iranama
වාස්තු විද්‍යාව වැරදුනාම ගේ කඩන්නම ඕනෑද ?
වාස්තු විද්‍යාව පිළිබඳ නිවැරැදි වැටහීමක් නොමැති නිසාත් වැරැදි උපදෙස් ලැබීම නිසාත්, සමහර නිවාස හිමියෝ මහත් කරදරයට පත් වෙති.
වාස්තු විද්‍යා දෝෂ පවතී නම්, එම නිවසේ සමහර කොටස් බරපතළ ලෙස කඩා දැමීම අනුවණ ක්‍රියාවකි. දෝෂ ඉවත් කර ගැනීම සඳහා උපදෙස් දීමේදීත් උපදෙස් ලබා ගැනීමේදීත් ඉතා කල්පනාකාරී විය යුතුය.
නිවසක කොන් වලට කෙලින් තිබීම මගින් ළිඳක් දෝෂ සහිත නම්, එය ගෘහ මූලිකයාට මාරක අපල නිසා, ළිඳ වසා දමන්න යෑයි උපදෙස් නොදිය යුතුය. නිවසේ මුල්ලේ සිට අත්තිවාරම අඩි කීපයක් දික්කර, බැම්මක් බැඳීමෙන් එම දෝෂය මග හරවා ගත හැකිය.
ළිඳක දෝෂ පදිංචි නිවසට යොමු වන අවස්ථාවලදී ළිඳ සහ නිවස අතර, අඩි හයක් පමණ උසට තාප්පයක් බැඳීමෙන් දෝෂ ඉවත් කළ හැකිවේ. ළිඳ සහ නිවස අතර, දුර ප්‍රමාණය නිවසේ දිග ප්‍රමාණයට වැඩිනම්, දෝෂ බලපාන්නේ නැති බව වටහා ගත යුතුය.
දෙමහල් නිවාසවල පිය ගැට පෙළ නිර්මාණය කිරීමේදී සැලකිලිමත් විය යුතුය. එය එක දිගටම නැග යා හැකි පරිදි හෝ දකුණට හැරෙන සේ හෝ සකස් කළ යුතුය.
වැරැදීමකින් හෝ නොදැනුවත්කම නිසා හෝ එය වමට හැරෙන සේ සකස් කර ඇත්නම්, පිය ගැට පෙළ කඩා නැවත සකස් කිරීමට උපදෙස් දුනහොත් ගෙහිමියා මහත් අපහසුතාවකට පත්වේ. පියගැට පෙළ කඩා නැවත සකස් කිරීම අධික වියදමක් දරා මහත් අපහසුතාවකින් කළ යුතු කාර්යයකි.
එම දෝෂය දුරුවීමට කළ හැකි එකම කාර්යය නම් පඩිපෙළ නැග හැරෙන ස්ථානයේ පිත්තල මල් බඳුනක් තැබීමයි.
ප්‍රධාන දොරටුවේ සිට නිවස ඇතුළත බලන විට, නිවසේ අභ්‍යන්තරය හරහා පිටුපස දොරටුවෙන් හෝ ජනේලයකින් හෝ පිටත පෙනේ නම්, එය දෝෂයකි. එවැනි නිවාසවල ධනය රැදෙන්නේ නැත. ලැබෙන සියලුම මුදල් වියදම් වී යයි.
උළුවහු ජනේල වෙනස් කිරීමෙන් එම දෝෂය ඉවත් කර ගැනීම අපහසු වීමට පුළුවන. එවැනි අවස්ථාවලදී සාලයේ කෙළවර බැම්මක් බැඳීමෙන් දෝෂ වළක්වා ගත හැකිය. මේ ක්‍රම දෙකෙන් වඩා පහසු හා ලාභදායි ක්‍රමය කුමක්දැයි සිතා බැලිය යුතුය.
නිවසක මුළුතැන්ගෙය ස්ථානගත කළ යුත්තේ ගිනිකොණ දිශාවේය. ගිනිකොණ සුදුසු ගින්දර සඳහාය. ප්‍රධාන දොරටුව තැබීමට හෝ ජලය සඳහා හෝ එම දිශාව සුදුසු නැත.
එහෙත් කුඩා ඉඩම් කැබලිවල මාර්ගය පිහිටා ඇති දිශාව අනුව මුළුතැන්ගෙය ගිනිකොණ දිශාවේ තැනීම අපහසු විය හැකිය. සමහර විට සාදා වැඩ අවසන් කළ නිවසක මුළු තැන්ගෙය වෙනස් කිරීම ඉතා අපහසු විය හැකිය.
එවිට, කුස්සියේ හරිමැද මාලිමා යන්ත්‍රය තබා ගිනිකොණ දිශාව සොයා එම පැත්තේ විදුලි උදුන හෝ ගෑස් කුකරය හෝ දර ලිප හෝ තැබීමෙන් දෝෂ මග හරවා ගත හැකිය.
නිවසක ලී උළුවහු ඔත්තේ ගණනක්ද ලී ජනේල ඉරට්ටේ ගණනක්ද විය යුතු බව වාස්තු විද්‍යාවේ සඳහන් වේ. සැලසුම් කළ නිවසක මෙය වැරදී ඇත්නම්, නාන කාමරයට ප්ලාස්ටික් උළුවහු දොර තැබීමෙන්ද නාන කාමරයට වැඩිපුර පෑන් ලයිට් එකක් දැමීමෙන්ද ඉතා පහසුවෙන් මෙම වරද නිවැරැදි කළ හැකිය.
සාදා නිම කළ නිවසක වාස්තු දෝෂ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සමහර විට ඉතා අපහසු විය හැකිය. එවැනි අවස්ථාවලදී නිවසට සුදුසු ශුභ නමක් තැබීම හෝ නිවස ඉදිරිපිට ශුභ ගසක් සිටුවීම ආදියෙන් දොස් තරමක් දුරට නිදොස් කර ගත හැකිය.
නිවසක් සෑදීම සඳහා සැලසුම පිළියෙල කිරීමට පෙර දළ සැලැස්මක් පිළියෙල කර, එහි දොස් ඉවත් කර, ඉන්පසු නිවාස සැලැස්ම ඇඳ ගැනීම වඩාත්ම සුදුසු ක්‍රියා පිළිවෙතයි. කලින් සැලැස්මක් සකස් කර ගත්තේ නම්, අත්තිවාරම දැමීමට පෙර වාස්තු දෝෂ තිබේදැයි පරීක්ෂා කර බැලිය යුතුය.
සාදන ලද නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීමේදී පළමුව නිවස පරීක්ෂා කර බැලීම වඩා ප්‍රඥාගෝචරය, සමහර නිවාස දෝෂ සහිත වුවද සුළු වෙනස් කිරීමෙන් දෝෂ ඉවත් කරගත හැකිය.
Asian mirror