Beauty

කොණ්ඩය රැකගන්න නම් නිවැරැදි හෙයාර් ඩ්‍රයරයක් තෝරාගන්න...

 

සෑම කොණ්ඩයකටම ආවේණික වූ ස්වාභාවික හැඩයක් තියනවා. එය වෙනස්කර තමන්ට අවශ්‍ය හැඩය ලබා ගැනීමට තමයි හෙයාර් ඩ්‍රයර් එකක් භාවිත කරන්නෙ. හැබැයි මේ සඳහා හොඳ හෙයාර් ඩ්‍රයර් එකක් අවශ්‍ය වෙනවා.

එහිදී බ්‍රෑන්ඩ් එක නැතිනම් හෙයාර් ඩ්‍රයර් එකේ තත්ත්වය ඉතාමත්ම වැදගත්.

තාක්ෂණික අතින් හොඳ නමක් දිනා ඇති ආයතනයකින් ලබා ගන්නා හෙයාර් ඩ්‍රයර් එකක් දිගු කාලයක් භාවිත කරන්න පුළුවන්. නමුත් නිවෙසකට නම් වොට් ගණන අඩු හෙයාර් ඩ්‍රයරයක් සුදුසුයි.

හෙයාර් ඩ්‍රයරයක පීඩන කොටස් කීපයක් තිබෙනවා. ඒවා නොසල් ලෙස හඳුන්වනවා. එම නොසල් හෙයාර් ඩ්‍රයරයෙන් පිටතට වඩාත් විවෘතව තිබේ නම් එමගින් රස්නය (උණුසුම) විහිදී යන ප්‍රමාණය වැඩියි. එවිට කොණ්ඩය වියළීම පමණක් සිදුවන අතර ස්ට්‍රේට් වීමක් සිදු වෙන්නේ නැහැ. හෙයාර් ඩ්‍රයරයේ ඇති නොසල් උල් හැඩයක් ගනී නම් එමඟින් ඉක්මනින්ම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

කෙසේ වෙතත් හෙයාර් ඩ්‍රයරයක් පාවිච්චි කිරීමේ දී එහි උණුසුම තබාගත යුතු ආකාරය පිළිබඳ වගේම එය නිසි ලෙස පවත්වා ගැනීමටත් ඔබ සැලකිලිමත් විය යුතුයි. නැත්නම් බොහෝ විට ඔබේ හිසකෙස්වලට හානි සිදුවන්නට ඉඩ තිබෙනවා.

 

 

රාජකාරි බහුලකම නිසා මිනිස් ජීවිතවල හැමදේම ක්ෂණික වී ඇත. කෙස් රොද පිරිමදිමින් කේශ කල්‍යාණයට ආදරය දක්වන්නට අපේ කාලයේ කාන්තාවන්ට වේලාවක් කොහිද?

ස්නානයකර කොණ්ඩය වේළා ගන්නට කාලයක් දීමට තරම්වත් දවසේ වැඩ කටයුතුවලින් ඇයට විරාමයක් ලැබෙන්නේ නැත.

‘හෙයාර් ඩ්‍රයර්’ ඇයගේ කේශ කල්‍යාණය පහසු කරන අජීවී මිතුරායි. එහෙත් පහසුවෙන් කොණ්ඩය වේලා දෙන මේ මිතුරා නිසි ලෙස භාවිත නොකළොත් නම් කොණ්ඩා මිතුරියට වන්නේ මහා විනාශයක්. ඒ ඇයි?

* නිවැරැදිව ‘හෙයාර් ඩ්‍රයර්’ භාවිත නොකිරීම නිසා

ඉක්මනින් කොණ්ඩය වේළා ගැනීමට සිතා පමණට වඩා උපකරණය ළඟට නොගන්න. වියළීමේදී නොසලය භාවිත කරන්න. නොසලයක් නැත්නම් හෙයා ඩ්‍රයරය අඩු වශයෙන් අඟල් පහක්වත් ඈතින් තබාගත යුතුයි. පමණට වඩා නිතර නිතර කොණ්ඩය වියළීමෙන් කොණ්ඩයට හානි සිදුවෙයි.

* වියළෙන තුරු භාවිත කරන්නේ නැහැ.

හෙයාර් ඩ්‍රයරය කොණ්ඩය සම්පූර්ණයෙන් වියළෙන තුරු භාවිත නොකිරීමද කොණ්ඩයට හානිකරය.

* හෙයා ස්ප්‍රේ ඉවත් නොවුණොත්....

හෙයාර් ස්ප්‍රේවල මධ්‍යසාර අඩංගුයි. හෙයාර් ස්ප්‍රේ සහිත කොණ්ඩයක් වියළීමේදී කොණ්ඩය වඩාත් වියළෙයි. මේ නිසා ඇල්කොහොල් රහිත හෙයාර් ස්ප්‍රේ යොදා ගන්න.

* ඉහළට කොණ්ඩය අදින්න එපා

ඉහළට කොණ්ඩය ඇදීමෙන් කෙස්මුලට හානි වී කෙස් ගැලවීමට ඉඩ තිබෙනවා. ඒ වාගේම කිටි කිටියේ කෙස් තද කිරීමද කෙස්වලට හානිකරයි.

* වර්ණය වෙනස් කරන්නේ පරෙස්සමෙන්

කොණ්ඩය හයිලයිට්ස් කිරීම හෝ සම්පූර්ණයෙන් පැහැය වෙනස් කිරීම, දිගින් දිගටම පැහැය වෙනස් කිරීම කොණ්ඩය වඩාත් වියළි කරන හේතුවකි. සුදු කොණ්ඩය කළු කිරීමට නම් එක් පැහැයක් යොදා ගන්න. ඇමෝනියා රහිත වර්ණම භාවිත කිරීම හිතකරයි.

*රැලි කොණ්ඩය වියළීමට තුවා භාවිත නොකරන්න.

පුංචි පුංචි දියරැලි මෙන් අලංකාර කෙස් වැටියක් ඇති සමහර කාන්තාවන් කොණ්ඩය වියළා ගන්නේ කොණ්ඩය තුවායක එතීමෙනි. මෙසේ කිරීමෙන් අගිසි පැලෙයි. මෙවැනි අය තෝරාගත යුත්තේ ටී ෂර්ටයක් හෝ මයික්‍රොෆයිබර් තුවායකි.

එවැනි රෙදිවලින් රළු බලපෑමක් සිදුවන්නේ නැත.

* වියළීමට පෙර අයන් නොකරන්න.

කොණ්ඩය රැලි කිරීමට හෝ කෙළින් කිරීමට පෙර කොණ්ඩය හොඳින් වියළී තිබිය යුතුයි. එසේ නොවුණොත් කොණ්ඩයට හානිවෙයි.

* සිල්ක් කොට්ට උරයක් පහසුවක්

සිල්ක් කොට්ට උරයක නිදා ගන්න විට ලිස්සන ස්වභාවයක් දැනේවියි සිතුණ ද කොණ්ඩයට අඩුවෙන්ම හානි වෙන්නේ මෙවැනි කොට්ට උරයක නිදගත් විටයි.

* තෙත කොණ්ඩයෙන් පෝනිටේල් එපා!

කොණ්ඩය තෙත්ව තිබියදී ගැට ගැසීමෙන්, රබර් පටියකින් ගැට ගැසීමෙන් කොණ්ඩයට කරන්නේ විශාල සතුරු කමකි. විශේෂයෙන් ඩයි කිරීම, අයන් කිරීම වැනි රසායනික ක්‍රියාවලියකට කොණ්ඩය ලක්කළා නම් මෙසේ පෝනිටේල් බැඳීමෙන් වන හානිය වැඩිය.

* කණ්ඩිෂනර් භාවිත නොකිරීම

සමහරු නිතර කන්ඩිෂනර් භාවිත කිරීමට මැළි වන්නේ සැහැල්ලු ගතියක් වැඩිපුර දැනෙන නිසයි. එහෙත් ස්නානය කරන සැමවිටම කන්ඩිෂනර් භාවිත කළ යුතුය. ඒ කොණ්ඩයේ නිරෝගී භාවය පවත්වා ගැනීමට කන්ඩිෂනර් අත්‍යවශ්‍යයි.

* වැරැදි නිෂ්පාදන තෝරා නොගන්න

ජීවය පිරි කෙස් කලඹක් පවත්වා ගන්න නිවැරැදි ෂැම්පු වර්ගය තෝරාගත යුතුය. සල්ෆේට් නැති ෂැම්පු මඟින් කොණ්ඩය වියළීම අඩුයි. ඒ වාගේම පමණට වඩා ෂැම්පු කිරීම ද නුසුදුසුය.


(under the courtesy of goodhousekeeping.lk web)