Life
කාන්තා රෝග සහ ප්‍රතිකර්ම ආයුර්වේදයේ ඇසින්
ආයුර්වේද මතානුකූලව තවත් කාන්තා රෝග කිහිපයකුත්, ඒ සදහා කළ හැකි ආයුර්වේද හා දේශීය ප්‍රතිකර්ම කිහිපයකුත් අද ලිපියෙන් සාකච්ඡුා කෙරේ.
1. රක්ත ගුල්ම
කාන්තාවගේ ගර්භාශය තුළ පිණ්ඩයක් බදුවූ අතින් ස්පර්ශ කළ හැකි තත්ත්වයකි. උදරයේ වේදනාව පවතී. මාස් ශුද්ධිය නොපවතී.
රෝග හේතු
දරුවකු ප්‍රසූත කළ ස්ත්‍රිය වැරදි ආහාරපාන සේවනය
යම් ස්ත්‍රියක් ගර්භ ශ්රාවයකින් (ගබ්සාවීමකින්) පසු වැරදි ආහාර පාන සේවනය
යම් ස්ත්‍රියක් ආර්තවය සිදුවන කාලයේ උෂ්ණ, කටුක, දාහ සහිත ආහාර අධිකව ගැනීම
ආයුර්වේදයේ පත්‍යාපත්‍ය යනු සුවිශේෂ අංගයකි. එනම් ගැමි වහරේ ‘පත්තියන් වීම ‘ලෙස ප්රකටය. මෙම පත්තියන් වීම පිළිබද අපහසුතාව, මැළිබව නිසා බොහෝ රෝගීන් ආයුර්වේද හා දේශීය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරයි. නමුත් මෙම රෝගයේදී පත්‍යාපත්‍ය නිසි පරිදි පිළිනොපැදීම හේතු කාරණා වී තිබේ.
නව ප්‍රසූත ස්ත්‍රිය ගරා වැටීමට ආසන්න වූ නිවසකට සමාන කර ඇත. මේ නිසා ඇයගේ ආහාර විහරන කෙරෙහි ඉතා හොදින් සැලකිලිමත් විය යුතුය. අතීතයේ දරුවකු ප්‍රසූත කළ ස්ත්‍රියට විශේෂ ආහාර පාන සැකසුණි.
උදා – තැම්බුම් හොද්ද
මේවායේ අඩංගු ඖෂධවල ගුණකර්ම හේතුවෙන් ගර්භාශය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වීම සිදුවුණි. නමුත් වර්තමානයේ සිදුවන වත්පිළිවෙත් වෙනස්ය.
තවද ගබ්සාවක් යනු කාන්තාව අතිශයින් පීඩාවට පත්වන අවස්ථාවකි. ශ්‍රී ලංකාවේ ගබ්සාව නීතිවිරෝධී වන අතර මෙහිදී දක්වනුයේ ගර්භණියක් කුමන හෝ හේතුවකින් ස්වාභාවිකව ගර්භ ශ්රාවයකට මුහුණ දෙන අවස්ථාවකි. කුමක් හෝ ආගන්තුක හේතුවක් එනම්, වැටීම්, තැළීම් ආදී හෝ කලලයේ යම් විකෘතිභාවක් නිසා හෝ පෝෂණ ඌනතා නිසා හෝ පිළිසිඳිනු ලැබූ ගර්භය ගර්භාශයෙන් ඉවත්විය හැකිය. මේ අවස්ථාවේදී ද කාන්තාව අතිශයින් දුර්වල වී ඇත. එහිදී පෝෂණීය ආහාරපාන මගින් ඇය යථා තත්ත්වයට පත්කර ගත යුතුය. එසේ නොකළහොත් වාතාදී දෝෂයෝ කෝප වී මෙවැනි රෝග ඇතිකිරීම සිදුවේ.
රක්ත ගුල්මය ඇතැම් විට යෝනි මාර්ගයේ පාර්ශ්වයක විය හැක. එය ඉහළට වැඞීමෙන් එම ඉදිමුම ඉහළටද පැතිරිය හැක. යම් විටක ආසාදනය වුවොත් එය ගෙඩියක් (absces) බවට පත්වී පැසවිය හැකිය. මෙම අවස්ථාවේ රෝගියා පරීක්ෂණවලට භාජනය කර ශල්‍යකර්මයක් මගින් සුවකිරීම සුදුසුය.
2. ගර්භාශය පහත්වීම
ගර්භාශය පහත්වීම ලෙස සරලව දැක්වුවත් ආයුර්වේද මූලාශ්‍ර ග්‍රන්ථවල රෝගයේ අවස්ථාව අනුව විවිධ නම්වලින් ශ්‍රේණි ගතකර ඇත.
ආණ්ඩිති – බිත්තරයක හැඩය ඇතිව මාංස පිණ්ඩයක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම
ඵලිනි – ඵලයක් බදු මාංස පිණ්ඩයක් පිටතට පැමිණීම
මහායෝනි – ගර්භාශය බොහෝ සෙයින් පිටතට පැමිණීම
මෙය බටහිර මතය අනුව සිදුකරන ශ්‍රේණිගත කිරීම් හා සැසදිය හැකිය.
රෝග හේතු
ගැබ්ගෙල විවර වීමට පෙර මව දරුවා බිහිකිරීම සදහා තැටමීම
ප්‍රසව වේදනාව ඇතිවී දිගු වේලාවක් දරුවා බිහි නොවීම
අඩු ප්‍රසව වැනි කෘති‍්‍රම ක්‍රම මගින් දරුවා බිහිකිරීම
අසමතුලිත ස්ථානවල විකෘති අයුරින් මෛථුනයේ යෙදීම නිසා වාත දෝෂය කෝප වීම
රෝග ලක්ෂණය ප්‍රධාන ලෙසම යෝනි මාර්ගය තුළින් යමක් පිටතට පැමිණෙනවා යැයි අතට දැනීමයි. තවද මල පිටකිරීමේ අපහසුව, මූත්‍රා වේගය දරා සිටීමේ අපහසුව යටි උදරයේ බර බව වැනි ලක්ෂණයි.
මෙහිදී රෝගියා හොදින් පරීක්ෂා කර නිවැරදිව රෝග අවස්ථාව හදුනාගත යුතුය. ආයුර්වේද හා දේශීය වෛද්‍ය ප්‍රතිකර්ම මගින් සුවකළ හැකි මට්ටමක පවතී නම් ඒ සදහා ප්‍රතිකර්ම කිරීම ආරම්භ කළ යුතුය. නැතිනම් ශල්‍යකර්මයක් මගින් සුවකර ගැනීමට රෝගියා යොමු කළ යුතුය.
මෙහිදී ආයුර්වේද ප්‍රතිකර්ම මගින් උදරය ආශ්‍රිතව පවතින බන්ධනී ශක්තිමත් කරන ප්‍රතිකාර, වාත දෝෂය සමනය කරන ප්‍රතිකාර සිදුකරයි. එනම් අභ්‍යන්තර ඖෂධ මෙන්ම බාහිර තෛල අභ්‍යන්ගය, ඖෂධීය දුම යෙදීම, යෝනි පුරණ ආදී වූ සුවිශේෂී ප්‍රතිකාර සිදුකරයි. මුල් අවස්ථාවේ හදුනාගෙන ආයුර්වේද ප්‍රතිකාර කරා යොමුවීම මගින් ශල්‍යකර්මයක් නොකොට සාර්ථකව සුව කරගත හැකිය.
තවද ප්‍රතිකාරවලට අමතරව විහරණ පිළිබදව ද රෝගීන් දැනුවත් විය යුතුය. සාමාන්‍ය දරු ප්‍රසූතිය කළ ස්ත්‍රීන්, දරුවන් වැඩි ගණනක් බිහිකළ කාන්තාවන් සාමාන්‍ය ජීවිතයේ නිවැරදි විහරණ රටාවකට යොමුවීම මගින් මෙම තත්ත්වය වළක්වාලිය හැකිය. බර ඉසිලීම, ශරීරය අධිකව වෙහෙස වන කාර්යයන්වලින් ඉවත් වීම, තන්තුමය ආහාර නිතර ගැනීම මගින් මල බද්ධය වළක්වා ගැනීම වැනි සරල කරුණු පිළිබ`දව ද සැලකිලිමත් වීම මෙම රෝගය යම්තාක් දුරට වළක්වා ගැනීමට උපකාරී වේ.
3. යෝනි කන්ධ
යෝනියේ හටගන්නා අලයක් බදු වූ වර්ධනයක් නිසා මෙයට යෝනි කන්ධ නම යොදා ඇත.
රෝග හේතු
දිවා කල නිදා ගැනීම
අතිශයින් ක්‍රෝධ කිරීම
අධික ව්‍යායාම
අති මෛථුනය
නිය, දත් ආදියෙන් තුවාල වීම
මෙම හේතු නිසා කිපුණා වූ වාතාදී දෝෂයෝ යෝනියේ සැරව සහිත රක්ත වර්ණ විෂමාකාර වූ පිණ්ඩයක් උපදවයි. අධික වේදනාව, දැවිල්ල, රත් පැහැය, සමහර විට කැසීම වැනි ලක්ෂණ ඇති කරයි. හිදගෙන සිටීම හෝ සිටගෙන සිටීම පවා මෙවිට අපහසුය. ඇතැම් විට උණ ගතිය පවා ඇති කරයි. මෙය බටහිර වෛද්‍ය විද්‍යාවේ Bartholinzs Abscess හා සැසදිය හැකිය.
මේ සදහා සාර්ථක ප්‍රතිකාර පද්ධතියක් ආයුර්වේද වෛද්‍ය ක්රමයේ පවතී. එනම් වාතාදී දෝෂයෝ සමනය සදහා අභ්‍යන්තර ඖෂධ ද බාහිරින් විවිධ ඖෂධීය කෂාය මගින් ශෝධනය, ඖෂධ ගැල්වීම, ඖෂධීය ජලයේ හිදගෙන සිටීම (අවගාහනය) වැනි ප්‍රතිකාර සිදු කරනු ලබයි. මෙමගින් රෝගය මුළුමනින්ම සුවවන අතර ඉතා පහසුවෙන් හා ඉක්මනින් සුවකර ගැනීමට හැකිවීම වැදගත්ය.
4. ස්ත්‍රී මූත්‍ර ව්‍යුහාගත රෝග
කාන්තාව පුරුෂයින්ට වඩා මුත්‍ර ව්‍යුහාගත රෝගවලට ලක්වේ. මේ සදහා හේතු ලෙස කාන්තාවගේ ව්‍යුහාත්මකව පවතින විවිධත්වය බලපායි.
ගුද මාර්ගය, මූත්‍රා මාර්ගය හා යෝනි මාර්ගය එකට ආසන්නයේ පැවතීම (මේ නිසා ගුද, යෝනි මාර්ගවල පවතින ශ්‍රාව මූත්‍රා මාර්ගයට එකතු වේ )
පුරුෂයින්ට වඩා කෙටි මූත්‍ර මාර්ගයක් පැවතීම (මෙමගින් බාහිර පරිසරය හා මූත්‍රාශය අතර දුර අඩු වී ආසාදන ඉක්මනින් පැතිරීම)
යෝනි ශ්‍රාව ආදිය පැවතීම නිසා විෂබීජ එක්රැුස්වීමේ මාධ්‍යක් ලෙස ක්‍රියාකිරීම
ස්ත්රීන්ට මූත්‍රා දරා සිටීමේ හැකියාව වැඩි නිසා වැඩිපුර වේලාවක් මූත්‍රාශයේ මූත්‍රා පැවතීම
බොහෝ විට විවාහ වූ විගස කාන්තාවන් මූත්‍රා දාහය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. එයට හේතුව සම්බන්ධ වීමේදී සිදුවන ආගන්තුක ද්‍රව්‍යයක් ඇතුළුවීමේදී විවිධ විෂබීජ ශරීරගත වීමයි.
මෙහිදී ආයුර්වේද ප්‍රතිකාර ලෙස හොදින් මූත්‍රා පිටකරවන ඖෂධ, මූත්‍ර පිරිසිදු කරන ඖෂධ මෙන්ම බාහිර ශරීරය හොදින් ශෝධනය කරන ඖෂධ යොදා ගනී. එමගින් මූත්රාශගත වූ විෂබීජ ශරීරයෙන් පිටකරවන අතර බාහිර පරිසරයේ පවතින විෂබීජ නැවත ඇතුළු වීම වළකයි. ඒ සදහා ඖෂධීය ජලයේ හිදගෙන සිටීම, ශෝධනය වැනි ප්‍රතිකාර යොදා ගනී. විශේෂයෙන්ම කාන්තාවගේ යට ඇදුම් හොදින් සෝදා වියළා භාවිත කිරීම, නිතරම මූත්‍ර, යෝනි මාර්ග ආශ්‍රිතව වියළිව පවත්වා ගැනීම ඉතා වැදගත්ය. තවද වැඩිපුර ජලය පානය කිරීම, ඖෂධීය පානයන් දිනකට වරක් හෝ පානය, නීරමුල්ලිය, කැකිරි වැනි එළවළු වර්ග ආහාරයට එකතු කර ගැනීම වැනි සරල ක්‍රම මගින් මූත්‍රා ව්යුහාගතව ඇතිවන තත්ත්වයන් සමනය කර ගත හැක. තවදුරටත් පවතී නම් UFR පරීක්ෂණයක් මගින් රෝගය තහවුරු කර එයට සරිලන ප්‍රතිකාර ලබාගැනීමට යොමු විය යුතුය.
Wmqgd .ekSu Ys% ,xld ñr¾ fjí wvúh weiqfrks