වයස් භේදයකින් තොරව අද වන විට බොහෝ දෙනා කොන්දේ අමාරුවෙන් පීඩා විඳිති. කොන්දේ අමාරු ඇතිවීම පිළිබඳ කතා බහ කිරීමේදී ඒ සඳහා බලපාන හේතු ගැන සඳහන් කරනවා නම්,
කොන්දේ අමාරු සියල්ලම කොඳුඇට පෙළට පමණක් සීමා වූ ඒවා නොවේ. එහෙත් බහුතරයක් කොඳුඇට පෙළ, කොන්දට සම්බන්ධ මාංශ පේශි, සහ ඛන්ඩරා (පේශී සහ අස්ථි බැද තබන රැහැන්) ඇසුරු කර පැන නඟින අවස්ථා බහුලය.
මෙම සඳහන් කළ හේතූන්ට අමතරව අම්ල පිත්ත රෝගයේදී රෝගය උත්සන්න වු විට, කාන්තාවන්ගේ ගර්භාෂ ආශ්රිත හෝ ඩිම්බකෝෂ ආශ්රිත යම්කිසි සංකූලතා හේතුවෙන් ද වකුගඩු ආශ්රිත ආබාධ තත්ත්වයන් හිදී ද, අන්ත්‍රගත උග්‍ර රෝගාබාධවලදී ද, මුත්‍රාශ ගත ප්රදාහයන්හිදී ද, ඇතැම් විට ආමාශ සහ අන්ත්‍ර ඇසුරු කළ පිළිකා තත්ත්වයන්හිදී ද කොන්ද ඇසුරු කොට වේදනාවන් පැන නගී.
එහෙත් එම තත්ත්වයන් හා සාපේක්ෂව බලන කල පෙර අප සඳහන් කළ කොඳු ඇට පෙළ, කොන්දේ පේශි සහ ඛණ්ඩරා ඇසුරු කළ වේදනාව වෙන්කොට හඳුනාගත හැක. එහිදී ද එම අවස්ථා එනිනෙකට, වෙනස් වූ චිකිත්සා උපක්රමයන් රෝග සුවය සඳහා භාවිත කරනු ලැබේ.
කොඳුඇට පෙළ කොන්දේ පේශි සහ ඛණ්ඩරා ඇසුරු කර ඇතිවන කොන්දේ අමාරු පිළිබඳ තවත් විස්තර කරනවා නම්,
කොඳුඇට පෙළ නිර්මාණයට දායක වන අස්ථීSන් ගේ වඩාත් ඈත්වීම, වඩාත් ළංවීම එම කශේරුකා අතර
පිහිටි කශේරුකාන්තර මඩල ලිස්සා යැම, කශේරුකා තුළ ඇතිවන බිඳීම්. කශේරුකා මණ්ඩලයේ ඇද වීම් (පැති කුදය ඇතුළු) යන මෙම අවස්ථා සහ ඉන් කශේරුකාන්තර ස්නායු වලට එල්ල කරන බලපෑම (සුෂුම්නා ස්නායු) යන මෙම කරුණු කොඳුඇට පෙළ ඇසුරෙහි කොන්දේ අමාරුවට, කොඳුඇට පෙළ ඇසුරු කළ හේතූන් වේ.
වැරදි ඉරියව් පැවැත්වීම, බොහෝ දුෂ්කර ක්‍රීඩා අභ්‍යාසයන්හි නිරතවීම, දැඩි ලෙස කොන්ද වෙහෙසට පත් වන ක්‍රියාවන් යන හේතූන් නිසා කොඳු ප්‍රදේශය ඇසුරු කළ මාංශ පේශීන් සහ ඛන්ඩරා පීඩාව පත් කර ඇතිකරන කොන්දේ වේදනාවන්ද පවතී. පහර වැදීම්, අනතුරු, වැටීම් ආදී අභිඝාත හේතූන් ද තවදුරටත් කොන්දේ වේදනාව කෙරෙහි ඉවහල්වන අවස්ථා ඇත. එබැවින් ඒ ඒ තත්ත්වයන්ට හේතු මොනවා දැයි නිශ්චිතවම නිර්ණයකර, කරනු ලබන චිකිත්සාව වඩාත් ප්‍රයෝජනවත් වන්නේය. ඒ එකිනෙකට වෙනස් වූ චිකිත්සා පද්ධතීන් රෝගී තත්ත්වයට අනුව අනුගමනය කළ යුතු නිසා ය.
මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ
කොඳු ඇට පෙළ ආශ්රිත රෝග තත්ත්වයන් බොහොමයකදී ස්ථානික වේදනාවට අමතරව විහිදී යන හිරිය හෝ වේදනාව දැකිය හැක. ඒ කොඳුඇට පෙළ හරහා ගමන්කරන පෙර සඳහන්කළ සුෂුම්නා ස්නායුවලට ඇති වූ බලපෑම මත එම ස්නායුන්ගේ පාලන හා සංඥාවල ඇතිවන බිඳවැටීම් ය.
උදාහරණයක් ලෙස අප මින් පෙර සඳහන් කර ඇති ලෙසටම යම් පාර්ශ්වයක පාදයක් දිගේ ගමන් කරන උග්‍ර වේදනාව, හිරිය සඳහන් කළ හැක. (සයිටිකා)
එමෙන්ම කොඳුඇට පෙළ ඇසුරු කළ අන්තර් ස්නායු පීඩාවන කල්හි එම ස්නායු හා සම්බන්ධ පටක හා ඉන්ද්‍රියන් පෙළ, විවිධ වූ වේදනාවන් උපදවාලයි. එසේ නොවන කල්හි දැනෙන වේදනාව ස්ථානිව සීමා වූවෙකි. මෙයට අමතරව පේශි හා ඛණ්ඩරා පීඩාවට පත්වීමෙන් ඇතිවන වේදනාව අදාල ස්ථාන ඇසුරු කර පවතින අතර ආසන්න ප්‍රදේශයේ පමනක් පැතිරුණු වේදනාවකට එය සීමා කරයි. පිටතින් ස්පර්ශ කර වුවද, එසේ නැතිනම් එහි ආකෘති ස්වරූපය නිරීක්ෂණය කර වුවද පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාව හසල දැනුමක් ඇති වෛද්‍යවරයෙක් සතුව පවතී.
මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගන්නේ කොහොමද?
අප මෙහිදී වඩාත් ප්රකටව කොඳු ඇට පෙළ, කොන්ද හා සම්බන්ධ පේශි හා ඛණ්ඩරා පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කළ බැවින් ඒ ආශ්‍රිතව ඇතිවන ආබාධ සහ වේදනාවන් සමනය කර ගත හැකි ආකාරය පිළිබඳ විමසා බලමු.
මෙහිදී අධික ලෙස කොන්ද වෙහෙසට පත් කරන්නා වූ ව්‍යායාමයන් ද, දුර ගමන්, බොහෝ වාරයක් පඩිපෙළ නැඟීම සහ බැසීම. බර එසවීම, කඳු නැඟීම යන ක්‍රියාවන් ද, වැරදි සහ අක්‍රමවත් ඉරියව්වල හිඳිමින් විවිධ ක්‍රියාවන්හි නිරත වීම ද, බොහෝ සේ එඹෙන කොට්ට, මෙට්ට සයනය සඳහා භාවිතය යන කරුණුවලින් ඈත්වීම ප්‍රධානය. එයට අමතරව මෙම සියලු වේදනාවන් වාතය සහ බැඳෙන බැවින් වාතය කෝප කරවන ආහාරපාන, විහරණයන්ගෙන් හැකිතාක් දුරස්වීම බෙහෙවින් වටී.
ප්‍රතිකාර ගැන කතා කිරීමේදී
රෝගාබාධයේ තත්ත්වය අනුව ප්‍රතිකාරය තීරණය කළ යුතුය. මෙහිදී වාතය සමනය කර ගැනීම සඳහා අභ්‍යන්තරිකව යොදනු ලබන කසාය, ඖෂධ ආදිය ලෙසටම බාහිරින් කරන්නා වූ තෛලඅභ්යංග, ස්වේද චිකිත්සාව, ලේපන,පත්තු ආදී චිකිත්සා කර්මයන් ප්‍රධානය. රෝගී තත්ත්වයට අනුව චිකිත්සාව කෙතරම් දුරට අඛණ්ඩව සිදුකළ යුතුදැයි තීරණය වේ. මෙහිදී ප්‍රශස්ථ ප්‍රතිඵල සඳහා අදාළ චිකිත්සා කර්මයට බඳුන්වන රෝගියා ඊට අදාළ උපදෙස් නිසි ආකාරයට අනුගමනය කළ යුතුය. එසේ වු කල්හි ඕනෑම තත්ත්වයක පවතින කොන්ද හා සම්බන්ධ රෝග තත්ත්වයන් සුව කිරීමේ හැකියාව ඇත.