හර්ට්ස් 20 සිට කිලෝහර්ට්ස් 20 පමණ වන තෙක් මානව කනට ශබ්ද හඳුනා ගැනීමට හැකියාව තිබෙන නිසා අපට කථා කරන්නට, ගීත ශ්‍රවණය කරන්නට හැකියාව ලැබී තිබෙනවා. ස්වභාවික ශබ්ද ජනක උපාංගය වන අපේ උගුර ජනනය කරන්නේ තමන්ගේම කණට ඇසෙන ප්‍රමාණයට ගැළපෙන ශබ්ද වන අතර ගායිකාවන් විසින් එය උපයෝගී කරගෙන වීදුරු බිඳෙන තරම් උස් හඬ නගා ශක්ති ජනනය කොට, භෞතික වශයෙන් බලපෑමක් කරන්නට තරමේ දක්ෂතා ද දක්වනවා. අපිට වඩා ශබ්ද පරාසයක් සුනඛයන් වැනි සතුන්ට ඇසෙන නිසයි මහ රෑ කොස් කොළයක් වැටුණු තැන බල්ලෙක්ට කියන්නත්, එය ඇහිඳ ගන්නට (රාත්‍රියේත් ඇස් පෙනෙන නිසා) පූසෙක්ටත් හැකියාව ඇති බවත් කටවහරෙහි කියන්නේ. නමුත් මේ ශබ්ද නිසා අපි පීඩා විඳින වාරයන් ද අනන්තයි. ගව්වක් දුර සිටින කෙනෙක්ට වුණත් දුරකතනයක් නැතිවම ඇසෙන සේ හයියෙන් ඇමතුම් ගන්නා අය, කැරපොත්තෙක් දුටු වහා උගුර යටින් එළාම් ගහන අය, ගෙදර ආ ගමන් කෑ ගහන අය අප අතර ඕනෑ තරම්. මේවා සාමාන්‍ය ජීවිතයේ කිලෝහර්ට්ස් 20ට අඩු අකරතැබ්බ වූවත් ඊට වඩා අතිධ්වනියෙන් යුක්ත තරංග භාවිත කරන ත්රස්තවාදියකුට ඉතා ඈත සිටක වුවත් ඔබට බලපෑම් කරන්නට හැකියාව තිබෙන බව දැන් සොයාගෙන තිබෙනවා.
අති ධ්වනි තරංග වෛද්‍ය ශිල්පයේදී භාවිත වන සුලබ අවස්ථාවක් තමයි දරුවන් ඉපදෙන්නට පෙර ඔවුන්ව දැක ගැනීමට අවස්ථාව සලසා දෙන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් හෙවත් අතිධ්වනි පරිලෝකනය කියන්නේ. මෙහිදී සිරුර විවෘත නොකරම බාහිරින් ධ්වනි තරංග මුදාහැර ඒවා නැවත පරාවර්තනය වන ප්‍රමාණයන් සැලකිල්ලට ගෙන තිරය මත අභ්‍යන්තර රූපයක් මැවීමේ හැකියාව තිබෙනවා. මේ ක්‍රමයේදී භාවිත වන ශබ්ද තීව්‍රතා මට්ටම මවට හෝ දීර්ඝ කාලීන වශයෙන් දරුවාට හානියක් වන්නේ නැහැ. පර්යේෂකයන් විසින් කාන්තාවකගේ ගර්භාෂයක් තුළට ක්ෂුද්‍ර මයික්‍රොෆෝනයක් ඇතුලු කර පිටතින් මේ අතිධ්වනි පරිලෝකන උපාංගය විවිධ අතට තබමින් උත්සාහ කළ විට ලැබුණු ප්‍රතිඵල වූයේ භ්‍රෑණයට මේ ශබ්ද පියානෝවක අති උච්ච ස්වරයක් මෙන් ඇසෙන බවත්, යොදාගත් මයික්‍රොෆෝනයට එසේත් නැත්නම් වැඩුණු භ්‍රෑණයක කණට ඍජුව මේ ශබ්ද යෙදූවිට එය දුම්රියක් ස්ටේසමට එන විට තරම් ශබ්දයක් දැනෙන බවයි. එනිසා ඔබේ වැඩුණු දරුවාගේ මුහුණ දකින්නට ස්කෑන් කරද්දීමයි “ඔය නිදාගත්තා ඇති, දැන් නැගිටපන්” යන සොඳුරු මව්පිය විධානය ලැබෙන්නේ. තරුණ විය ඉක්මවන තෙක් ම මනුෂ්‍ය කණට ඉහළ පරාසයේ ශබ්ද ඇසීමේ හැකියාව තිබෙනවා. විවිධ වයස් මට්ටම්වල අය ගෙන්වා සංඛ්‍යාත මට්ටම් වෙනස් කරමින් නැෂනල් ජියෝග්රැෆිහි බ්‍රේන් ගේම්ස් වැඩසටහන විසින් කළ ප්රතිනිර්මිත පර්යේෂණයක් හරහා ද පෙන්වා දුන්නේ වැඩිහිටි වියේ සිටින අයට ඉහළ ස්වරයන් නොඇසෙන බවයි. එය උපයෝගී කරගන්නා තරුණ විය ඔවුන්ගේ දුරකථනවලටත් අති ධ්වනි නාද ඇතුළත් කරගනිමින් වැඩිහිටියන්ට නොදැනීම දුරකතනය නාද වන්නට සලස්වා ගන්නවා. මේ නිසා වයස් ප්‍රමාණය අනුව වෙන් කර, ධ්වනිමය කරදරයක් කරන්නට අවශ්‍ය වූ විටත් ඉහළ සංඛ්‍යාතයක ශබ්ද එවමින් වැඩිහිටියන් පාඩුවේ සිටියදීම ළමා සහ තරුණ අයට බලපෑම් කරන්නටත් ඈත සිටින කෙනෙක්ට පුළුවන්.
වා-සර සංවේදක හෙවත් එයාර්බෝන් සෙන්සර්වලට පයිප්ප වැනි උපාංගවල ඇති පළුදු සොයන්නට, වායු ගලා නොයන සේ පයිප්ප හිරවූ අවස්ථාවන් හඳුනාගැනීමට හැකි ආකාරයේ ශබ්ද භාවිත කරන්නට පුළුවන්. නමුත් මේවා අයුතු සේ යොදාගැනීමෙන් අපි එදිනෙදා භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපාංගවලට බලපෑම් කරන්නට ඒවාට හැකියාව තිබෙනවා. නවතා ඇති වාහනයක එයාබෑග් සක්‍රීය කරන්නට, ඩ්‍රෝනවල සමතුලිතතාව පවත්වා ගන්නා විභ්රමණේක්ෂවල පාලනය බිඳලමින් ඒවා බිම හෙළන්නට, ස්මාර්ට් දුරකතනවල ත්වරණමාන උත්තේජනය කොට එය චලනය වන බව හඟවන්නට, වැනි දේවල් ළං නොවී කිසිවකුටවත් නොදැනී කරන්නට හැකියි. මේ සංඛ්‍යාතයන් මනු කණට නොඇසෙන නිසා දැනීමකුදු වන්නේ නැහැ. ස්මාර්ට් දුරකතනවල ඇති මයික්‍රොෆෝන විසින් පරිශීලකයාගේ කටහඬ නිසි සේ නොහඳුනන සේ සකසා නොතිබුණහොත් ඇපල් හි සිරී, ගූග්ල්හි ඇසිස්ටන්ට් වැනි කටහඬ හරහා ක්‍රියාත්මක වන යෙදුම් පවා සක්‍රීය කරන්නට අති ධ්වනි තරංග යොදාගත හැකි බවයි චීනයේ USS Lab ආයතනය පෙන්වා දෙන්නේ. ඔවුන් ඩොල්ෆින් මත්ස්‍යයන් විසින් නඟන ඉහළ සංඛ්‍යාතයන් ගෙන් යුත් හඬ සාර්ථකව මේ පර්යේෂණයට යොදාගෙන ඇපල් දුරකතනයක් පාලනය කරන ආකාරයේ වීඩියෝ එළිදක්වා තිබෙනවා.
අතිධ්වනි තරංග ප්‍රහාරයක් එල්ල කිරීමේදී එය මිනිසුන්ට පමණක් නොව සතුන්ටද දැනෙන්නට පටන් ගන්නවා. සුනඛයන්ට ඉහළ සංඛ්‍යාතයේ විසිල් හඬ ඇසෙන්නාක් මෙන්ම මේ පිළිබඳ පර්යේෂණයකදී අත්දැක ඇත්තේ අති ධ්වනි හඬක් ලබා දුන් විට ඉබ්බන් විසින් රිද්මයානුකූල චලනයන් දක්වන්නට පටන් ගන්නා බවයි. ඉහළ හඬින් ගීත ශ්‍රවණය කිරීම්, සංගිත සංදර්ශනවල සිටීම ආදිය හරහා ශ්‍රවණ දුබලතා ඇති වනවා වගේම අතිධ්වනි වෑල්ඩිං සිදුකරන අයටත් නිරන්තර හිස කැක්කුම්, තාවකාලිකව සමතුලිතතාව නැතිව යන ආකාරයේ දැනීම් සිදු වෙනවා. එසේම අති ධ්වනි තරංග එල්ල කිරීමේදී එම තරංග එකිනෙක මුසුවීමෙන් නැගෙන ප්රතිධ්වනි නිසා අතිධ්වනි තරංගයටත් වඩා බලපෑමක් ඇති කළ හැකි බවයි ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වෘත්තිමය සෞඛ්‍යාරක්ෂණ උපදෙස්වලත් දක්වා තිබෙන්නේ. එය හරහා ධ්වනි සම්බන්ධ කටයුතු කරන්න සමාගම්වලට තම සේවකයන් යෙදවිය යුතු සීමාවන් පෙන්වා දෙනවා. ඉතින් මේවා ඉක්මවා යෑමෙන් නිශ්ශබ්ද ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාව තිබෙනවා. 2017දී කියුබාවට ගිය ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අත් විඳින්නට සිදුවූයේද මෙවන් ඉරණමක්. ඔවුන් එහි සිටියදී විවිධ ලෝහ ගැටෙන ශබ්ද ආදිය ඇසුණු බවත්, ශ්‍රවණ දුබලතා ඇතිවුණු බව සහ ස්නායුමය වශයෙන් ද බලපෑම් එල්ලවූ බවත් වාර්තා වුණා. ඇතැමුන් මෙය මවාගත් රෝගයකැයි චෝදනා කළත් පසුව කරන ලද පර්යේෂණයන්හිදී අනුමාන කරන ලද්දේ කියුබාව විසින් මේ නිලධාරීන් කතා කරන දේවල් හොරෙන් ඇසීමට අති ධ්වනි තරංග යොදාගන්නට ඇති බවයි. එසේම එවන් අවස්ථාවකදී එම නිලධාරීන්ටත් අති ධ්වනි තරංග යොදාගෙන ප්රතිධ්වනි තරංග ඇති කොට එසේ හොරෙන් අසන්නන්ගේ උත්සහය නිරර්ථක කරන්නට හැකි බවත් එහිදී හෙළි වුණා. රේඩාර්වලට හසු නොවී යන ගුවන් යානාවලදීත් භාවිත වන්නේ මීට සමාන ක්‍රමවේදයක්. කුළුණෙන් ලැබෙන තරංගයන්ට එරෙහි තරංගයක් ගොඩ නගා තමා නොසිටින ආකාරයේ මුලා කිරීමක් ඒවා සිදු කරනවා.
ඉතින් මෙවන් තත්ත්වයක් යටතේ, න්‍යෂ්ඨික අවි දෙස හැරී ඒ ගැන අවධානයෙන් ලොව බියෙන් සිටියදී තවත් ත්‍රස්තවාදී පිරිසක් අනාගතයේදී ඇඟට පතට නොදැනී අපේ කනෙන් රිංගා යනු ඇති බව නොරහසක්. එවන් තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන, ශබ්ද ජනනය කිරීමට ඇති ප්‍රමාණයන් පාලනය කොට නීතිරීති සැකසීමත් අන් රටවල මෙන්ම අපට ද අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්වනු ඇති.