ප්රශ්නය - මේ එළැඹ තිබෙන්නේ වසරේ වඩාත් ම වියළි කාලයයි. අධික දුහුවිල්ල නිසා ශ්වසන රෝගය බහුල වෙමින් පවතිනවා. ශ්වසන රෝග අතර ප්‍රධානතම රෝගයක් වන්නේ ඇදුම බව අප දන්නවා. ඒ සමඟම කුඩා ළමුන් සහ වැඩිහිටියන් පපුවේ හතියෙන් පෙළෙනවා. ඔබ ව්‍යවහාර කරන පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ හතිය සඳහා ප්‍රතිකාර තිබෙනවාද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - ඇදුම සහ හතියට හොඳම ප්‍රතිකාර තිබෙන්නේ අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ බව මාගේ පිළිගැනීමයි. අප ශරීරයට ගන්නා සෑම බෙහෙතකින් ම අක්මාවට සහ වකුගඩුවලට කිසියම් බලපෑමක් ඇති වෙනවා. දේශීය වෛද්‍ය ක්‍රමය සතු ශාකසාර ඖෂධවලින් සිදුවන බලපෑම ඉතාම අවමයි. සමහර විට ශූන්‍යයි.
ප්රශ්නය - අප මේ ලිපි පෙළ මගින් ඇදුම රෝගය සහ හතිය හෙවත් පපුවේ මහන්සිය ගැන සම්පූර්ණ හඳුන්වාදීමක් කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙනෙක් තමන්ට ඇදුම සෑදීගෙන එන බව දැන ගන්නේ කොහොමද?
වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි - මුලින්ම එන්නේ දුහුවිල්ල හෝ ශීතලයට එහෙමත් නැත්නම් තෙතමනයට දක්වන අසාත්මිකතාවයයි. සමහර කෙනෙක් මේ සියල්ලටම එකවර අසාත්මිකතාවන් දක්වනවා. මුලදී සුළු වශයෙන් ඇති වන මේ තත්ත්වය පහුවන විට ඉතා තදට වර්ධනය වී පහත සඳහන් රෝග ලක්ෂණ හට ගන්නවා. එනම් හුස්ම ගැනීමේ අපහසුව, රෝගය හටගත් විට හුස්ම ගැනීමට කොහෙත්ම බැරි තත්ත්වයක් ඇති වී ඉතාම අමාරුවෙන් හුස්ම ගැනීම, හතිය සමඟ හුස්ම පිටකරන විට කිසියම් නලා ශබ්දයක් වැන්නක් හට ගැනීම, පපුව හිරවීම සහ වේදනාව ඇතිවීම, බඩපුරවා දැමීම. ඉතාම දරුණු කාංසා තත්ත්වයන් හට ගැනීම. උගුර සහ නිකට කසන්නට පටන් ගැනීම, රාත්‍රි කාලයේදී නොකඩවා කැස්ස හට ගැනීම, ශාරීරික අපහසුතාවක් ඇති වී තිගැස්සුම් සහගත භාවයක් හටගෙන එය වර්ධනය වීම, සෙම්ප්‍රතිශ්‍යාවක් හට ගැනීම, ශරීරය තුළ සෙම් සොටු නිෂ්පාදනය වැඩිවීම, ශරීරයේ දුර්වලතාවක් හට ගැනීම, ව්‍යායාමවලින් පසු අසාමාන්‍ය මහන්සියක් ඇතිවී නාඩි වැටීම වර්ධනය වීම. සෙම්ප්රතිෂ්යාවක් හට ගත් විට නිතර කිවිසුම් යැම, නාසය හිරවීම, උදර අභ්‍යන්තරය ඉදිමීම, හිඳගෙන ඉනෙන් උඩ කොටස ඉදිරියට නැඹුරු කරන විට හුස්ම ගැනීමේ අපහසුවක් හට ගැනීම, නිසි ලෙස නින්ද නොයැම, නිරන්තර කැස්ස, ඇස් යට කලු පැහැ ගැන්වීම, කතා කිරීමේ දුෂ්කරතාව, හිසේ වේදනාව, සොටු දියර ගැලීම සහ නිතර නිතර දහදිය ගැලීම, කන් නෑසී යැම හෝ කන් අගුල් වැටී ඇති බව තමන්ට හැඟීම.