Life
ආර්තවය පිළිබඳ වැරැදි මත දුරු කරගනිමු
කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දු අසංක ජයවර්ධන
ආර්තවය නමැති ඉතාම ස්වභාවික ක්‍රියාවලිය කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන්නේ ශරීරයෙන් නිකුත් වන හෝමෝනවල බලපෑම නිසා. හෝමෝන නිකුත් වීමට සංඥාව ලැබෙන්නේ මොළයෙන්. අධික සතුට, අධික කනගාටුව වැනි හැඟීම් නිසා කාන්තාවකගේ ආර්ථවය සිදුවන දිනයන් වෙනස් වන්නේත්, රුධිරය පිටවන ප්‍රමාණයන් වෙනස් වන්නේත් ඒ නිසයි.
නිවෙසේ ගෘහිණියගේ සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව කතා කරන විට ආර්තවයට සම්බන්ධ ගැටලු පිළිබඳව කතා නොකරම බැහැ. පසුගිය සතියේ අප සාකච්ඡා කළේ ආර්තව සමයේ ඇතිවන අධික වේදනාව සහ ඒ සඳහා කළ හැකි පිළියම්, ප්‍රතිකාර පිළිබඳව. අද අප සාකච්ඡා කරන්නේ ආර්තවය සමඟ ඇතිවන වෙනත් ගැටලු කීපයක් සහ ආර්තවය පිළිබඳව සමාජයේ පවතින මිථ්‍යා මත කීපයක් පිළිබඳව.
එක් ආර්තවයක් සිදුවී දින 21ත් 35ත් අතර කාලයේ නැවත සිදුවන ආර්තවය ඉතා සාමාන්‍ය තත්ත්වයක් ලෙස හඳුන්වනවා. දින 21කට කලින් ආර්තවය සිදුවන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක්. එසේම දින 35කට වැඩි කාලයක් ගතවී ආර්තවය සිදුවන්නේනම් එයත් අසාමාන්‍ය තත්ත්වයක්. ඇතැම් කාන්තාවන්ට මාසයකට එක් වරකට වැඩියෙන් ආර්තවය සිදුවනවා සේම ඇතැම් කාන්තාවන්ට ආර්තවය සිදුවන්නේ මාස දෙක තුනකට වතාවක් වෙන්න පුළුවනි. මෙය ආර්තවය පිළිබඳ ප්‍රධාන ගැටලුවක්. ඊට අමතරව ආර්තව ක්‍රියාවලිය අවසන් වී දින කීපයක් ගතවූ පසුව නැවත රුධිර වහනයක් සිදුවන්නේනම් එයත් අසාමාන්‍ය තත්ත්වයක්. මෙවැනි අසාමානය තත්ත්වයන්වලදී වහාම කළ යුත්තේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු වීමයි. කිසිදු විශේෂ හේතුවක් නැතිව වුවත් ඉහත තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තිබෙනවා.
විශේෂයෙන්ම දැරියක මල්වර වීමෙන් පසුව අවුරුදු දෙක තුනක් ගතවන තෙක් මෙවැනි තත්ත්ව ඇතිවීම පිළිබඳව එතරම් කලබල විය යුතු වන්නේ නෑ. ඒ ආර්තව චක්‍රය නිසි පරිදි සිදුවීමට වසර කීපයක් ගතවන නිසයි. ඒ වගේම වයස්ගත වීමත් සමඟම සිදුවන ආර්තවහරණයට ආසන්න වන විටත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙනවා. එසේ නොවන අයකුගේ ආර්තව චක්‍රය පිළිබඳව ගැටලුවක් ඇත්නම් එය පරීක්ෂා කර බැලිය යුතු තත්ත්වයක්.
ආර්තව චක්‍රය අක්‍රමවත් වීමට බලපාන කරුණු කීපයක්ම තිබෙනවා. එයින් ප්‍රධානම සුලබම කරුණ වන්නේ බහුකෝෂික ඩිම්බකෝෂ සහලක්ෂණ (PCOS) නම් රෝගී තත්ත්වයයි. රෝග පරීක්ෂාවකින් ඉතාම නිවැරැදිව මෙම PCOS තත්ත්වය හඳුනාගත හැකියි. එහිදී හෝමෝනවල කිසියම් ගැටලුවක් ඇත්දැයි හඳුනාගතහොත් ඒ සඳහා අවශ්‍ය සාර්ථක ප්‍රතිකාර ක්‍රම අද තිබෙනවා. එමඟින් මෙම ආර්තව චක්‍රයේ අක්‍රමවත් බව පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබාගන්න පුළුවනි.
ආර්තවයේදී සිදුවන රුධිරය වහනය වන ප්‍රමාණය පිළිබඳ ගැටලුත් ඇතැම් කාන්තාවන්ට තිබෙනවා. ආර්තව සමය තුළ පිටවන රුධිරය ප්‍රමාණය මිලිලීටර් 80කට වඩා වැඩියෙන් පිටවීම වෛද්‍ය විද්‍යාත්මකව අසාමාන්‍ය තත්ත්වයක් ලෙස දැක්කත් එය නිවැරැදිව මැනිය නොහැකි නිසා එය නිවැරැදිම නිදර්ශකයක් ලෙස සලකන්නේ නෑ. ඒ වගේම ආර්තවයේදී සිදුවන රුධිර වහනයේ ප්‍රමාණය එක් එක් කාන්තාවට වෙනස් වෙනවා. කිසියම් කාන්තාවකගේ මාස කීපයක් තිස්සේ ආර්තවයේදී පිටවූ රුධිරය ප්‍රමාණයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් රුධිරය පිටවන්නේ යැයි හැඟේනම් එය මාස කීපයක් දිගට පවතීයැයි හැඟේනම්, ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්. මේ තත්ත්වයට හේතු කීපයක්ම බලපෑ හැකි අතර ඒ සඳහා ද සාර්ථක ප්‍රතිකාර තිබෙනවා.
ආර්තවය සිදුවන දින කීපය තුළදී ස්නානය, ක්‍රීඩා කිරීම, ගමන් බිමන් යාම, ගොවිතැන් කටයුතුවල නිරත වීම, යම් යම් ආහාර ගැනීම සුදුසු නොවන බවට මතයක් සමාජය තුළ තිබෙනවා. මේවා සියල්ලම මිථ්‍යා මත බවයි වෛද්‍ය විද්‍යාත්මකව ආර්තවය පිළිබඳව කරුණු සෙවීමේදී පෙනී යන්නේ. ආර්තවය යනු කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන ඉතා සාමාන්‍ය ස්වභාවික ක්‍රියාවලියක්. ස්නානය මඟින් යම් යම් ආහාර ගැනීම මඟින් ආර්තවයට බලපෑම් ඇතිවන බව මේ වන තෙක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී නෑ. දිනපතා ස්නානය කිරීම කෙනෙකුට අගුණයක් නැතිනම් ආර්තව සමයේදී ස්නානයෙන් ගැටලුවක් මතුවන්නේ නෑ. ආර්තව දිනවල ශරීරයෙන් කිසියම් රුධිරය ප්‍රමාණයක් ගර්භාෂ බිත්ති කොටස් සමඟ ශරීරයෙන් පිටවන නිසා අපිරිසිදු තත්ත්වයක් දැනිය හැකියි. ඒ නිසා වඩාත්ම වැදගත් වන්නේ ආර්තව දිනවල ස්නානය කොට ඉතා පිරිසුදුවට සිටීමයි. සත්‍ය වශයෙන්ම දිනපතා ස්නානය කළ යුත්තේ ආර්තවය සිදුවන දිනවලදීයි. ආර්තව දිනවල ස්නානය කළ විට රුධිරය පිටවීම නවතින බවට මතයක් තිබුණත් වෛද්‍ය විද්‍යාත්මකව එහි සත්‍යයක් ඇත්තේ නෑ.
ආර්තව සමයේදී ආහාර ගැනීම පිළිබඳවත් විවිධ වැරැදි සහගත මත සමාජයේ පවතිනවා. ඒවා බොහොමයක් මිථ්‍යා මත. විශේෂයෙන්ම දැරියකගේ පළමු ආර්තවය සිදුවූ සමයේ (මල්වර වීමේදී) තෙල් සහිත ආහාර මස් මාංශ තෙලෙහි බදින ලද ආහාර ගැනීම සුදුසු නොවන බවට මතයක් තිබුණ ද එය වෛද්‍ය විද්‍යානුකූලව කිසිඳු පදනමක් නැති අදහසක්. දැරියකගේ නව යොවුන් විය යනු ශරීරයේ වර්ධනය හොඳින්ම සිදුවන කාලයයි. ඒ කාලය තුළදී ආර්තව දිනවල ඉහත සඳහන් කළ ආහාර ගත්තේ නැතිනම් එය එම දැරියගේ පෝෂණයට ශරීර වර්ධනයට තදින්ම බලපානවා. දැරියක මල්වර වී වසර 5ක් පමණ ගත වන තෙක් ඉතා පෝෂ්‍යදායී ශක්තිජනක මේදය සහිත ආහාර ලබාදීම ඉතා වැදගත්. ඒ අනාගතයේදී දරුවන් ලැබීමට ද නව යොවුන් වියේදී ලැබෙන පෝෂණය බෙහෙවින් ඉවහල් වන නිසයි. නව යොවුන් වියේදී ලැබෙන පෝෂණය දැරියකට වැදගත් වන්නේ පියයුරු, ශ්‍රෝණි ප්‍රදේශය හොඳින් වර්ධනයට මේ සමයේදී ලැබෙන ආහාරපාන ඉතා වැදගත් වන නිසයි. එබැවින් ආර්තවය නමැති ඉතාම ස්වභාවික සිදුවීම නිසා නව යොවුන් දැරියකට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාර ලබා නොදීම ඉතාම වැරැදි සහගත ක්‍රියාවක්. එය ඇයගේ මුළු ජීවිතයටම බලපෑම් ඇති කරන්නක්.
එමෙන්ම කාන්තාවකගේ ආර්තව සමයේදී සීතල ආහාර ගැනීම, උෂ්ණ ආහාර ගැනීම, අන්නාසි, පැපොල් වැනි ආහාර ගැනීම සුදුසු නොවන බවට ද මතයක් පවතිනවා. මෙයත් කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නොමැති මතයක්. මෙම ආහාර සහ ආර්තවය අතර කිසිඳු සබඳතාවයක් ඇත්තේ නෑ. එසේම ආර්තව සමයේදී බදින ලද බිත්තර, මස්, මාළු ආහාරයට ගැනීම නුසුදුසු බවට ද මතයක් පැවතුණත් එහි ද කිසිඳු සත්‍යතාවයක් ඇත්තේ නෑ. ඊට අමතරව වෛද්‍ය උපදෙස් ලැබී නොමැතිනම් තමන් ගන්නා වෙනත් ඖෂධ වර්ගවල කිසිඳු වෙනසක් ආර්තව සමයේදී කිරීමට අවශ්‍ය වන්නේ නෑ.
විවිධ තරගවලට විභාගවලට මුහුණදීම වැනි යම් යම් අවශ්‍යතා මත ආර්තව චක්‍රය වෛද්‍ය විද්‍යාත්මකව වෙනස් කළ හැකියි. ශරීරයට ලබා දෙන හෝමෝන ඖෂධ මඟින් එය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා සුදුසු ඉතාම ආරක්ෂාකාරී ඖෂධ අද තිබෙනවා. මේවා වෛද්‍ය නිර්දේශය මත ගත යුතුයි. මෙම ඖෂධ ගත් පසුව ආර්තවය සිදුවන දින කල් දමා ගත හැකි වන අතර ඖෂධ ගැනීම නැවැත්වූ විට නැවත ආර්තවය සිදු වෙනවා. එසේ වූවත් මෙම ඖෂධ ගැනීමෙන් පසුව ආර්තව චක්‍රය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට මාස කීපයක් ගත විය හැකියි. එය ඇතැම් කාන්තාවන්ට ඇතිවන ගැටලුවක්.
ආර්තවය නමැති ඉතාම ස්වභාවික ක්‍රියාවලිය කාන්තාවකගේ ශරීරය තුළ සිදුවන්නේ ශරීරයෙන් නිකුත් වන හෝමෝනවල බලපෑම නිසා. හෝමෝන නිකුත් වීමට සංඥාව ලැබෙන්නේ මොළයෙන්. අධික සතුට, අධික කනගාටුව වැනි හැඟීම් නිසා කාන්තාවකගේ ආර්තවය සිදුවන දිනයන් වෙනස් වන්නේත් රුධිරය පිටවන ප්‍රමාණයන් වෙනස් වන්නේත් ඒ නිසයි. ඒවා විශේෂ ගැටලු නෙමෙයි.