Life
බෝඩිම්වල ඉඳන් රැකියාවට යන ඔබට කොරෝනා වලින් ආරක්ෂා වෙන්නට උපදෙස්!
දැන් දැන් ක්‍රමයෙන් රටේ වැඩ කටයුතු යථා තත්ත්වයට පත් වේගෙන යනවා. රැකියා ස්ථාන, ව්‍යාපාර එකින් එක විවෘත වෙනවා. තමන්ගේ ගම් දනවු වලට ගිහින් පහුගිය මාසෙ දෙකේ පරිස්සම් වෙලා හිටපු උදවිය සමහරකටත් ආයෙමත් තමන් රැකියා කරන ප්‍රදේශ කරා ඇවිදින් නවාතැන් අරගෙන රැකියා වැඩ කටයුතු අරඹන්න තියනවා. නමුත් තමන්ගේ ගෙදර දන්න අඳුරන අයත් එක්ක හිටියා වගේ නෙමෙයි, තරමක් පිරිස නැවතිලා වැඩට යන එන බෝඩිම්, නවාතැන්පළවල්වල ඉන්දැද්දි දැන් ඉතාමත්ම පරිස්සම් වෙන්න වෙනවා. මොකද තවමත් කොරෝනා අවදානම යම් පමණකට හරි අපි අතර තියනවා. අපේ සුළු අතපසු කිරීමකින් වුණත් දේවල් ආපහු නරක පැත්තට හැරෙන්න ඉඩ තියන නිසා, මේ වෙලාවේ අපේ අවධානය සහ පරිස්සම උපරිමයෙන් තියෙන්නට ඕනේ.
අන්න ඒ නිසා අපි හිතුවා බෝඩිම්වල ඉඳන් රැකියාවට යන උදවියට මේ කොරෝනා අවදානම් කාලෙදි පරිස්සමට වැඩ කටයුතු කරගන්න හැටි ගැන උපදෙස් ටිකක් දෙන්න.
. මෙතෙක් පරිස්සම් වුණු පුරුදු ඒ විදිහටම
දැන් නම් සමහරුන්ගේ පරිස්සම එන්න එන්නම ගිලිහෙනවා. ඒත් අපි කොරෝනාවට බයෙන් මුල් දවස්වල පරිස්සමට අනුගමනය කරපු පුරුදු අනිවාර්යයෙන් දිගින් දිගටම පවත්වාගෙන යන්න ඕන. විශේෂයෙන්ම කිහිප දෙනෙක් නවාතැන් අරගෙන ඉන්න අඩු ඉඩක් තියන බෝඩිම්, ඇනෙක්ස් වගේ නවාතැන්පළවල්වලදී මේ පරිස්සම ඉතාම වැදගත්. නිතර අවම වශයෙන් තත්ත්පර 20ක කාලයක්වත් වැය කරලා හොඳින් අත් සේදීම, කිවිසුම් යවද්දී නාසය තමන්ගේ වැළමිටින් ආවරණය කර ගැනීම, අත්‍යාවශ්‍ය කරුණකට හැරුණහම සෙනග ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකීම, තමන් නිතර භාවිතා කරන දේවල්වල පිරිසිදුකම රැකීම වගේ මෙතෙක් කල් පවත්වාගෙන ආපු ආරක්ෂාකාරී පියවර බෝඩිම් ජීවිතයේදිත් ඒ විදිහට පවත්වාගෙන යන්න ඕනෙ. තමන් විතරක් නෙමෙයි, තමන් එක්ක එකට නවාතැන් අරගෙන ඉන්න උදවියටත් මේ දේවල් කරන්න කියලා පොළඹවන්න ඕන.
2. දුරස්ථභාවය පවත්වාගැනීම
එක වහලක් යට ඉන්න මිනිස්සුන්ව දැක දැක මගහැරලා ඉන්න එක අපේ පුරුද්ද නෙමෙයි, හැබැයි මේ අවස්ථාවේදී සමාජ දුරස්ථභාවය වැදගත්. එක බෝඩිම් කාමරයක් බෙදා හදාගෙන ඉන්න අයටත් ඒක විශේෂයෙන්ම අදාළයි. බෝඩිම් කාමරයක හිටියත් දෙන්නෙක් අතර දුරස්ථභාවය අවම වශයෙන් මීටර දෙකක්වත් තියා ගන්න උත්සාහ කරන එක ඉතාම යෝග්‍යයි. නිදන ඇඳන් අතර, ටීවී බලන්න ඉඳගන්න පුටු අතර එහෙමත් මේ දුරස්ථභාවය හදලා තියන්න පුළුවන්නම් ඉතාම හොඳයි. බෝඩිම් ජීවිතේදි කට්ටිය එක්ක එකට කරන සෙට්වීම්, විෂබීජ හුවමාරු වෙන්න පුළුවන් කාඩ්, කැරම් වගේ සමීප ක්රීඩාවලිනුත් මේ කාලය ඇතුළෙදි වැළකෙන එක තමයි වඩාත් සුදුසු. ඒ හැරුණහම සාමාන්‍ය කතාබහෙන්, විහිළු තහළුවෙන් තමන්ගේ සඟයො එක්ක ගත කරන එකේ කිසිම අවුලක් නැහැ.
3. එකිනෙකා අතර එකඟතාවය සහ විශ්වාසය
මේකත් මේ දවස්වල ඉතාම වැදගත්. මොකද එකට නවාතැන් අරගෙන ඉන්න පිරිසක් අතර එක නරක පුරුදු තියෙන, අපරිස්සම්කාරී පුද්ගලයෙක් හිටියත් ඇති තත්ත්වය නරක් වෙන්න. ඒ නිසා බෝඩිමක ඉන්න පුද්ගලයන් අතර හොඳ විශ්වාසයක් එකඟතාවයක් පවත්වාගෙන යන එක ඉතාම වැදගත්. ඒ කිවුවේ පිරිසිදුකම හොඳින් රැකගැනීම, අනවශ්‍ය දේවල්වලට එළි පහළියට හෝ සෙනග ගැවසෙන තැන් වලට යෑමෙන් වැළකීම, තමන්ට යම් ශාරීරික අපහසුතාවයක් තියෙනවානම් ඒ ගැන නොසඟවා අනිත් අයට දැනුම් දීම, අනිත් අයගේ බඩු භාණ්ඩ පරිහරණය නොකිරීම, පිටතින් පුද්ගලයන් බෝඩිම තුළට රැගෙන ඒමෙන් වැළකීම වගේ දේවල් සම්බන්ධව එකිනෙකා අතර එකඟතාවයක් හදාගෙන හොඳ විශ්වාසයක් සහිතව ඒවා පවත්වාගෙන යන්න අවශ්‍යයි.
4. දේවල් බෙදා හදා ගැනීමෙන් වැළකීම
එකම සබන් කැටේ ගාගෙන, එකම තුවායෙන් පිහිදාගෙන, එකම බත් එක බෙදාගෙන කාපු අතීතයට තාවකාලිකව හරි සමුදෙන්න වෙනවා. අනිවාර්යයෙන් මේ දවස්වලදී තමන්ගේ සනීපාරක්ෂක උපකරණ ඇතුළුව, එදිනෙදා කන්න බොන්න පාවිච්චි කරන පිඟාන වතුර බෝතලය පවා කා එක්කවත් බෙදාගන්නේ නැතිව තනිවම පාවිච්චි කරන්න හුරු වෙන්න අවශ්‍යයි. උයන පිහන දේවල්, එදිනෙදා පාවිච්චි කරන උපකරණ වුණත් එක ගොඩේ තියන්නේ නැතිව වෙන් වශයෙන් තියාගන්න එක තමයි නුවණට හුරු. කිහිප දෙනෙක් විසින් පාවිච්චි කරන ඉලෙක්ට්‍රොනික් උපකරණ වගේ ඒවා තමන්ගේ පාවිච්චියෙන් පස්සේ හෝ නිතර නිතරම විෂබීජ නැසෙන සේ පිරිසිදු කිරීම කළ යුතුයි.
5. නිතර ස්පර්ෂ වෙන මතුපිටවල් පිරිසිදු කිරීම
බෝඩිමක, ඇනෙක්සියක ඇතුළු වැඩි පිරිසක් ගැවසෙන ඕනෑම නවාතැනකදී මේ දේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. කවුරු කවුරුත් බෙදා හදාගන්නා ඉඩකඩක කිහිප දෙනෙක් විසින් නිතර ස්පර්ෂ කරන මතුපිටවල් තියනවා. උදාහරණ හැටියට වැසිකිළි, ටැප් සහ සින්ක්, දොරවල්වලට එන හැඩ්ල්ස්, යතුරු, රිමෝට්, ස්විච්, ෆ්‍රිජ් ඇතුළු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අපිට හඳුන්වන්න පුළුවන්. මේ විදිහේ දේවල් අඩුම තරමේ දවසකට දෙවරක්වත් හොඳින් විෂබීජ නාශකයක් භාවිතාවෙන් පිරිසිදු කරන්න පුළුවන්නම් ඉතාම අගෙයි.
6. ඉවුම් පිහුම්
ගොඩක් බෝඩිම් නවාතැන්වලට තියෙන්නේ කාටත් බෙදා හදාගෙන පාවිච්චි කරන්න වෙන මුළුතැන්ගෙයක්. ගොඩක් උදවිය එකට එකතුවෙලත් ඉවුම් පිහුම් කටයුතු සිදු කරනවා. හැබැයි පුළුවන්නම් මේ කාලේදී තම තමන්ගේ ආහාර තමන් විසින්ම පිළියෙල කරගන්න වග බලාගන්න එක තමයි හොඳ. කීප දෙනෙක් එකවර මුළුතැන්ගේ භාවිතා කරලා උයන පිහන කටයුතු කරන එකත් එච්චර සෞඛ්‍යදායක නැහැ. ඒ නිසා එකිනෙකාට උයා පිහාගන්න වෙන වෙනම කාලසටහනක් හදාගන්න බලන්න. උයල පිහල ඉවර වුණාට පස්සේ තමන් භාවිතා කරපු භාණ්ඩ සහ පෘෂ්ඨයන් හොඳින් පිරිසිදු කරන එකත් ඉතාම වැදගත්.
7. පිටතට යාම සහ පිටතින් ඒම අවම කරගැනීම
බෝඩිම් ජීවිතේ ආයෙ ඇරඹුවාම සමහරුන්ට එදිනෙදා රාජකාරීවලට එළිපහළියට යන්න අවශ්‍ය වෙනවා. තවත් සමහරුන්ට බෝඩිම් වල රැඳිලා සේවය කරන්න සිද්ධ වේවි. මේ මොන ක්‍රමයට තමන් දවස ගෙවුවත් පුළුවන් තරම් බෝඩිමේ හෝ තමන්ගේ කාමරයේම රැඳෙන්න උත්සාහ කරන්න. මිතුරු හමු වලට කොයි තරම් හිත කැමති වුණත්, පුළුවන් තරම් ඒවායෙන් වැළකෙන්න. නිතර නිතර බඩු ගන්න එළියට යන්නේ නැතිව එකපාර බඩු ලැයිස්තුවක් හදාගෙන ඩිලිවරි ක්‍රමයක් හරහා ගෙන්න ගන්න බලන්න. වෙනදාට බෝඩිමට සෙට් වෙන්න එන යාළු මිත්රයන්ව හිත නොරිදෙන ආකාරයකට මග හරින්න උත්සාහ කරන්න. එකිනෙකා රැකියාවට හෝ එළිපහළියට යන්නට අඳින පළඳින ලද දේවල් කාමර තුළට නොගෙන වෙන් වෙන්ව පිටතදීම සෝදා, වේලා පිරිසිදුකර ගැනීමට මාර්ගයක් සකසාගන්න.
තමන් විතරක් නෙමෙයි, අනිත් බෝඩිම් සඟයින්වත් මේ විදිහේ ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න දැනුවත් කරන්න.
මේ සියල්ලම කරන ගමන්ම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වගේම තමන් සමග එකම ගොඩනැගිල්ලේ ජීවත් වෙන අයගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් විමසිල්ලෙන් ඉන්න. සෞඛ්‍යදායී ආහාර ගන්න. ඒ වගේම තමන්ට හෝ තමන්ගේ බෝඩිම් සඟයෙක්ට සැකසහිත රෝග ලක්ෂණ පෙන්වනවානම්, තවත් දුරස්ථ වී, අදාළ සෞඛ්‍ය අංශ දැනුවත් කරමින් නිසි පියවර ගන්න එකත් ඉතාම වැදගත්.
5. නිතර ස්පර්ෂ වෙන මතුපිටවල් පිරිසිදු කිරීම