පවුල් ජීවිතය කියන්නේ ලංකාව වගේ සංස්කෘතික වටපිටාවක් ඇති රටක බොහොම බරපතල සාධකයක්. ඒ නිසාම කාන්තාව පිරිමියා කියලා භේදයකින් තොරව මේ පවුල (කුටුම්භය) ආරක්ෂා කරගන්න සෑහෙන්න මහන්සි වෙනවා. එතනදි බොහොමයක් රිදවීම්, වේදනාවන්, අවහිරතාවයන් ඉවසා දරාගෙන පවුල කියන සංකල්පය ආරක්ෂා කරනවා.
මෙහෙව තැන්වලදි විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ නිවස තුලදි, තමන්ගේ සැමියාගෙන් කායිකව මෙන්ම මානසිකවත් අතවරයට පත්වෙමින් ජීවත්වෙනවා කියන එක බරපතල ඛේදාවාචකයක්. ඒත් බිරින්දෑවරු වගේම පෙම්වතියන් තමන්ගේ සැමියාගෙන්, පෙම්වතාගෙන් සිදුවන අතරව සම්බන්ධයෙන් එක්කෝ නිහඬයි, නැත්නම් බියයි.
ලංකාවේ දණ්ඩ නීති සංග්රහය අනුව එක් පැත්තකින් කාන්තාවකගේ කැමැත්තකින් තොරව ලිංගිකව එක්වීමට බලපෑම් කිරීම, ලිංගිකව එක්වීම බරපතල වරදක්. එතනදි තමන්ගේ බිරිඳ වුවත් සැමියෙක්ට ඇයගේ කැමැත්තකින් තොරව, ඇය විරෝධය දක්වන අවස්ථාවක ලිංගිකව එක්වීම හෝ ඒ වෙනුවෙන් බලපෑම් කිරීම නීතිය ඉදිරියේ වරදක්.
එවැනි තැනකදි කාන්තා ඔබට එයට විරුද්ධවීමට හැකියාව තිබෙනවා. නීතිමය පැත්තෙන් විතරක් නෙවෙයි පවුල ඇතුලේ බිරිඳක් විදිහට, මවක් විදිහට ඔබට ඇති අයිතියක් ලෙස එවැනි අතවරයන්ට, බලපෑම්වලට එරෙහිවන්න ඔබට හැකියාව තිබෙනවා.
ඒත් ලංකාවේ කාන්තාවන් බොහෝ දෙනෙක් එවැනි අතවර එක්ක ජීවත්වෙනවා. එකක් තමයි පවුල රකින්න, අනිත් එක දරුවන් රකින්න, තවත් හේතුවක් තමයි සමාජයට ඇති බිය, නීතිය ඉදිරියට යන්න ඇති ලැජ්ජාව. ඒත් මේ අතවරයන් දිගින් දිගටම විඳින්නට වීමේ ප්රතිඵලයක් විදිහට එක්කෝ කාන්තාව මානසික ආබාධයන්ට ලක්වෙනවා, නැත්නම් පවුල් දෙදරා යනවා, ඒත් නැත්නම් දිවිනසාගැනීම් වලින් හෝ දරුණු රෝගාබාධවලට ලක්වෙනවා.
ප්රධාන වශයෙන්ම ලිංගිකත්වය නැත්නම් කායික බැඳීම කියන්නේ යුවලකගේ පවුල් ජීවිතයේ ඇති සුන්දරතම බැඳීමක්. සෑම කායික එක්වීමක්ම සුන්දර අත්දැකිමක්, දෙදෙනාම එය සිදුකිරීම කැමැත්තක් දැක්විය යුතුයි, දෙදෙනාටම එයට වුවමනාවක් තිබිය යුතුයි, දෙදෙනාම එයට සූදානම් විය යුතුයි වගේම අවසානයේ දෙදෙනාම එයින් තෘප්තිමත්විය යුතුයි. එසේ නැතිව සිදුවන කායික එක්වීම් බොහෝවිට බලහත්කාරකම්වලට සමානයි.
ඒ නිසා එවැනි බලහත්කාරකම්වල, අතවරයන්වල ප්රතිඵල ඉතා භයානයකි. සමහරවිට දරුණු අපරාධවලට පවා කාන්තාවන් පෙළඹෙන්නේ මේ විදිහට දිගින් දිගටම සිය සැමියාගෙන් සිදුවන අතවර ඉවසගන්න බැරිවීමෙන්.
ඔබට මතක ඇති හම්බන්තොට දිස්ත්රික්කයේ කාන්තාවක් වරක් සිය සැමියාට කැති පහර ගණනාවක් එල්ල කර කපා කොට මරා දමා තිබුණා. එයට හේතුව වුනේ ඇයට දිනපතා අකමැත්තෙන් ලිංගික අතවරකිරීමේ ප්රතිඵලයක් විදිහට. මාතලේ දිස්ත්රික්කයේ වරක් කාන්තාවක් සිය සැමියාගේ පුරුෂ ලිංගය කපා දැම්මා, එයට හේතුවුනෙත් දිගින් දිගට සිදුවන බරපතල ලිංගික හිංසනයන්වල මානසික සහ කායික පීඩාව නිසා.
මෙවැනි අපරාධ වලට පෙළඹෙන්නට පෙරාතුව යුවල මට්ටමින් ඒවා විසඳා ගන්න බැරිනම් හොඳම දේ නිතිය ඉදිරියට යන එකයි. මොකද නැත්නම් ප්රතිඵලය ඉතා භයානය විය හැකි නිසයි. එ් නිසා ලිංගික එක්වීම් ඉතා මානුෂීයව සහ එකඟතාවයකින් සිදුවනවා විනා තමන්ගේ බිරිඳ තමන්ගේ දේපලක්ය කියලා හිතලා සැමියන් කරන දේවල් වලින් වන්දි ගෙවන්න වෙන්නේ සැමියාට බිරිඳට විතරක් නෙවෙයි දරුවන්ටත් කියන එක අමතක කරන්න එපා.