මනු, බලි රාජ්‍ය පාලන කාලයේ සිට
පැවත එන්නා වූ පුලස්ති ආදී සෘෂිවරුන් වැඩි දියුණු කළා වූ රාවණා රජු විසින් රාජ්‍ය අනුග්‍රහය දක්වමින් වැඩි දියුණු කළා වූද ලාංකීය ස්වදේශීය වෛද්‍ය ක්‍රමය දේශීය පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රයයි. පාරම්පරික වෛද්‍යවරුන් එදා සිට අද දක්වා තම කුල පරම්පරාවලින් තම දුවා දරුවන්ගෙන්, ශිෂ්‍යයන්ගෙන් පවත්වාගෙන එන මෙම විස්මිත වෛද්‍ය ශාස්ත්‍රය, තම පරම්පරාවලට, ආවේණික රෝගාබාධ සුව කිරීමේ විස්මිත වූ රහස් ඖෂධ ක්‍රම, චාරිත්‍ර, දැක පුරුදු සහ කළ පුරුදු සහිතව පැවත එන්නෝය.
එසේ පැවත එන්නා වූ එක් අංගයකි ඇටහන්දි වෙදකම. කොඳුඇට ආශ්‍රිතව ඇති වෙනස්වීම්, දිරා යැම, ඇදවීම නිසා නොයෙක් මාදිලියේ රෝග තත්ත්වයන් හටගනී. එමඟින් එම අවස්ථා නිවැරදි නොකළේ නම් වාත රෝග අවස්ථාවට පත් වෙයි. නමුදු අප වාත රෝග අවස්ථාවට ප්‍රතිකාර කරමින් වේදනාව සමනය කිරීමට උත්සාහ දැරුවහොත් එය නිෂ්ඵල කාර්යයක් වේ. දේශීය වෙදකමේ උගන්වනුයේ රෝග මූලයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි.
කොන්දේ වේදනාව හටගන්නා විවිධ ක්‍රම, රෝග තත්ත්වයන් ඇත්තේය. අස්ථිවල වෙනස් වීමකින් තොරව වකුගඩු ආබාධ, ආමාශගත රෝග, අන්ත්‍රගත රෝග, අක්මා රෝග, පිළිකා තත්ත්වයන්, අම්ලපිත්ත තත්ත්වයන් නිසාද කොඳු ඇට පෙළ වේදනාව ඇති වේ. දක්ෂ දේශීය වෛද්‍යවරයා තමා පාරම්පරිකව ප්‍රගුණ කළ නාඩි ශාස්ත්‍රීය දැනුමෙන් මේ කුමන ආකාරයේ රෝගාබාධයක් දැයි හඳුනා ගනී. ඔහු ඒ සම්බන්ධව සමතෙකි.
මා ලිපියෙන් විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ කොඳුඇටවල වෙනස්වීමක සිදු වන වේදනාකාරී තත්ත්වය පිළිබඳව පමණි. අස්ථිවල වෙනස්වීම කීප ආකාරයකට ම විය හැකිය.
1. කශේරුකා අස්ථි ආශ්රිත අතිරේක වැඩීම (Osteophytes)
2. කශේරුකා අස්ථි දිරා යැම (Vertibra Degeneration)
3. කශේරුකා අස්ථි පසෙකට තල්ලු වීම (Slip of Vertibra)
4. කශේරුකා අස්ථි අතර අන්තර් කශේරුකා බිම්බ කොටස දිරාපත් වීම (Intervertertibral Disk Degeneration)
5. කශේරුකා අස්ථි අතර අන්තර් කශේරුකා බිම්බ කොටස පසෙකට තල්ලු වීම (Slip of Intervertertibral Disk)
6. අන්තර් කශේරුකා බිම්බ කොටස් දිරාපත් වීම හෝ තල්ලු වීම නිසා ඇති වන කශේරුකා අස්ථි අතර පරතරය ළං වීම හෝ දුරස් වීම.
කොඳුඇට පෙළට සිදු විය හැක්කේ ඉහත කාරණා එකක් හෝ වැඩි ගණනක් නිසා සිදු වන ආබාධ තත්ත්වයකි. මෙය කොඳුඇට පෙළේ ගි්රවි කශේරුකා කලාපයේද, පෘෂ්ඨ කශේරුකා කලාපයේද, කටී කශේරුකා කලාපයේද, ත්‍රික හා අනුත්‍රික කලාපයේද ඉහත සය ආකාරයෙන් එක් හෝ ඊට වැඩි තත්ත්වයන් ගණනකින් විය හැකිය. මෙම ආබාධ තත්ත්වයන් පැමිණි කල කශේරුකා අස්ථි ආශ්‍රිතව පවතින ස්නායු තෙරපුම සහ ඇදීම හේතුවෙන් ස්නායු ක්‍රියාකාරීත්වය අඩපණ වීම සිදු වෙයි. අස්ථි පෙළෙහි ආබාධය සහිත අස්ථිය පිහිටන තැන අනුව පිහිටි ස්නායුවෙන් නියෝජනය වන ශරීර කලාපය මේ අනුව පීඩාවට පත් වෙයි. ගෙලෙහි ගි්රවි කශේරුකා ආබාධ වූ කල අත් දෙකෙහි, උරහිස්, වැලමිට, ඇඟිලි ආදියේ හිරිය, වේදනාව, අප්‍රාණිකත්වය පවා ඇති විය හැකිය. නිදසුනක් ලෙස ගි්රවි 4 සහ 6 වැනි අස්ථි (C4/C6) පීඩා වූ කල අත්, පාද සහ ශරීරයේ බොහෝ තැන්වල ඉහත රෝග තත්ත්වයන් ඇති විය හැකිය. පෘෂ්ඨ කශේරුකා 6 හා 9 ආදී අස්ථි (T6/T9) පීඩා වූ කල පීඩා වන ස්නායු මගින් පපුවෙන් පහළ බොහෝ ශාරීරික පද්ධතිවල ක්රියාවේ විකෘතිතා ඇති විය හැකිය. එසේම කටී කශේරුකා 3/4/5 (L3/L4/L5) අස්ථි වෙනස්වීම් වූ කල තුනටියෙන් පහළට ගෙන යන ස්නායු ක්‍රියාකාරීත්වය බිඳ වැටීමෙන් කකුල්වල අප්‍රාණිකත්වය, හිරිය, වේදනාව, කෙණ්ඩා පෙරළුම, දණහිස් සන්ධියේ, වළලුකර සන්ධියේ, ඇඟිලිවල, විලුඹේ ආබාධ රැසකට ද මුල් වෙයි.
කෙසේ නමුත් අප විසින් රෝගියාගේ රෝග තත්ත්වයට වගකිවයුතු රෝග මූලය තෝරා ගෙන පළමුව එය නිවැරදි කළ යුතුයි. එසේ නොමැතිව රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරීමට යැමෙන් සිදු වන්නේ රෝග මූලයේ ආබාධය තව තවත් උග්‍ර අතට හැරීමෙන් රෝගියා ව්‍යාධි තත්ත්වයට පත් වීමයි.
එසේ නම් පළමු පියවර විය යුත්තේ අස්ථිවල ඈත් වීමක් හෝ අනිසි ළං වීමක් සිදු වී ඇත්නම් ඒවා නිවැරදිව ස්ථානගත කළ යුතුය. නොවෙනස් වන ලෙස බෙහෙත් බැඳිය යුතුය. අස්ථි දිරාපත් වී තිබේ නම් අස්ථි වර්ධක ඖෂධ බැඳිය යුතුය. කශේරුකා මඬල ලිස්සා යැමක් ඇත්නම් අස්ථි නිවැරදිව ස්ථානගත කර කශේරුකා බිම්බ අභ්‍යන්තරයට නැවත අවශෝෂණය කිරීමට සමත් ඖෂධ බැඳ නිවැරදිව ස්ථානගත කළ යුතුය. එසේ නොමැතිව එම නිසා පීඩාවට පත් වූ ස්නායු ප්‍රකෘති ක්‍රියාකාරීත්වයට පත් කළ නොහැකිය. අස්ථිවල නිරවද්‍යතාව සලසන තාක් බොන බෙහෙතකින් පමණක් ස්වයංක්‍රීයව අස්ථි නිවැරදි නොවේ. දේශීය පාරම්පරික චිකිත්සා ක්‍රමවල එන ඖෂධ ආලේපන මගින් පේශි හා අස්ථි බුරුල් කර හස්ත ක්‍රම උපයෝගී කර ගනිමින් අස්ථි ස්ථානගත කිරීමේ ක්‍රම උපයෝගි කර ගනිමින් නිවැරදිව ස්ථානගත කළ යුතුය. ඉන්පසු නිවැරදිව ස්ථානගත වූ අස්ථි ඒ ආකාරයෙන්ම ස්ථාවර වීමට ඖෂධ යෙදිය යුතුය. ඉන්පසු ද කාර්යය නිම නොවේ. රෝගියා පෙරදි කළ රැකියා කටයුතු සාමාන්‍ය ජීවිතයේ ක්‍රියාකාරකම් ඉටු කිරීමට අවශ්‍ය පරිදි අස්ථි පෙළ නම්‍යශීලී වීමට අවශ්‍ය ව්‍යායාම් කරවිය යුතුය. නිවැරදි වෛද්‍යවරයාගේ නිවැරදි මඟපෙන්වීමත් රෝගියාගේ සහ ඔහුගේ ආවතේවකරුගේ යුතුකම් සහ කැපවීමත්, වෛද්‍ය අවවාද නිසි ලෙස පිළිපැදීමෙනුත් නිත්‍ය සුවය ලබාගත හැකිය.
කොඳුඇට පෙළ අස්ථි නිවැරදි කිරීම සහ ප්‍රතිකාර කිරීමේදී අස්ථි සකස් කිරීමම බොහෝ වගකීමක් සහිත උත්තුංග කර්තව්‍යයකි. බටහිර වෛද්‍ය ක්‍රමයේදී පවා පැය ගණනක් ගෙන ශල්‍යාගාරයක සිදු කරන කටයුත්තක් ස්වාභාවික පරිසරයේදී සිදු කරන විට එය කොතරම් අසීරු දැයි හැඟෙනු නියතය. නමුදු විශ්මය එයයි.
දේශීය පාරම්පරික වෛද්‍යවරයා පැවත එන ඉපැරණි පරම්පරාවලින් හෙළ අංගම් ශාස්ත්‍රයද චිකිත්සාවට උපකාර වන ලෙස උගන්වමින් පැවත ආවේ මෙවැනි කාරණා නිසාමය. ඒ තුළින් වෛද්‍යවරයාගේ ඉවසීම, සංවරය අත්පාවල සමතුලිත බව නම්‍යශීලිත්වය තහවුරු කළේය. එවැනි වෛද්‍යවරු අදටත් බොහෝ සිටිති. ඔවුන්ට අස්ථි, සන්ධි, නිල, මරු නිල සම්බන්ධ දැනීමද, සන්ධි කිරීම්, අවසන්ධි කිරීම්, ඇට එහා මෙහා කිරීම් සම්බන්ධයෙන්ද මනා දැනුමක් සහ ඒවා ක්ෂණයෙන් වඩාත් නිවැරදි කිරීමට මෙන්ම රෝගියාටද නොදැනෙන නොසිතන නිමේෂයෙන් ඉටු කර දීමට ඔවුන් දක්ෂයෝය. මෙය දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ට ලොව මවිත කරවන්නට තිබෙන අවියක් ද වන්නේය.
ඔවුන්ට කොඳුඇට පෙළ සම්බන්ධව තිබෙන දැනුම් සම්භාරය ඉතාමත් විශිෂ්ටය. ඔවුන් සතුව සෑම අස්ථියක් අස්ථියක් පාසාම නිවැරදි කරන පාරම්පරික හස්ත ක්‍රම පවතී. ඒවා භාවිතයෙන් රෝගියා පීඩාවට පත් නොකර ක්ෂණයෙන් නිවැරදිව පිහිටීම් කිරීමටත් අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ දැනුම් සම්භාරය ද ඔවුන් සතු වෙයි.
අද කොන්දේ වේදනාවලින් පෙළෙන රෝගීන්ගෙන් අතළොස්සක් හැරුණු විට අන් සියලු දෙනා අස්ථි සම්බන්ධ ඉහත දැක්වූ ප්‍රශ්න නිසා ඇති වූ කොන්දේ වේදනා නිසා පීඩා විඳින්නෝය. ඔබද තවදුරටත් කොන්දේ අස්ථි වෙනස්වීමකින්, දිරා යැමකින්, අන්තර් කශේරුකා බිම්බ වෙනස් වීමකින් පෙළෙයි නම්, එම රෝග සම්බන්ධ තොරතුරු නොමිලේම ලබාදීමට සතියේ ඕනෑම දිනයක රාත්‍රි 7 න් පසු 071-7666488 අංකයට කතා කර විස්තර දැනගැනීමේ පහසුව පවතී.