහන් කරන්නට සූදානම් වන්නේ. මෙය හඳුන්වන්නේ උද්වර්තන ප්‍රතිකාර වශයෙන්.
* උද්වර්තන ප්‍රතිකාර කියන්නේ මොනවටද?
මෙය ආයුර්වේදයේ එන ඉතාමත් සුවිශේෂී ප්‍රතිකාර ක්‍රමයක්. මෙය ආයුර්වේදයේ අති ස්ථුල නැත්නම් අධික තරබාරුව මැඬලන ප්‍රතිකාරයක් වශයෙන් දක්වා තිබෙයි. මෙය ඖෂධීය චූර්ණ කුඩු වර්ග යොදාගෙන සිදු කෙරෙන සම්බාහන ක්රමයකි. මෙම සම්බාහනය තෙල්වලින් සිදුකරන සම්බාහනයකට වඩා වෙනස්. මෙය වියළි සම්බාහන ක්‍රමයක් ලෙස දැක්විය හැකියි.
* උද්වර්තනය සිදු කරන්නේ මොන ආකාරයෙන්ද?
මූලිකව උද්වර්තනයට සුදුසු පුද්ගලයන් තෝරා බේරා ගෙන ඔවුන්ට සුදුසු ඖෂධ චූර්ණ යොදාගෙන සිදු කරනු ලබනවා. මෙහිදී විශේෂයෙන්ම තරබාරු පුද්ගලයන් සඳහා රූක්ෂ ගුණයෙන් යුක්ත මේද තට්ටු දියකළ හැකි ඖෂධ වර්ග ඒකීයව හෝ මිශ්‍රකර යොදනු ලබනවා.
මෙහිදී ඉතා සියුම් කුඩු වියළි සම්බාහනය සඳහා යොදා ගැනෙන අතර එය ඇතිල්ලීමේදී ඇතිවන තාපය හේතුවෙනුත් ඖෂධයන්ගේ ගුණාත්මක බව හේතුවෙනුත් මේද තට්ටු කැඩීයාම මෙන්ම දියවීම සිදුවෙනවා. මෙය අවම වශයෙන් විනාඩි 45 ක් පැයක් පමණ කළ යුතුයි. පසුව දිය වූ මේද තට්ටු දහදිය ලෙස ඉවතට ගැනීම වාෂ්ප ප්‍රතිකාර (ස්ටීම් බාත්) හෝ උණුසුම් ජල ප්‍රතිකාර සිදුකරනු ලබනවා.
* උද්වර්තනයෙන් ලැබෙන වාසි මොනවාද?
විශේෂයෙන් වියළි උද්වර්තනයේදී පෙර තිබූ පරිදි මේද තට්ටු දිය කිරීම සිදුවනවා. නමුත් මෙම කුඩු වතුරින් තෙල්වලින් හෝ වෙනත් ඖෂධීය සාරයන්ගෙන් මිශ්‍රකර තෙත් ස්වභාවයෙන් යෙදීමෙන් සමේ මැරුණු සෛල ඉවත්කර සමේ වර්ණය වැඩිකර ගැනීමට සම එල්ලා වැටීම වළක්වා ගැනීමටත් ප්‍රතිකර්ම ලෙස යොදාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් සම්බාහනයකදී සිදුවන සියලුම අභ්‍යන්තරික වෙනස්වීම් මෙහිදී ද සිදුවේ.
* මේ සඳහා යොදා ගන්නා ඖෂධීය කුඩුවර්ග මොනවාද?
කලාඳුරු අල චූර්ණය, සුවඳ කොට්ටං, වියළි කහ, වදකහ, මඟුල්කරඳ, අරළු ආදී ද්‍රව්‍යත්, කඩල පිටි, බාර්ලි වැනි දේත් තරබාරුව මැඩලීම සඳහා යොදාගත හැකියි.
බොහෝ දෙනා තෙල් සම්බාහන ප්‍රතිකාර මඟින් තරබාරුව මැඩලීම පිළිබඳ දැනුවත් වුවත් මෙම වියළි සම්බාහන ප්‍රතිකාර පිළිබඳ දැනුවත්වීම අඩුයි. නමුත් එය අත්දැකීම් තුළිනුත් මූලධර්මානුකූලවත් තරබාරුව මැඩලිය හැකි සුවිශේෂී ආයුර්වේද ප්‍රතිකාරයක් වශයෙන් හැඳින්විය හැකියි.
* උද්වර්තනය සුදුසු කාටද?
ප්‍රතිකාරයට ප්‍රථම වෛද්‍යවරයකු විසින් රෝගියාව පරීක්ෂාකර බැලීම වැදගත්ය. එහිදී විශේෂයෙන් තරබාරු පුද්ගලයන් එම දුර්වර්ණ වූ සමෙහි කැළැල් සහිත පුද්ගලයන්ට ඒ වගේම චර්ම රෝග අවස්ථාවලදීත් මෙය භාවිත කරයි.
නමුත් අධික රුධිර පීඩන අවස්ථා ශල්‍යකර්ම සිදුකළ අවස්ථා අභ්‍යන්තරික තුවාල කැසීම් සීරීම් වැනි අවස්ථා මෙන්ම අසාත්මික අවස්ථාවල මෙම ප්‍රතිකාරය සිදු නොකරයි.
නිසියාකාරව පුද්ගලයාගේ ප්‍රකෘතිය නිර්ණය කර බලා සුදුසුම ඖෂධ තෝරා ඒවායෙන් සිදුකරනු ලබන උද්වර්තන ප්‍රතිකාරය තරබාරුව සඳහා ප්‍රතිඵලදායක වෙයි.
(under the courtesy of goodhousekeeping.lk web)