දේශපාලන පළිගැනීම් නිසා ගල් වළ වැහිලා කාලි මෑණි අනුහසෙන් ගල් වළ ඇරිලා
ඔහු සරත්. ඔහු අපට හමු වුණේ මුන්නේශ්වරම අයියනායක දේවාල පාරේ ශ්‍රී ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කාලි කෝවිලේ දීය. කුරුණෑගල සිට සරත් පැමිණ සටියේ කාලි මෑණියන්ට පලතුරු වට්ටියක් පූජා කර ඇයට උපහාර කිරීම සඳහාය. ඔහු සෑම මසකම ප්‍රත්‍යාන්ගිරා අම්මාන් කෝවිලට පැමිණ මේ අයුරෙන් මෑණියන් වැඳ පුදා ගනී. සරත් කියන පරිදි ඔහු කාලි මෑණියන් අදහන්නේ අවුරුදු 20කට වැඩි කාලයක සිටය.
'මම කාලි මෑණි අදහන්නේ අවුරුදු 20කට වැඩි කාලයක සිටය. මහේන්ද්‍රසාමි පූජකතුමන් හඳුනන්නෙත් ඒ කාලයේ සිටමයි. මම මුහුණ දෙන සෑම කරදරයකදීම මම කාලි මෑණියන්වත්, මහේන්ද්‍රසාමි පූජකතුමන්වත් සිහි කරනවා. එතකොට කොහොමහරි ඒ කරදරයට නැත්නම් ගැටලුවට මට විසඳුමක් ලැබෙනවාමයි.' සරත් අප සමඟ පැවැසීය.
කාලි මෑණියන් මෙතරම් දැඩිව ඇදහීම ඔහු පෙලඹ වූ හේතුව විමසීමේදී සරත් අපට පිළිතුරු දුන්නේ මෙසේය.
'මම නාරංගොල්ලේ විශාල ගල් වළක් පවත්වාගෙන ගියා. ඒකෙ ගල් කැඩීමෙන් මට ලොකු ආදායමක් ලැබුණා. ගල් වළේ වැඩ කරපු සේවක සේවිකාවන්ට හොඳ වැටුප් ලබා දීල ඒ අයට හොඳට සැලකුවා. ව්‍යාපාරය බලා සිටිද්දීම දිනෙන් දින දියුණු වුණා. මට යාන වාහන තිබුණා. ගමේ හැමෝටම මම හැකි පමණින් උදවු කළා.
ඒත් මට දේශපාලන මතයක් තිබුණා. දැනටමත් මම ඉන්නෙ ඒ දේශපාලන මතය එක්කයි. නමුත් එක්තරා කාලවකවානුවකදී මම සහාය දුන්න දේශපාලන පක්ෂය රටේ පාලන බලයෙන් ඉවත් වෙලා වෙනත් පක්ෂයක් පාලන බලයට පත්වුණා. එදා ඉඳන්ම මගේ ව්‍යාපාරයට කණකොකා හඬන්න පටන් ගත්තා. එදා ඉඳන්ම මම ගමට උදවු කළත් මගේ දේශපාලනයට විරුද්ධ ගමේ ඇතැම් අයත් මට විරුද්ධව වැඩ කළා. දේශපාලන බලපෑම් නිසා මට ගල් වැඩපළ තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වුණා. මට වැඩපළ වහන්න සිද්ධ වුණා. අතේ සතයක් නැතිවන තරමට මම වැටුණා. කර කියා ගන්න දෙයක් නැති වෙන කොට මට කාලි මෑණියන් සිහි වුණා. මම කෝවිලට ගිහින් මෑණියන්ට මගේ දුක කිව්වා. එදා මගේ දුක මා වෙනුවෙන් මෑණියන් කියන්න ඉදිරිපත් වුණේ මහේන්ද්රසාමිතුමා.
මම මෑණියන් ඉදිරියේ හඬා වැලපෙද්දී මහේන්ද්රසාමිතුමා මෑණියන්ට මගේ කන්නලව්ව කියා බාරයක් වුණා. මාස තුනයි ගියේ මට ගල් වළේ ව්‍යාපාරය කරන්න ඉඩ ලැබුණා. ලොකු වන්දි මුදලකුත් ලැබුණා. මගේ ව්‍යාපාරයට වළ කැපූ අයට දඬුවම් ලැබුණා. මට හතුරුකම් කරපු අය මහ පාරට වැටුණා. අදටත් ඒ අය ඉන්නේ ඒ තත්ත්වයෙමයි.
මම ගල් වළ ආයෙ පටන් ගත්තේ නෑ. ඒක විකුණලා දැම්මා. කුරුණෑගල පැත්තේ කඩයක් පටන් ගත්තා. ඒක බලා සිටිද්දීම දියුණු වුණා. දැන් මම කිසි කරදරයක් නැතිව ජීවත් වෙනවා. උදවු ලැබිය යුතු අයට උදවු කරනවා. ඕනෑම කරදරයකදී, ගැටලුවකදී මෑණියන්වත් මහේන්ද්රසාමිවත් සිහිපත් කරනවා. ඉන් මට පිහිටක් ලැබෙනවා.
ඒ වගේ මට මොකක් හරි කරදරයකදී 'මගේ බුදු අම්මා කාලි මෑණියෝ මට පිහිට වන්න කියලා මහේන්ද්රසාමිතුමත් මතක් කරල ඉල්ලුවාම කොහොම හරි මට විසඳුමක් ලැබෙනවා. ඒක ඒකාන්තයි. මගේ ව්‍යාපාරයේ මුදල් අර්බුදයකදී මෑණියන් සිහිපත් කළාම මම නොහිතපු පැත්තකින් මට මුදල් ලැබෙනවා. ඒක ස්ථිරයි. මම නැති බැරි අයට උදවු කරනවා. පිහිට වෙනවා. මගේ බුදු අම්මා කාලි මෑණියන් මට හොඳටම විශ්වාසයි. කවදාවත් මගේ අතේ වැරැදි තියාගෙන මම මෑණියන්ගේ පිහිට බලාපොරොත්තු වෙන්නේ නෑ' සරත් අප සමඟ එසේ පැවැසුවේ මෑණියන් කෙරෙහි වූ අපමණ විශ්වාසයෙනි.