අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ලෙස අර්ථකථනය කරනවා. එයට හේතුව දරුවාගේ අනාගතය මවන ආදරයේ උල්පත අම්මා නිසයි. අලුත් දරුවෙක් ගෙදරට එක්කගෙන එන අම්ම සහ බබා මුළු ගෙදරම ජිවයෙන් පුරවනවා. සමහර ගෙවල් වල දරු පැටියෙක් නැතිව අවුරුදු ගානක් බලන් ඉන්න අවස්ථා ඕනෑතරම් තියෙනවා. ඒ වගේ අවස්ථාවල දරු පැටියෙක් ඒ ගෙදරට ලැබෙනවා කියන්නේ මොන තරම් අපුරු කාරනාවක්ද. ඉතින් ඒ බලාපොරොත්තු ඉෂ්ට වුනාට පසුවත් ඉතාම සැලකිල්ලෙන් අවධානය යොමු කල යුතු කරුණු රාශියක්ම තිබෙනවා. ඒ අතරින් කරුණු කිහිපයකට අවධානය යොමු කරමු.
දරුවා වගේම අම්මාද එක සේ වැදගත්
දරුවෙක් ලැබෙනවා කියන්නේ මුළු ගෙදරටම අලුත් බලාපොරොත්තුවක් වගේම අළුත් අත්දැකීමක්. ඉතින් දරුවා මේ ලෝකයට ඇවිත් ප්‍රථම වතාවට ගෙදරට එන එකත් නිවසේ සිටින සියළු දෙනාටම බොහොම සතුටුදායක අවස්ථාවක්.ගෙදර හැම කෙනෙක්ම පුංචි පැටියා පිළිගන්න සැදී පැහැදී හිටියට දරුවාට ලබාදෙන පිළිගැනීමට සමානම පිළිගැනීමක් අලුත් අම්මටත් දෙන්න ඕනෙ කියන කාරණාව අමතක කරනවා. ඉස්පිරිතාලේ ඉදන් ගෙදරට එන අය අතරේ අළුත් කියන වචනයට අයිති බබා විතරක්ම නෙමෙයි. මෙච්චර කාලයකට නොදරපු, අලුත්ම චරිතයක් අරගෙන තමයි අලුත් අම්මත් මේ ගෙදරට එන්නේ. බබාට හැම දේම අලුත් එනිසා මොන විදිහේ හැඟීමක් දැනීමක් වුනත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ හැඩිමෙන් , ඉතින් ගෙදර ඉන්න හැමෝම එකතුවෙලා දරුවා හඩන හැමඅවස්ථාවකම එයට උපරිම අවධානය ලබාදෙනවා. මෙය ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක්.
හැබැයි රහසේම අඩන තව කෙනෙක් මේ ගෙදර ඉන්නවා. ඒ තමයි අලුත් අම්ම. බබාට වගේම අම්මටත් හැමදේම අලුත්. කොටින්ම කියනවනම් මෙච්චර කාලයකට දැන අදුරගෙන හිටපු තමන්ගේම ශරීරයත් අම්මට අලුත් එකක් වෙනවා. අම්මටම හිතාගන්න බැරි තරමට අවධානය තමන්ට ඕනේ කියල ඇයට හිතෙන්න ගන්නවා. තමන්ගේම ලෙයින් උපන් දරුවා සහ ගෙදර අනෙක් අයත් ලගම හිටියත් මහා තනිකමක් පාළුවක් අම්මට දැනෙන්න ගන්නවා. ඒ වගේම වෙනදට වඩා වැඩි අවශ්‍යතාවයන් ප්‍රමානයක් ඇයට ඇති වෙනවා. බොහොමයක් අම්මාවරු මේ කාරණා හංගනවා. දරාගැනීමේ ශක්තියෙන් අඩු අම්මාවරුන් දරු ප්‍රසුතියෙන් පසුව ඇති වන “පසු ප්‍රසව ආතතියට” ලක් වෙනවා. අනික් අම්මාවරු කාටවත් නොකියා ඒ පීඩනය දරාගෙන බොහෝ කාලයක් හිත ඇතුලෙන් විදවන තත්වෙකට පත් වෙනවා. වැදගත්ම කාරණාව මේ හැම දෙයක්ම ඉතාම සාමාන්‍ය බව අම්මා ගෙදර අනෙක් අයත් දැනුවත් වී සිටීම ඉතාම වැදගත්.
බබාට වගේම අම්මටත් අවධානය ලැබෙන්න ඕනේ. ආදරය සෙනෙහස රැකවරණය වගේම වෙනදට වඩා විවේකයත් ඇයට ලබදෙන්නට ගෙදර ඉන්න අනෙක් අය වගබලා ගන්නට ඕනේ. බබා තරමටම අම්මාද වැදගත් බව හොදින් මතක තබා ගත යුතුයි.
බබා බලන්නට එන අය
අලුතින් ගෙදරටකට දරු පැටියෙක් ගෙනාවම ඒ බබා බලන්නට පිරිස වැල නොකැඩි එන එක අපේ රටේ සාමන්‍ය දෙයක්. ඇත්තෙන්ම එය සුන්දර සිරිතක්. හැබයි කාලයත් එක්ක වෙනස් වෙලා තියෙන ගොඩක් දේවල් අතරට මිනිසාගේ මනුස්සකමත් එකතු වෙලා නිසා බබෙක් බලන්නට ගෙදරට එන අයගේ කියුම් කෙරුම් අලුත් අම්මටත් බබාටත් නරක විදිහට බලපාන්නට පුළුවන් අවස්ථා එමටයි.
බොහෝ දෙනෙක් ආ විගසම දරුවා සිටින කාමරයට කඩාවදින්නේ හරි ආකාරව පිරිසිදු වන්නේවත් නැතුවයි. ඒ වගේම ඒ කාමරයේ අලුත් බබෙක් එක්ක කිරි දෙන අම්මා කෙනෙකුත් ඉන්නා බව අමතක කරනවා. ඒ වගේම බාබා බලන්නට ඇවිත් ඒ කාමරයේ ඇති ඇදන් පුටු වලටම වෙලා වාඩි වෙලා බිස්කට් එකක් කන ගමන් තේ එහෙම බීලා ආයෙත් සැරයක් බබාව අතගාලම යන්නත් අපේ උදවිය පෙලබෙනවා. අලුතින් ඉපදුනු බබා වගේම අලුත් අම්මා කියල කියන්නෙත් විසබීජ වලට නිරාවරණය නොවිය යුතු දෙදෙනෙක්. බබා බලන්නට යන්නට කලින් හොදින් අත් සබන් දා සෝදාගත යුත්තේ මේ නිසයි. අම්මා සහ බබා ඉන්න කාමරයට ඇතුල් වීම ඇත්තෙන්ම අනුමත කල නොහැකියි. කාමරයට ඇතුල් වෙන්නට කලින් හොදින් සොයා බලා යා යුත්තේ අලුත් අම්මාට සුදානම් වීමට කාලයක් ලබාදීමෙන් පසුවයි. අම්මා සහ බබා ඉන්න කාමරයේ ඇදන් පුටු මත වාඩි වීමෙන් ඇදුම් වල තැවරී තිබෙන විසබීජ පැතිරීමක් සිදු වෙන්නට පුළුවන්. ඒ කාමරයට කෑම බිම ගෙනියන එක විශාල වරදක් වන්නේ කූබී වැනි කෘමින් බෝවීමට ඇති ඉඩ කඩ නිසායි.
මේ නිසා බබා බලන්නට යන එක බොහොම හොද කරුණක් වුනත්. බබාව බලන්නට එන්නට සුදුසු කලයක්දැයි නිවැසියන්ගෙන් හොදින් අසා දැනගෙන යා යුතුයි. නිවසේ නීති රීති අනුගමනය කරන්න දෙවරක් නොසිතා ක්‍රියා කල යුතු අතර, නිවැසියන් ඉදිරිපත් කරන සිමාවන් පුංචි දරුවා වෙනුවෙන් බව අවබෝධ කරගෙන හිත් නොහොද කම් ඇති කරනොගැනිමටත් වග බලා ගත යුතුයි.
ගෙදර අයගේ සහයෝගය
අලුත් අම්මා කෙනෙකුට ගෙදර අනෙක් අයගේ සහයෝගය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම එය ගෙදර අයගේ යුතුකමක්. දරුවා නිසා මුළු නිවසම සතුටින් පිරිලා තියෙන්නේ ඒ සතුට අම්මා විසින් නිවැසියන්ට ලබා දුන් නිසයි. හැබයි බබා වගේම අම්මත් පසු කරමින් සිටින්නේ අළුත් මෙන්ම අපහසු කාල පරිච්ජේදයක්. අම්මට හැමදේම අළුත් වගේම , එකපාරටම ලොකු වගකීමක් ඇයට දරන්නටත් වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හැමදේම කරන්නට වෙන්නෙත් තුවාල වුනු වේදනා දෙන ශරීරයක් එක්කයි. ඒ නිසා අම්මට වෙනදට වඩා අවධානයක් අවශ්‍ය වෙනවා. ඇයට පිරිසිදු වන්නට වගේම වෙනදට වඩා විවේක ගන්නත් ඕනේ වෙනවා. ඒ වගේ වෙලාවකට දරුවා බලාගන්නට ගෙදර අයෙක් ඉදිරිපත් වෙන්නට ඕනේ. තවත් වැදගත් කාරණයක් තමයි ගෙදර අය බබා බලාගන්න විතරක් ඉදිරිපත් නොවිය යුතුයි. සමහර විට අම්මට ඕනේ කරන්නේ බබා එක්කම ඉන්න නම් ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න දරුවාට සහ අම්මට ඉඩ ලබාදීමට ගෙදර අය අනෙක් වැඩකටයුතු වලට අම්මට සහය විය යුතුයි. මෙය සම්පුරන්යෙන්ම අවබෝධය මත රදාපවතින කාරණාවක්. ඒ වගේම නිවැසියන්ගේ ඉවසීමත් මේ අවස්ථාවේ ඉතාම වැදගත්.
අළුත් වගකීම් ගැන දැනගන්නේ කොහොමද?
අලුතින්ම දෙයක් ඉගෙන ගන්න එක අපහසු කරුණක්.අළුත් අත්දැකීම් සමග එකතු වුන වගකීම් පිළිබඳව අම්ම කෙන්ක්ගේ හිතට චකිතයක් දැනෙන එල්ක සම්න්යයි. ඉතින් අම්මා කෙනක් මේ අලුත්ම දේවල් ගැන දැනගන්නේ කොහොමද? ක්‍රම කීපයකින්ම මේ ගැන දැනගන්නට ඇයට පුළුවන්.
එක් ආකාරයක් ලෙස පොත් පත් සඟරා මෙන්ම අන්තර්ජාලයෙන් සොයාගත හැකි හරවත් ලිපි කියවීම දක්වන්න පුළුවන්. මෙය ඉතාම් හොද ක්‍රමයක් වගේම අම්මගේ ශරීරය විවෙයෙන් තබන ගමන් මනසට පෝෂණයක් ලබාදෙන ක්‍රමයක් විදිහටත් හදුන්වන්න පුළුවන්. බබා ලගට වෙලා රැදෙන වෙලාවේ අම්මටත් බබාටත් දෙදෙනාටම ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට මෙය කල හැක්කේ, බබාට ඇහෙන තරමේ හඩකින් කියවීමෙනුයි. මෙමගින් අම්මට දැනීමත් බබාට අම්මගේ කටහඩන් ආරක්ෂාකාරී හැගීමක් ලැබීමත් යන දෙකම සිදු වෙනවා. ඩොක්ට කෙනෙකුගෙන් අසා දැනගැනීම වගේම මාතෘ සහ ළමා සායන වලින්ද මේ දැනුම ලබාගත හැකියි.
තවත් ආකාරයක් තමයි අත්දැකීම් තිබෙන කෙනෙක්ගෙන් අසා දැනගැනීම. නමුත් මේ ක්රමයේ නම් වාසි අවාසි දෙකම තිබෙනවා. කියල දෙන කෙනා බොහොම කරුණාවෙන් වචන තෝරාබේරාගෙන අම්මට කරුණු කියා දිය යුත්තේ ඇගේ සිත රිදෙන්නේ නැති ආකාරයටයි. සමහර අය යමක් කියන්නට පටන්ගන්නෙම වැරදි විදිහට. “අපේ කලේ නම් දැන් කලේ වගේ නෙමෙයි මෙන්න මෙහමයි ළමයි හැදුවේ”, “ඔයා ඕක කරන්නේ වැරදියට අයියෝ ඔහොම නෙමෙයි ඕකවත් දන්නේ නැද්ද?”, “මේ වගේ දේවල් අම්ම කෙනෙක් වෙන්න කලින් දැනගෙන ඉන්න ඕනේ”, මෙන්න මේ වගේ කතා කිසිම අලුත් අම්මෙක්ට කියන්න හොද නැහැ. දෙයක් කියලා දෙන්න ඕනේ බොහොම පරිස්සමටයි. ඇගේ හිත නොරිදෙන ආකාරයටයි. ඇය මේ දේවල් වලට අලුත් බව වගේම නොදැන සිටීම සාමාන්‍ය දෙයක් බව අමතක කල යුතු නැහැ.
අම්මගේ සතුට මොනතරම් වැදගත්ද?
දරුවෙක් අම්මගේ බඩේ ඉන්න කාලය පුරාවට අපි සලකන්නේ ඒ දෙදෙනා එක්කෙනෙක් විදිහටයි. බබෙක් ලැබෙන්නට ඉන්න අම්ම කෙනෙකුට සලකන්නට උනන්දු වෙන තරමටම අලුත් අම්ම කෙනෙක්ටත් සැලකීම ඉතාම වැදගත් වන්නේ දරුවා ලැබුනට පසුත් ටික කාලයක් යනකන්ම අම්ම සහ බබා ඇත්තෙන්ම දෙදෙනෙක් නොව එක්කෙනක් ලෙස ක්‍රියා කරන නිසයි. අම්මා මොන තරම් සතුටින් ඉන්නවද කියන එක ඍජුවම දරුවාට බලපානවා. මේ නිසා අම්මගේ මානසික නිදහස පවත්වාගැනීම අම්මගේ වගේම නිවසියන්ගේත් වගකීමක්. ඇයට වෙනදට වඩා සංවේදී ව සලකන්න ඕනේ. ඇයගේ අවශ්‍යතාවයන්ට හොදින් ඇහුන්කන්දෙන්නටත් සමහර විට ඇයටද අමතක වී තිබෙන දේවල් සංයමයෙන් යුක්තව සොයා බලා ඉටු කර දෙන්නටත් නිවැසියන් බැදී සිටිය යුතුයි.
මාස 10කට ආසන්න කාලයක් අම්මා සමග ශාරීරිකව බැදී සිටි දරුවා මවත් සමග ඇති මානසික බැදීම මියෙන තුරාවටම පවතිනවා. එයිනුත් ඉපදී මුල් කාලය කියන්නේ අම්මාගේ මානසික පැවත්මටම පමණක් සම්බන්ධව සිටින ක්‍රියාවලියක් නිසා අම්මාගේ හැගීම් දැනීම් වලට දරුවා සංවේදී වෙනවා. මේ නිසා තමයි අම්මව සතුටින් තැබීම වැදගත් වන්නේ. අම්මා සතුටින්නම් එය දරුවට දැනෙනවා වගේම අම්ම දුකින් නම් තරහින් කලබලෙන් නම් එයද දරුවට දැනෙනවා. මේ එක එක හැගීම වෙන් වෙන් කර අදුරගන්නට බැරිවුනත් දරුවෙකුට මෙය ආකාර දෙකකට දැනෙනවා. එය සුබවාදී හෝ අසුබවාදී ලෙස දැනෙන්නට පුළුවන්. තවත් සරලව කිව්වොත් හොද හැගීමක්, හෝ නරක හැගීමක් ලෙස. මේ නිසා අලුත් අම්ම සහ බබා දෙදෙනාම ඉතාම වැදගත් වගේම දෙදෙනාගේම සතුටද ඉතාම වැදගත් වනවා.
ගෙනියන තෑගි බෝග
අළුත ඉපදුන බබා බලන්න යනකොට තෑගි බෝග අරන් යන්න අපි කවදාවත් අමතක කරන්නේ නැහැ නේද? කඩේට ගිහින් තෑගී තොරනකොටත් මොනවා ගන්නද කියල හිතාගන්න බැරුව කොහොම කොහොම හරි අතින් කටින් උස්සගෙන බබා බලන්න යන්න අපි අමතක කරන්නේ නැහැ. ඒ වගේම කොච්චර ගෙනිච්චත් අපිට මදි කියලයි හිතෙන්නෙත්. මේ සිරිත ඉතාම හොද සිරිතක්. නමුත් අපි කතා කරමුද තෑගී බෝග ගැන අපි නොහිතන කාරණා කීපයක් ගැන.
අලුත ඉපදුන බබා බලන්නට යන්නේ ඔබ පමණක් නෙමෙයි තව බොහෝ දෙනෙක් එනවා ඉතින් එකම දේ දෙවරක් නොලැබීමට, හැකි නම් ගෙදර අයගෙන් අසා තෑග්ග ගෙනියන්න බලන්න. එය නොහොබිනා ක්‍රියාවක් නෙමෙයි එය ත්‍යාගයට වටිනාකමක් එක් කිරීමක් පමණයි. බබාට වගේම අම්මටත් තෑග්ගක් ගෙනියන්න පුලුවන්නම් එහි ඇති වටිනාකම මිල කල නොහැකියි. මහා ගානකින් යුතු එකක් වෙන්නටම ඕනේ නැහැ. නමුත් එය ඇයට වටිනාකමක් එක් කිරීමක් වේවි. තෑග්ගක් ගන්නාවිට ගන්නා ස්ථානය ඒවායේ පිරිසිදු කම ගැන වැඩි අවදානයක් යොමු කරන්න. Teddy bears වැනි දේ ගෙනියනවානම් ඉන් දරුවාට අතුරු අබාධ ඇති විය හැකි ආකාරයේ එකක්දැයි සොයා බලන්න. පංචායුද වැනි තෑගී බෝග ඔබ ගෙන ගිය පලියට දරුවට එවෙලේ එය පලන්නට උතසහ නොගන්න ඒ වගේම එය පැලඳුවාදැයි විටින් විට ඇසීමෙන් වලකින්න. එය දරුවාගේ දෙමාපියන්ගේ තීරණයක්.