iranama
කාන්තාවන්ට රාහුගේ සහ කේතුගේ බලපෑම
රාහු හා කේතු නාමමාත්රික ග්‍රහයන් බව හැමෝම දන්නා කරුණකි. එහෙත් ඔවුන්ගේ බලපෑම අති විශාලය. රාහු ඉතා වේගවත් ග්‍රහයකු වන අතර කේතු එහි විරුද්ධ පැත්ත නියෝජනය කරයි. එක් එක් ග්‍රහයන් සමඟ සංයෝග වීමෙන් විවිධාකාර වූ යහපත් මෙන්ම අයහපත් ඵලද ලබා දෙයි.
මෙහිදී විශේෂයෙන්ම සාකච්ඡා කෙරෙන්නේ රාහු හා කේතු කාන්තාවන්ට බලපාන අන්දමයි. කාන්තාවන් මානසික මෙන්ම ශාරීරික වශයෙන්ද නිතර පීඩාවට පත්වන බැවින් ඔවුන් විශේෂයෙන්ම ග්‍රහයන්ගේ බලපෑමට වඩාත් නතු වෙයි. කාන්තාවකගේ ග්‍රහ බලපෑම් වඩාත් ඉස්මතු වන්නේ විවාහයෙන් පසුව යැයි ජේයාතිෂයේ සඳහන්ය.
බලවත් හඳහන් හිමි කාන්තාවන් විවාහ කර ගත් සමහර පුද්ගලයෝ ධනවත් බලවත් මිනිස්සු වී සිටියහ. දැනුදු සිටිති. වෘහත් ජාතකයෙහි වන ආකාරයට පිරිමියාගේ හැඩරුව කුමන ආකාරදැයි බිරියගේ ලග්නයත් චන්ද්‍රයාගේ පිහිටීමත් අනුව කිව හැක්කේය. සම්පත් ලැබීම හෝ නොලැබීම පිළිබඳ විවාහ ස්ථානය හෙවත් සත්වැන්න පරීක්ෂා කිරීමෙන් දැනගත හැකිය. ඔහුගේ මරණය ඇගේ හඳහනේ 8 වැන්නෙන් කියැවෙයි. මේ අනුව බිරියගේ හඳහන සැමියාගේ කැඩපතක් වෙයි. එහෙයින්ම ඇගේ ජීවිතයට වේගවත් රාහු හා අලස කේතු බලපාන ආකාරයද වැදගත්ය.
මේෂ හැර වෙනත් ලග්නයකින් උපත ලබන කාන්තාවන්ගේ හඳහනෙහි ශනි තුලාවේද, හත්වැන්නේ රවි සහ කුජද 11 වැන්නේ චන්ද්‍රයා සමඟ යෝග වූ රාහුද පිහිටා ඇත්නම් එවැනි කාන්තාවකට ජීවිතය පුරාම සියලු සුවපහසුව ලබා දෙයි. මේෂ රාශිය ලග්නය වී නම් එහි සම්පූර්ණයෙන්ම ඊට විරුද්ධ ප්‍රතිඵල ලැබෙනු ඇත. එනම් දුක් කම්කටොලු බහුල ජීවිතයක් උරුම වීමයි. චන්ද්‍රයා සමඟ යෝග වූ රාහු 7 වැන්නේ සිටියදී ගුරු අටවැන්නේ පිහිටා ඇත්නම් දරුඵල අධික කරයි.
ගුරු, සිකුරු හා කේතු යෝගව 4 වැන්නේ පිහිටා ඇත්නම් ඇයට ජීවිතය සියලු ලෞකික සම්පත්වලින් යුක්තව ගත කළ හැකි නමුත් මරණය සිදුවන්නේ කිසිදු ලේ ඥාතියකුගෙන් තොරවය. කාන්තා හඳහනක කුජ සමඟ කේතු යෝග නම් එය විශිෂ්ට ග්‍රහ පිහිටීමක් ලෙස සලකන්නේ අනෙක් අසුබ තත්ත්ව පැවැතියද කුජගේ අයහපත් බලපෑම් සියල්ල කේතු විසින් ඉවත් කරනු ලබන බවට සැලකෙන හෙයිනි. එහෙත් අධික රුධිර පීඩනය වැලඳීමේ අවදානම පවතියි. සිංහ ලග්නයේ රාහු සිටියදී උපත ලබන තැනැත්තිය සිත්ඇදගන්නා පෙනුමකින් යුත් සෙල්ලක්කාර තැනැත්තියක වනවාක් මෙන්ම සුවපහසු විවාහ ජීවිතයක් උරුම කර ගන්නීය.
රවි සමඟ සංයෝග වූ රාහු ඉතා බලවත්ය. විශේෂයෙන්ම සිංහ රාශියේදී මේ තත්ත්වය කැපී පෙනේ. 1, 3, 5 හෝ 12 සිංහ රාශිය වී රවි හා රාහු සංයෝගය එහි පිහිටා ඇත්නම් ඉහළ තනතුරක් දරන පිරිමියකු ස්වාමිපුරුෂයා වශයෙන් ලැබෙන අතරම යහපත් ශරීර සෞඛ්‍යයක්ද හිමිය. 2, 4, 8, 9 හෝ 11 යන ස්ථානයක් සිංහ රාශිය වී මෙම සංයෝගය පිහිටියේ නම් එයට සමාන ගුණ ලැබේ. මෙම යෝග වීම 7 වැන්නේ තිබීමද එතරම්ම නරක නැත. බුධ සමඟ යෝග වූ රාහු 1, 7 හෝ 9 යන ස්ථානයක පිහිටියේ නම් උගත්, බුද්ධිමත්, තනතුරු සහිත පුද්ගලයකු සමඟ විවාහ වන්නට ලැබේ. ලග්නයේ රාහු පිහිටි කාන්තාව හොඳ ගෘහණියක් කරන අතර 2 වැන්නේ නම් බුද්ධිමත් ගෘහණියක වෙයි. 7 වැන්නේ රාහු පිහිටි කාන්තාවගේ විවාහය ප්‍රමාද වෙයි.
මේෂ රාශියේ සිකුරු සහ 10 වැන්නේ හෝ මකර රාශියේ රාහු සිටියදී කාන්තාවක උපත ලැබී නම් විවාහ එකකට වඩා සිදු වන බව ජේයාතිෂයෙහි සඳහන්ය. රවි, කුජ හා බුධ යන ග්‍රහයන් තිදෙනාම රාහු හෝ කේතු සමඟ යෝගව 7 වැන්නේ පිහිටියහොත් නීත්‍යනුකූලව විවාහ නොවන අතර ගණිකාවක හෝ පිරිමින් කිහිපදෙනකු ඇසුරු කරන කාන්තාවක වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
රවි, බුධ, කුජ හා ගුරු එක්ව රාහු හෝ කේතු සමඟ 4 වැන්නේ හෝ 7 වැන්නේ පිහිටීමෙන් ගණිකාවක හෝ වැන්දඹුවකු වන බව කියැවේ. 7 වැන්න මේෂ හෝ වෘශ්චික රාශියක් වී එහි රාහු පිහිටියහොත් වැන්දඹු විය හැකි නමුත් සුබ දෘෂ්ටි ලැබෙන්නේ නම් තත්ත්වය වෙනස් වෙයි. 4 වැන්නේ රාහු පිහිටීම යහපත් විවාහ ජීවිතයක් පෙන්වන නමුත් පාප දෘෂ්ටි ලැබ පිහිටීම හෝ පාප කර්තරී වුවහොත් උරුම හිමිකම් විනාශ වීමට හෝ එම දේපොළක වාසය කරන්නේ නම් අසන්තෝසදායක ජීවිතයක් උරුම වනු ඇත. එහෙත් මෙහිදී වැදගත් වන්නේ 7 වැන්න හා 7 වැන්න අධිපති බලවත් නම් විවාහයට පෙර අසතුටුදායක පරිසරයකට මැදි වන නමුත් විවාහයෙන් පසුව සතුටුදායක වන බවයි.
කේතු 7 වැන්නේ අසුබ ආකාරයෙන් පිහිටීමද වැන්දඹුවක වන බව පෙන්වන ලකුණකි. රවි සහ කේතු 1, 2, 3, 4, 5, 8, 9, 11 හෝ 12 වැන්නේ පිහිටීම නිසා මැදි වියේදී වැන්දඹුවක වන බව ජේයාතිෂයේ සඳහන්ව ඇත. 10 වැන්නේදී අයහපත් තත්ත්වයේ අඩුවක් දක්වන අතර 6 වැන්නේ හා 7 වැන්නේදී මෙම යෝගයේ බලපෑමක් නැත.
රාහු හෝ කේතු 7 වැන්නේ පිහිටීම බිරිය හා සැමියා අතර සබඳතාව පලුදු කරන අතරම කුජ හෝ යුරේනස් රාහු සමඟ යෝගව 7 වැන්නේ පිහිටීමද වැන්දඹු බව පෙන්වන ලකුණකි. සුබ ග්‍රහයන් සමඟ යෝග වූ කේතු 7 වැන්නේ පිහිටීම දෙවැනි විවාහයක් පෙන්වන අතර 9 වැන්නාධිපති සුබ හෝ පාප ග්‍රහයකු වුවත් යෝග වීම බහු පුරුෂ සම්බන්ධතාව පෙන්වයි. 12 වැන්නේ පිහිටි කේතු දරු ප්‍රසූතිය අපහසු කරවයි. රාහු කුජ සමඟ යෝගව 5 වැන්නේ පිහිටා ඇත්නම් ඔසප් දෝෂ ඇති කරන බවද ජේයාතිෂයේ සඳහන්ය. 3 වැන්නේ කුජ-රාහු යෝගයක් ඇත්නම් ඉන් පෙන්වන්නේ පාදයක සුළු හෝ ආබාධිත තත්ත්වයක් ඇති බව හෝ එම පාදයෙහි උපන් ලපයක් තිබිය හැකි බවයි. 8 වැන්නේ රාහු පිහිටි කාන්තාව විශාල පවුලක ආර්ථික දුෂ්කරතාවන්ගෙන් යුක්තව ජීවිතය ගත කරන්නීය.
චන්ද්‍රයා, ශනි සහ කුජ සමඟ යෝග වූ රාහු කුමන ස්ථානයක පිහිටා ඇතත් නිරෝගී නොවන දරුවන් ලබන්නීය. මකර ලග්නයෙන් ඉපිද එහි රාහු පිහිටි 9 වැන්නේ ගුරු සිටියි නම් ඇයට බොහෝ දරුවන් ලැබේ. චන්ද්‍ර, ගුරු හා රාහු අතර බලවත් ත්‍රිකෝණ දෘෂ්ටියක් පවතින්නේ නම් ප්‍රසූතිය දුෂ්කර වනු ඇත. 5 වැන්නේ ශනි සමඟ යෝග වූ රාහු පිහිටි තැනැත්තිය ගර්භාෂ දෝෂයන්ගෙන් පෙළෙන්නීය. 6 වැන්නේ සිකුරු සමඟ හෝ 5 වැන්නේ ගුරු සමඟ හෝ 4 වැන්නේ බුධ සමඟ හෝ 3 වැන්නේ කුජ සමඟ හෝ 2 වැන්නේ චන්ද්‍රයා සමඟ හෝ ලග්නයේ රවි සමඟ රාහු යෝගව පිහිටීම නිසා ගබ්සා වීම් ඇති කරයි. ලග්නය තුලාව වී රාහු මේෂ රාශියේත් සිකුරු කටකයේත් කුජ මේෂ හෝ තුලාවේ නම් දෙවැනි විවාහයකට පවතින ඉඩ වැඩිය.
කන්‍යා රාශියෙහි සිටින රාහු, රවි හා ශනි චතුරස්‍රව හෝ 7 වැන්න අධිපති කුජට චතුරස්‍රව පිහිටීම විවාහය ප්‍රමාද කරන්නකි. එහෙත් යහපත් චරිතයකින් යුක්ත වන්නීය. මකරයේ රාහු පිහිටා ඇති විටෙක චන්ද්‍රයා කටකයේද, වක්‍ර වූ සිකුරු 6 වැන්නේද යන ආකාරයට ග්‍රහයන් පිහිටි විට ඔසප් දෝෂ නිසා දරු උපත් නැතිව යයි. රාහු මිථුන රාශියේ යුරේනස් සමඟ යෝගව පිහිටා ඇති විට චන්ද්‍රයා සහ කුජ යෝගව ධනු රාශියේ පිහිටා ඇත්නම් ඉක්මන් විවාහයක් සිදුවන නමුත් සැමියා විසින් අත්හරිනු ලබන්නේය.
රාහු 7 වැන්න වූ මකරයේ සෙනසුරුට චතුරස්‍රව පිහිටා ඇතොත් විවාහය සිදුවන්නේ ඉතා ප්‍රමාද වීය. වෘෂභ ලග්නයව ශනි එහි සිටියදී රාහු වෘශ්චිකයේද, රවි සහ සිකුරු සිංහයේද 7 වැන්නාධිපති වන කුජ කුම්භ රාශියේද පිහිටා ඇති අවස්ථාවක උපත ලබන්නියගේ විවාහ ජීවිතය අසමඟියෙන් ගතවන අතර නිතර නිතර අඹු සැමි ආරවුල් ඇති වේ. මකර ලග්නය වී රාහු හා කුජ යෝගව වෘෂභයේ සිටියදී ඉපදී ඇති තැනැත්තියගේ දරු ඵල නැති කරයි. එම ග්‍රහයන් දෙදෙනා ගුරු විසින් දකිනු ලබන්නේ නම් දරුවන් බිහි වන නමුත් ඔවුන් නිසා කරදර පැමිණෙයි. රාහු වෙනුවට කේතු පිහිටියේ නම් දරු ඵල සම්බන්ධව බිය විය යුතු නැති නමුත් පවුලේ සතුටට බාධා පැමිණෙයි.
පැරැණි ඉන්දීය ජේයාතිෂ ග්රන්ථයන්හි කාන්තාවන් සම්බන්ධයෙන් ලිවීමේදී පිරිමින්ට පක්ෂපාතීව ලියූ බොහෝ තැන් හමු වෙයි. ඒ එවකට පැවැති සමාජ හා සංස්කෘතික පසුබිමයි. විශේෂයෙන්ම බමුණෝ වනාහි කාන්තාවන් තමන් යටතේ තබාගැනීමට උත්සුක වූවෝය. පුරුෂයන් නිසරු බවට පත්වන්නේ කෙසේදැයි කිසිම පොතක විස්තර විභාගයක් දක්නට නැත. වරාහමිහිරාචාර්යයන් පවා "වෘහත් ජාතකයෙහි" ස්ත්‍රී ජාතකය යැයි විශේෂ පරිච්ඡේදයක් වෙන් කොට ඇත.
Wmqgd .ekSu u