iranama
පිරිත් දේශනා කරන්නේ යකුන් ප්‍රේතයන් එළවීමටද?
කලකට ඉහතදී මා හමුවන්නට විහාරස්ථානයට පැමිණි වැඩිහිටි පිරිමින් දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් වසරකට පෙර මියගිය තම පියාණන් වෙනුවෙන් දහවල සාංඝික දානයක් පිරිනමා එදිනම රාත්‍රියේ පිරිත් සජ්ජායනාවක් කරවා ගැනීමට අවශ්‍ය බව පවසා සිටියහ.
‘රැ එළිවෙනකල් පිරිත් දේශනා කරලා පහුවදාට සංඝික දානයක් පිරිනැමීම නේද සුදුසු’
මම ඔවුන්ගෙන් විමසුවෙමි.
එවිට ඔවුහු මුහුණෙන් මුහුණ බලා ගත්හ. ඔවුන් කුමක් හෝ යමක් කියා ගන්නට නොහැකිව අපහසුවෙන් පෙළෙන බව පෙනිණි.
‘ඔය ඇත්තන්ට මොකක් හරි ගැටලුවක්ද?’ බැරිම තැන මම විමසුවෙමි.
‘හාමුදුරුවනේ දවල්ට දානේ දීලා පෙරේතයෝ ගෙන්වලා පින් අනුමෝදන් කරන්න. ඊට පස්සේ පිරිත් කියලා රෑට එළවනවා. මුලින් පිරිත් කියලා පෙරේතයන්ව එළවලා පහුවදාට දානේ දුන්නම උන් ආපහු ඇවිත් අපේ ගේ අස්සෙම ලැගුම් අරන් අපට බැල්ම හෙළන්න පටන් ගනී.’
එක් කාන්තාවක් ඉදිරිපත්ව කීවාය. මගේ මුවගට සිනාවක් නැගුනත් මම නිහඬව සිටියෙමි.
‘හාමුදුරුවනේ එහෙම නම් පහුවදා හීල් දානෙ ඔබ වහන්සේලාට පන්සලටම ගෙනත් පූජා කරන්නම්’ මගේ නිහඬබව හමුවේ එක් වැඩිහිටි පිරිමියකු ඉදිරිපත් වී පැවැසීය. මම ඔවුනට ඉඩදී ඉවසා සිටියෙමි.
සමහර පළාත්වල රාත්‍රියට ධර්ම දේශනාමය පින්කම පවත්වා පහුවදා උදේ හෝ දහවල් සාංඝික දානයක් පිරිනමා රාත්‍රියට ගිහි පිරිත් සජ්ජායනා කරවීම සිදු කෙරේ. ධර්ම දේශනාවෙන් සහ දානමය පින්කම කිරීම තුළින් මළ ගිය ඥාතීන් ගෙන්වාම පින් අනුමෝදන් කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. එසේ නිවසට ගෙන්වා ගත් යක්ෂ, ප්‍රේත, භූත පිසාච ආදී වශයෙන් වූ මළගිය ඥාතීන් තම නිවස හැර නොගොස් රැඳී සිටීවී යන බිය නිසා පිරිත් සජ්ජායනාවක් කරවා ගන්නේ ඔවුන් පන්නා දැමීමටය. මෙය හරියටම කිවහොත් ගෙට කතා කර කන්න බොන්න දී අනතුරුව පහර දී එලවා දැමීමක් නොවේද?
මේ කතා සත්‍යයක් නම් දන් දීමෙන් ඔබ කර ඇත්තේ තනිකරම මෝඩ වැඩකි. හේතුව දන් දීමට ගොස් ඔබ කොහේවත් සිටින යක්ෂයන් ප්‍රේතයන් භූතයන් ආදී වූ අමනුෂ්‍යයන් පිරිසක් ගෙට කැඳවාගෙන තිබේ. උන් එලවා දැමීමට ඔබට පිරිත් දේශනාවක් කරවන්නටත් සිදු වී ඇත.
මඳක් සිතා බලන්න. ඔබ ගිලී හිඳින්නේ මොන තරම් මිථ්යාවකද? ධර්ම දේශනා සිදු කරවීම සාංඝික දාන පිරිනැමීම ආදී වූ මහත් කුසලයක් අත් වන පින්කම්වල අරුත හරිහැටි නොදැන ඔබ පින්කම් සිදුකර අනතුරුව මනසත් කිළිටි කරගෙන ඇත. මෙය කිරි කලයක් දොවා ඊට ගොම බින්දුවක් එකතු කිරීමක් නොවන්නේද?
පිරිත සම්බන්ධයෙන්ද විශේෂයෙන් සඳහන් කළ යුත්තක් තිබේ.
සංඝයා වහන්සේලා සේම සර්ව රාත්‍රික පිරිත් දේශනා සිදුකරන ගිහි කණ්ඩායම්ද සිටිති. මේ දෙපිරිසෙන් කවුරු ලවා පිරිත් සජ්ජායනා කරවීම වඩා ඵලදායක දැයි සමහරු විමසති. මේ සම්බන්ධයෙන් දිය හැක්කේ මෙබඳු පිළිතුරකි.
පිරිත කවුරුන් විසින් සජ්ජායනා කළත් එහි දොසක් නැත. නමුත් එය සිදු කරන්නට ඊට සුදුසුකම් තිබිය යුතුවේ. එම සුදුසුකම පිළිබඳ බෞද්ධ ග්‍රන්ථවල සඳහන් වන්නේ මෙලෙසිනි.
‘ආනන්ද තේරෝ විය
තාරුඤ්ඤ හදයං
උපට්ඨපෙත්වා
එනම් ආනන්ද තෙරුන් වහන්සේ මෙන් කරුණාබර හදක් උපදවා ගෙන පිරිත් දේශනා කළ යුතුයි යන්නය.
බුදුරජාණන් වහන්සේගේ සියලු දේශනා අදත් පවතින්නේ ආනන්ද තෙරුන් වහන්සේ ඒ සියල්ල බුදුරදුන්ගෙන් අසා මතකයේ තබාගත් නිසාය. ආනන්ද තෙරුන් එසේ කළේ මිනිස් වර්ගයා කෙරෙහි පැවැති කරුණාව නිසාය. එබැවින් පිරිත් දේශනා කරන්නා තුළ එමගින් සියලු දෙනාට යහපතක් සිදු කිරීමේ කරුණාබර හදවතක් තිබිය යුතුය. එලෙසින් පිරිත් සජ්ජායනා කළොත් එය කියනු ලබන්නා කවුද යන ප්රශ්නය පැන නොනැගේ. පිරිත ශ්‍රවණය කරන්නාට ඉන් යහපතක්ම සිදුවනු ඇත.
ප්‍රේතයන් තම ඉහත ආත්මයේ ඥාතීන්ගේ නිවෙස්වලට පැමිණෙනවාද?
පරදත්තූප ජීවීන් නමින් හඳුන්වන ප්‍රේතයෝ කොට්ඨාසයක් සිටිති. තිරොකුඩ්ඩ සූත්‍රය මගින් බුදුරජාණන් දේශනා කළ අන්දමට අප අනුමෝදන් කරන පින් සෑම ප්රේතයකුටම ලබා ගත නොහැකිය. එම හැකියාව ඇත්තේ පරදත්තූප ජීවීන් ලෙස හඳුන්වන ප්‍රේත කොට්ඨාසයට පමණි. ඔවුන් අපේක්ෂා කරන්නේද තම පෙර භවයන්හි ඥාතීන්ගෙන් පින් පමණි.
තමන් පෙර භවයේ වාසය කළ නිවසේ පරදත්තූූප ජීවීන්ට රැඳී සිටිය හැකි බව තිරෝකුඩ්ඩ සුත්‍රය දක්වයි. ඒ අනුව දොරමුල්ලේ, පිළිකනුවල, එළිපත්තේ වුවත් මේ ජීවීන්ට රැඳී සිටිය හැකිය. තමන්ට පින් ලැබෙන තුරු බොහෝ අපේක්ෂා සහගතව යටහත් පහත්ව බලා සිටින මේ ප්‍රේතයන් ප්‍රමාණවත් තරමට පින් ලැබුණු පසු එම ප්‍රේතාත්ම භාවයෙන් නිදහස් වී එම නිවසින්ද පිටව යනු ඇත.
පූජ්‍ය පිටිගල ධම්මවිනීත හිමිපාණෝ අවධාරණය කරති
Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks