iranama
දරුවන් නොමැතිනම් පත්තිනි දේවිය යදින්න
පත්තිනි දේවියගේ ආශිර්වාදය ලැබෙන හැටි, ජෝඩු 2000 ක් බබාලා ඉල්ලා පත්තිනි මෑණි යදිති. දරුඵල අපේක්ෂාවෙන් 2000 ක් පමණ තරුණ ජෝඩු ඓතිහාසික සීනිගම දේවාලයේදී පත්තිනි පූජාවක් පැවැත්වූහ. මෙම යාදින්න අවුරුදු පතා පැවැත්වෙන්නක් බව දේවාල ආරංචි කියයි. පත්තිනි දේව මෑණියන්ගේ බලය කොපමණදැයි මනාවට පැහැදිලි විය. විශේෂයෙන්ම දරුවන් නොමැති කාන්තාවන්ට දරුවන් ලබාදීමටත්, කිරි දරුවන් ආරක්ෂා කර ගැනීමටත්, අසාධ්‍ය රෝගීන් සුවපත් කර දීමටත් පත්තිනි දේව මෑණියන් පිහිට වන බවට බොහෝ දෙනකුගේ අදහසයි. ඒ නිසාම ඊට බෙහෙවින් ඉවහල් වන්නා වූ පත්තිනි සළඹේ උපත පිළිබඳව දැන ගැනීම වැඩි දෙනෙක් කැමතියි.
පත්තිනි දේවිය ඉන්දියාවේ පඬිපුර සිටු පවුලක උපත ලද කෙනෙක්, එතුමිය කුඩා කල බත් කවන දවසේ මාපියන් දායාදයක් ලෙස පා සළඹ දෙකක් දුන්නා. හරියට අපේ කුඩා දරුවන්ට පංචායුධයක් දමනවා වගේ දෙයක්. ඒ අනුව කලවයස ගියාම පත්තිනි දේවිය පඬුවස් නුවර පාලම් කුමරුට විවාහ කර දුන්නා. විවාහ වුණත් පත්තිනි දේවිය සිය පතිවෘතය ආරක්ෂා කර ගත්තා. ඒ නිසාම පාලම් කුමරු නළඟනක් ඇසුරු කරන්න පටන් ගත්තා. ඇය සමඟ බොහොම හොඳින් විනෝද වුණා. පත්තිනි දේවියගෙන් ලබාගත නොහැකි සැප සම්පත් නළඟන ඔහුට දුන්නා. කාලය ගෙවී යද්දී පාලම් කුමරුගේ සියලු ධනස්කන්ධ විනාශ වුණා. කිසිවක් නොමැති නිසා නළඟනද ඔහු අතහැර දැමුවා.
අවසානයේදී පාලම් කුමරුට නැවත වරක් පත්තිනි දේවිය ළඟට යන්න සිද්ධ වුණා. පතිවෘතාව රැකගෙන සිටි ඇය ඔහුට සමාව දී භාර ගත්තා. ඒ වන විට පත්තිනි දේවිය ළඟ කාම කියා දාසියක් ද සිටියා. එහෙත් මේ තුන්දෙනාට ජීවත් වෙන්න මිල මුදල් අතේ තිබුණෙ නැහැ. ඒ නිසා පත්තිනි දේවිය සිය මාපියන් විසින් දායාද කරන ලද පා සළඹ දෙකෙන් එකක් පාලම් කුමරු අත තබා එය විකුණා මුදල් ලබාගෙන එන ලෙස පැවසුවා. ජීවත්වීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට එය විකිණීමට රැගෙන ගියත් එම නුවර කිසිදු වෙළෙන්දකුට සළඹ මිලදී ගැනීමට නොහැකි වූයේ එහි වටිනාකමට සරිලන ධනස්කන්දයක් ඔවුන් සතුව නොතිබුණු නිසාය. එම වෙළෙන්දන් වැඩිදෙනකු පැවසුවේ අදාළ සළඹ විකුණා ගැනීමට නම් ධනවත් වෙළෙඳුන් සිටින පඬුවස් නුවරට යන ලෙසයි.
ඒ අනුව පාලම් කුමරු සිය බිරිඳ පත්තිනි දේවිය හා කාලි නමැති දාසියද සමඟ අව් වැසි නොතකා පඬි නුවර වෙත යාමට පිටත් විය. කාන්තාර, වැලි කඳු, වගුරු බිම් සහිත මාර්ගය පත්තිනි දේවියට දුෂ්කර ගමනක් විය. ඒ යන අතරමගදී ඔවුන්ට ගොපලු නිවසක් හමුවිය. තවදුරටත් ඉදිරියට යාමට නොහැකි නිසා පාලම් කුමරු පත්තිනි දේවිය හා දාසිය ගොපලු නිවසේ පදිංචිකරුවන්ට භාරදී සළඹ විකිණීම සඳහා තනිවම පිටත්ව ගියේ ඉතා ඉක්මණින් නැවත පැමිණෙන බව දැනුම් දෙමිනි.
ඒ වන විට පඬි රජතුමාගේ බිරිඳගේ පා සළඹක් නැතිවීම නිසා අණබෙර කරුවන් ඒ පිළිබඳ මුළු නුවර පදිංචි ජනතාව දැනුවත් කර තිබුණි. මේ නිසා පාලම් කුමරු රැගෙන ගිය සළඹ මිලදී ගැනීමට කිසිදු වෙළෙන්දෙකු ඉදිරිපත් නොවීය. අවසානයේදී ඒ පුවත පඬි රජුගේ පුරෝහිතයන්ටද ආරංචි විය. ඔවුන් වහා ඒ බව රජුට පවසා පාලම් කුමරු අල්ලා රැගෙන ආවේය.
රජතුමා රන්කරුවකු ගෙන්වා අදාළ පා සළඹ පරීක්ෂා කරන්නට විය. රජ දේවියගේ අනෙක් පා සළඹ සමඟ සංසන්දනය කොට මෙය නැතිවූ සළඹ බවට ඔහු ප්‍රකාශ කළේය. එහෙත් එය පැළඳ සිටි දේවිය පාලම් කුමරු අත තිබූ පා සළඹ තමාගේ නොවන බවට ප්‍රකාශ කළාය.
රන්කරුවාගේ කියමන බාරගත් පඬි රජතුමා පාලම් කුමරුගේ හිස ගසා දමා කොහොඹ ගසක් යට වළ දමන ලෙස රාජ පුරුෂයන්ට නියෝග කළේය. තවද ඒ බව කිසිවකුට හෝ අතින් කීවොත් අත කපා දමන බවටද කටින් කීවොත් කට කපා දමන බවටද රාජ නියෝගයක් නිකුත් කළේය.
ගොපලු ගෙයක ඉඳ පා ළඟ
සළඹ විකුණා ගෙන එනතුරු
ගොපලු ලියක් අතින් අසා
හිමි මැරු තැන ලෙසට නිබරු
ගොපලු අසා දිව යුරු හට
කියමින් නොයෙකුත් ගති බොරු
සියලු රෝග දුක් දුර හැර
පත්තිනි සඳ කරන මෙදුරු
සිය සැමියා නැවත පැමිණෙන තෙක් කාලයක් බලා සිටි පත්තිනි දේවියට ඔහුට කරදරයක්වන්නට ඇති බවට ආරංචි ආවත් ඇය ඒවා නොපිළිගත්තාය. අවසානයේ කුමරු සොයමින් පත්තිනි දේවිය කාලිදාසිය සමඟ පඬි නුවර වෙත පිටත් වූවාය. අතරමගදී කෑමට අවශ්‍ය රස කැවිලිද ඊට පෙර සාදා ගත්තාය. ටික දුරක් යන විට ඒ දෙදෙනාට ගඟක් හමුවිණි. පාරුවක සිටි තොටියාට කතා කොට ගඟෙන් එගොඩ කරන ලෙස ඉල්ලා සිටියත් තොටියා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
එවිට අතේ දමා තිබූ මැණික් ගල් අල්ලන ලද පේරස් මුද්ද ගැලවූ පත්තිනි දේවිය අධිෂ්ඨානයක් කළාය. ඒ මාගේ පතිවෘත බලය සත්‍ය නම් මේ ගඟ දෙබෑ වී සුදු වැලි මතුවේවා යන්නයි. ක්ෂණයකින් මුද්ද ගඟට විසිකළ පසු ඒ දෙයම සිදුවිය.
එතැන් සිට පත්තිනි දේවිය දාසිය ද සමඟ සුදු වැලි තලාවක් ඔස්සේ ගඟෙන් එගොඩ විය. ඉන්පසු නැවතත් මුද්ද අහුලා ගෙන තමන්ට අපහාස කොට ගඟෙන් එගොඩ නොකළ තොටියා හා ඔහුගේ පරම්පරාවට වඳුරු වසංගතයක් සෑදී විනාශ වේවායි ප්‍රාර්ථනය කළාය. එයද ඒ ආකාරයෙන්ම සිදුවිණි.
පඬිනුවරට ගිය පසු පත්තිනි මෑණි පාලම් කුමරු සොයා ඇවිද්දත් කිසිවකුත් ඇයට නිවැරදි තොතුරක් ලබා නොදුන්නේ රාජ්‍ය ආඥවට බියවීම නිසාය. තව ටිකක් සොයා බලන විට පත්තිනි මෑණියන්ට කුඩා දරුවන් දෙදෙනකු මුණ ගැසිණි. ඒ පඬි රජතුමාගේ දරුවන් බවට පත්තිනි මෑණියන්ට දිවැසින් මෙන් අවබෝධ විය. ඇය කෑමට ගෙනවිත් තිබූ රස කැවිලි වලින් කොටසක් දරු දෙදෙනාට දී පාලම් කුමරු ගැන තොරතුරු ඇසුවාය. ඊට පිළිතුරු දුන් දරුවන් කියා සිටියේ සිය පිය රජතුමා පාලම් කුමරු මරා කොහොඹ ගසක් යට වළ දැමූ බවයි. අදාළ ගසද පෙන්වූහ.
එවිට පත්තිනි දේවියන්ට පාලනය කරගත නොහැකි කේන්තියක් ආවාය. ඇය කෝපයෙන් රජු හමුවීම සඳහා මාලිගය තුළට ගියේ රාජ පුරුෂයන්ද පසෙකට තල්ලු කර දමමිනි. පත්තිනි දේවිය සිය සැමියා නිකරුනේ මරා දැමීම ගැන රජතුමාට චෝදනා කරන විට රජතුමා කෝපයෙන් යුතුව උඹේ පියයුර ගලවලා කටේ ගසනවා යයි පවසා තිබේ.
ඒ අනුව වියරුවෙන් සිටි පත්තිනි දේවිය සිය වම් පියයුර අතින් කඩා රජතුමා දෙසට විසිකර දමා ගැසුවේ තම සැමියා මරණ ලද රජු ඇතුළු සියලුදෙනා ලෙඩ රෝග සෑදී විනාශ විය යුතු බවට ශාප කරමිනි. ඊට බොරු කියන ලද රන්කරුවාට සාප කළේය. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළදී ඒ සියලු දෙනා විනාශයට පත්වූහ. අධර්මයෙන් ජීවත්වන අය ඉතා ඉක්මනින් විනාශ වන බවද ධර්මයෙන් ජීවත් වන අයට පමණක් මේ ලෝකයේ ජීවත් විය හැකි බවටද පත්තිනි දේවිය එමගින් පෙන්වා සිටියාය. ඉන් පසු පත්තිනි දේවියට සිය සළඹ නැවත වරක් හිමි විය.
ඒ නිසා පත්තිනි සළඹ කුඩා දරුවන්ට හා දරුවන් නොමැති කාන්තාවන්ට දරු ඵල ලබාදීමට බෙහෙවින් ඉවහල් වන බව කියති.
අම්මා පත්තිනි සඳ සැතපෙන්නේ
දැන් මා මේ කී පුවත අසන්නේ
ඉන් ඇත රෝදුක් දුරු පලවන්නේ
ඉන් නද ඔබගේ අණ පවතින්නේ
අම්මා පත්තිනි ඉන් තෙද දේවා
අම්මාගේ අණසක ඉන් පැතිරේවා
සියලුම නරහට සෙත සැලසේවා
පත්තිනි මවුනි දොස් දුරුවේවා
ආවයි ඔබ දෙපතුල් ළඟ අම්මේ
නරයින් දුක කියනවා බුදු අම්මේ
ඔබද එලෙස අනුකම්පා අම්මේ
පිහිටක් දෙනවද පත්තිනි අම්මේ
අපගේ දරු හට ලෙඩ වී ඇත්තේ
දෙවි දොස් ඇත දය සමාව දෙන්නේ
අප අත වරදට සමාව දෙන්නේ
පත්තිනි මවුනි අප රැක දෙන්නේ
කිරි අම්මලා සත් දෙන සමගින්නේ
අලුයම ජාමෙට ගෙට ගොඩ වෙන්නේ
බාර හාර ඔප්පු කර එන්නේ
පත්තිනි මවුනි දොස් දුරුවෙන්නේ
තෙදය බලය පෑ පත්තිනි අම්මේ
පතිවෘත්තා බල රැක්කයි අම්මේ
ඔබගේ අණසක එලෙසින් අම්මේ
පැතිරේවා නර ලොව එය අම්මේ
නරයින් දැතද උස්සා අම්මේ
කියනවා ඔබ හට දුක එය අම්මේ
දුක බලලා පිහිටක් ගෙන අම්මේ
දෙන්නට අප රැක පත්තිනි අම්මේ
නවගමුවට මව් තෙද එය දුන්නේ
මෙම දෙවොලට තෙද මව්එය දෙන්නේ
ඔබගේ සළඹට ඉන්තෙද දෙන්නේ
පත්තිනි මවුනි අප රැක දෙන්නේ
දරුවන් නොමැතිනම්
ගත්තයි දැතට සළඹද අම්මේ
අරගෙන නරහට සෙත ගෙන අම්මේ
දුන් බලයද පතුරා බුදු අම්මේ
නරයන් ගොඩදානව තෙද අම්මේ
බලයට අධිපති පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය නිවසේ සිට ලබාගත හැකි කවි පද කිහිපයකි
අප රට රකිනා එය තෙද අම්මේ
රජ දරුවන් සියලුම රැක අම්මේ
දෙන්නට බාරයි පත්තිනි අම්මේ
සතුරුද බාධා දුරු කර අම්මේ
ජනපතිඳුට සෙත ඉන් සැලසේවා
පත්තිනි මවුනි ඉන් රැකදේවා
සියලුම බාධා ඉන් දුරුවේවා
සතර වරම් දෙවි ඉන් රැකදේවා
ලෙඩ දුක් කරදර ඉන් දුරුවේවා
පත්තිනි මවුනි ලොව පැතිරේවා
ඔබගේ තෙද බල ඉන් ගෙන දේවා
සියලුම නර දරු රැකලා දේවා
හතුරු විපත් බාධක දුරුවේවා
රථවාහන අනතුරු දුරු වේවා
අප යන එන ගමනද රැක දේවා
පත්තිනි මවුනි ඔබ පිහිට ලැබේවා
කුඩා අතදරුවන්ගේ සියලුම රෝගාබාධාවන් හා ආරක්ෂාවටත් අතුරු ආන්තරාවන්ගෙන් මිදීමට දරුපල නැති අයට දරුවන් ලැබීමට පිහිට වෙයි. සමහර නිවෙස්වල සෑම වසරක් පාසාම කිරිඅම්මා දානයක් පිදීම චාරිත්‍රයක් වශයෙන්ම කරන්නේ එම නිවසට රෝ බිය පහව නිවසට කිරි ඉතිරෙන්නාක් මෙන් සෞභාග්‍ය උදාකර ගැනීම සඳහාය. පත්තිනි දෙවියෝ, සිද්ධ පත්තිනි, සළඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි, සත් පත්තිනි යන නම් හත වෙනුවෙන් කිරි අම්මාවරු හත් දෙනකු දානයට ඇරයුම් ලබයි. මෙලෙස කිරි අම්මා දානයට ඇරයුම් ලබන්නේ දරුවන් ඇති, ස්වාමි භක්තිය ඇති ආගමානුකූලව ජීවත්වන කුලවත් ස්ත්රීන්ය.
කිරි අම්මා දානයක් දෙන විට පළමුව අඩුක්කු දීමේ ඇපයක් මත දානය දීමට දිනයක් වෙන්කර ගනී. පසුව එම දිනයේ සුදුවතින් සැරසුණු කිරි අම්මලාට දෙන දානය උදැසන කපුටන් හඬන්නට පෙර දිය යුතු බවත්, අවසන් කළ යුතු බවද නීතියකි. අති ප්‍රබල පත්තිනි ඇදහිල්ලෙහි මූලික අභිප්‍රාය වන්නේ කුඩා දරුවන්ගේ ආරක්ෂාව සඳහා බව වේ. දානය දීමේදී පළමුව අඩුක්කු වෙන්කර පොල්ගහක කොළ බැඳ කිරි අම්මලාට දානයක් දෙන බවට පොරොන්දු වී පඬුරක් බැඳ දිනයක් වෙන්කර බාරවෙයි. පසුව බුලත්දී කිරි අම්මලා හත් දෙනකු වැඩමවීමට ආරාධනා කරයි. දානය පිරිනමන දිනයේ පළමුව කොළ බැඳි පොල් ගහේ ගෙඩි කඩාගෙන නොයිඳුල් තෙල් සිඳ කවුම් කිරිබත් උයා ඇඹුල් කෙසෙල් ගෙඩි, කිරි කෑලි නමැති විශේෂ පූපයද එක් වර්ගයකින් හත බැගින් කෙහෙල් කොළවල තබා කිරි අම්මලා නිවසට වැඩිය පසු පැදුරු මත සුදු පිරුවට එළා වැඩ හිඳුවා දානය පිරිනමයි. මෙම අවස්ථාවේ කිරි අම්මාවරු කවි ගායනයෙන් සෙත් ශාන්තිය පතා කිසිවකු සමඟ කතා නොකර නිවසින් පිටව යයි. පත්තිනි දේවිය මුල් කොටගෙන කරන පහන් මඩු පත්තිනි ඇදහිල්ලේ ප්‍රබලම අවස්ථාවයි. එය එකල සේරමන් නමැති රජුගේ හිසේ හටගත් රෝගයක් සුවකිරීම සඳහා එම රජුගේ අගමෙහෙසිය වන පත්තිනි දේවිය මුල් කොටගෙන පැවැත්වූ ශාන්ති කර්මය පහන් මඩුව නමින් හැඳන්වේ. එම කථාව මෙසේය. සේරමන් රජු දිනක් රාත්‍රියේ නිදා සිටින විට ගෝනකුගේ දෙදරුම් කන හඬ ඇසීමෙන් රජුගේ නින්දට බාධාවක් වී නින්ද නොයන නිසා, ගෝනා මරා ගෝනාගේ හිස මොළ කමියි හිතා, යහනාවෙන් නැගිට ගොස් ගෝනා මරා කෑවේය. මැරුණු ගෝනා රජුට අයිති මානෙල් විලක දැකුම්කළු මානෙල් මලක් යට ගෙම්බෙක්වී ඉපදුණේය. දිනක් රජු විලට ගොස් මානෙල් මලක් කඩාගෙන එය සිම්බේය. එවිට එහි සැඟවී හිටිය ගෙම්බා රජුගේ නාසය තුළට ඇතුළුවී මොළයට රිංගා ගත්තේය. එදින සිට රජුට තදබල වේදනා දෙන හිසේ අමාරුවක් ඇතිවිය. එය සුව කිරීමට දන්නා වෙද හෙදකම් කොතෙක් කෙරුවද ඉන් කිසිපලක් නොවීය. එනිසා එය සුව කිරීම සඳහා රජු සිරි ලංකාවට කැඳවාගෙන ඇවිත් මෙම පහන් මඩු ශාන්ති කර්මය කිරීමෙන් පසු රජුට සුවයක් වූ බවට කතාවක් ඇත.
විවාහ වුණත්
පත්තිනි දේවිය
පතිවෘතය
ආරක්ෂා කර ගත්තා
Wmqgd .ekSu