iranama
හෘදය රේඛාව බිඳීයැම පරාජිත ප්‍රේමය මූර්තිමත් කරයි
අත්ලේ ප්‍රධාන රේඛාවක් ලෙස සැලකෙන හෘදය රේඛාව සුළැඟිල්ලට පහළ ප්‍රදේශයේ සිට ශීර්ෂ රේඛාවට ඉදිරිපසින් දබරැඟිල්ල දෙසට විහිද යයි. හෘදය රේඛාව ක්‍රම කීපයකින් අවසන් විය හැක. ඇතැම් අයගේ මෙම රේඛාව ශනි මණ්ඩලයෙන් (මැදැඟිල්ල මුල) අවසන් වන අතර තවත් විටෙක
දබරැඟිල්ල දෙසටත් පහළට නැමී යන ආකාරයටද පිහිටා තිබෙනු දැකිය හැක. ඇතැම් අයගේ ගුරු, ශනි, රවි, බුධ යන ග්‍රහ මණ්ඩල හතරේÊවිද්‍යුත් ශක්තීන්ගෙන් පෝෂණය වන හෘදය රේඛාව පුද්ගලයාගේ මනස කෙරෙහිද එක එල්ලේම බලපෑමක් ඇති කරයි.
හෘදය වස්තුව සහ පෙනහලුවල ස්වභාවය සහ ඒවායෙහි ක්‍රියාකාරිත්වය සටහන් වන අත්ලේ ඇති ප්‍රධානතම රේඛාව වන්නේත් මෙම රේඛාව බැවින් එයට හෘදය රේඛාව සහ නම භාවිත කරන්නට ඇති. ඒ හැරෙන්නට මෙම රේඛාව මගින් පුද්ගලයාගේ විවාහ ජීවිතය, ආදරය, ලිංගික ආශා, රුධිර ධාවනය යම් යම් දේ නිර්මාණය කිරීමේ සහජ බුද්ධිය ක්‍රියාකාරී හැඟීම් ගතිගුණ පිළිබඳ විශේෂ ලක්ෂණද පෙන්නුම් කරයි. සමහර අයගේ අත්වල මෙම රේඛාව නොමැති වීමටද හේතු ඇත. හෘදය රේඛාව අතේ පිහිටා නැති අය අපි ව්‍යවහාර කරන ආකාරයට හිතක් පපුවක් නැති අය ලෙස හැඳින්විය හැක. අන් අය කෙරෙහි සෙනෙහසක් අනුකම්පාවක් ඔවුන් තුළ නොමැත. තමාගේ වාසිය පමණක් අපේක්ෂා කරන ආත්මාර්ථකාමී අය වෙති. එමෙන්ම ඔවුහු කෝප සහගතද වෙති. හොඳ හෘදය රේඛාවක් ගුරු මණ්ඩලය (දබරැඟිල්ල මුල) මැදින් ආරම්භ වී ශනි මණ්ඩලය, බුධ මණ්ඩලය අතරින් අවසාන විය යුතුව ඇත. එසේම එය ශීර්ෂ රේඛාව ළඟින්ම හෝ ශීර්ෂ රේඛාවට බොහෝ දුරින් හෝ නොවිය යුතුය. හෘදය රේඛාව පටන් ගැනීමේදී තියුණුව පෙනිය යුතුය. එසේම අවසානයේදීද එලෙසම තිබිය යුතුය. (හැරීම් කැඩීම් නොමැතිව) එසේම එම රේඛාවේ පළල, ගැඹුර, වර්ණය ගැනද සැලකිය යුතුය.
හොඳ හෘදය රේඛාවක් පවතින විට හොඳ පෞරුෂයක් යහපත් සෞඛ්‍ය තත්ත්වයක් හොඳ ආකල්පයක් යන හැමදේම පවතී. හෘදය රේඛාව ප්‍රමාණයට වඩා මණ්ඩලවලට ළංව පිහිටීමද සුබ නොවේ. එවිට මණ්ඩලවල ශක්තිය හීනවීමෙන් පුද්ගලයා තුළ ඊර්ෂ්‍යා සහගත බවත්, දරුණු ස්වභාවයක් ඇතිවීමටද හේතු වේ. ඔවුහු බොහෝ ප්‍රේම සම්බන්ධතාද ඇති කර ගනිති. රේඛාව ප්‍රමාණයට වඩා පහත්වීමද ආත්මාර්ථකාමී බවත්, කලබලකාරී මානසික තත්ත්වයක් ඇතිවීමටද හේතු වෙයි.
හෘදය රේඛාව තැනින් තැන කැඩී තිබීම මගින් ප්‍රකට වන්නේ රුධිර ධාවනයේ විෂමතාවක් ඇති බවයි. පැලීගිය ආකාරයක් හෘදය රේඛාවෙන් පෙන්නුම් කරයි නම් හෘදය වස්තුවේ කිසියම් දුර්වලතාවකි. හෘදය රේඛාව සමඟ එවැනිම රේඛාවක් කාගේ හෝ අතක පිහිටා ඇත්නම් ධනවත් වේ. හෘදය රේඛාවත්, ශීර්ෂ රේඛාවත් එකට සම්බන්ධ වී එකම රේඛාවක් ලෙස විහිද යැම අසුබය. තදබල මානසික පීඩාවකට ලක්වී සදහටම දුක උරුම වූ අය එම ලකුණෙන් හඳුනාගත හැක.
හෘදය රේඛාව ගුරු මණ්ඩලය තුළින් මතුවී තිබීම ඉතාමත් හොඳ පිහිටීමකි. පෙම් රජදහනේ කිරුළු පළඳින්නට වරම් ලබන එවැන්නන්ගේ යුග ජීවිතය ඉතා වාසනාවන්තය. හෘදය රේඛාව අර්ධ කවාකාර හැඩයෙන් පිහිටීම ද සුබ නොවේ. ඇදුම වැනි සෙම් රෝග වැළඳීමට එය හේතුවක් වෙයි. මෙම රේඛාව පටන් ගැනීමේදී ශාඛා දෙක තුනකට බෙදී තිබීමද යුග දිවියේ සාර්ථකත්වය පෙන්නුම් කිරීමකි.
හෘදය රේඛාව දෙකඩ වීමත් එම රේඛාවෙන් මතුවන අවරෝහණ රේඛාවක් (පහළට විහිද යන) ශීර්ෂ රේඛාව දෙසට ඇදී යැමත්, එවැනිම අශුභ ඵලදෙයි. පරාජිත පෙම්වතෙක් හෝ පෙම්වතියක් එමගින් මූර්තිමත් වෙයි. අංශභාග වැනි ස්නායු රෝගවලට හේතු වන බැවින් හෘදය රේඛාව ගැඹුරට තිබීමත් සුබ නොවේ. එම රේඛාවේ කළු තිත් මගින් වකුගඩු රෝග සෑදීමේ ප්‍රවණතාවක් ඇති බව ප්‍රකට වන අතර දම්වැල් ආකාර ලක්ෂණයෙන් පෙනහලු දුර්වල අයෙක් හඳුනාගත හැක. හෘදය රේඛාවේ දූපත් ලක්ෂණවලින් නහරගත ආබාධා පෙන්නුම් කරයි.
සමහර අයගේ හෘදය රේඛාව අත්ලේ එක කෙළවරක සිට අනිත් කෙළවර දක්වා කෙළින් ගැසූ ඉරක් මෙන් තිබිය හැක. ඔවුන් ඉතාමත් රාගාධිකය. මනුෂ්‍යත්වයක් ඔවුන් තුළින් දැකිය නොහැකි තරම්ය. විනෝදයට පෙම්වතුන් ආශ්‍රය කරන අය තුළ මෙම ලකුණු දැකිය හැක. හෘදය රේඛාව රෝස පැහැවීමත් සුබ ඵල ගෙන දෙන්නකි. සුවිනීත ගති පැවතුම් ඇති ඔවුන් බොහෝ විට කලාවට ලැදි අය වෙති. හෘදය රේඛාව බුධ මණ්ඩලය මතදී (සුලැඟිල්ල) දූපත් ලකුණකින් අවසන් වේ නම් එම අය හෘදයාබාධයකින් මිය යා හැක. බොහෝ විට එම අයගේ ජීවිතය ලේ කැටි ගැසීමේ රෝගයකින් අවසන් විය හැක. කොලෙස්ටරෝල් වැඩිවීමෙන් පීඩා විඳින එවැනි ලකුණු ඇති අය වහාම ලේ පරීක්ෂණයක් කර ගැනීම වැදගත්ය.