Life
සියලු වගකීම් ඉටුකරන ඔබ සුන්දර, නීරෝගී අෙයක් විය යුතුයි
නිවෙසක ප්‍රධානියා ලෙස පුරුෂයා නැතිනම් තාත්තා සැලකුනත් නිවෙසේ වැඩි වගකීමක් පැවරෙන්නේ කාන්තාවට; එසේ නැතිනම් අම්මාට. තම දරුවන්ගේ වැඩකටයුතු, ස්වාමි පුරුෂයාගේ කටයුතු, ගෙදරදොරේ ඥාතීන්ගේ, සමාජයේ වැඩ කටයුතු මෙන් ම තම රැකියාවේ වැඩ කටයුතු සහ වගකීම් ද වර්තමානයේ කාන්තාවකට පැවරී තිබෙනවා.
මීට අවුරුදු 25කට 30කට පමණ පෙර අපේ රටේ කාන්තාවන් ගෙවූ ජීවිතයේ ස්වභාවයට වඩා අද තත්ත්වය ඉතා වෙනස්. අද අප රටේ කාන්තාවන් සෑම අතින් ම කාර්ය බහුල වෙලා. බොහෝ කාන්තාවන් ගෙවන්නේ ඉතාම අවිවේකී ජීවිතයක්.
ඉහත සියලු වගකීම් ඉටු කිරීමට නම් ඇය නිරෝගීමත්ව සහ සුන්දරව සිටීම අනිවාර්ය වෙයි. මේ කියවන ඔබ කාන්තාවක් නම් ඒ පිළිබඳව විශේෂයෙන් සිතිය යුතුයි.
සමාජයේ ඔබ වැනි කාන්තාවක් අපිරිසුදුව, අපිළිවෙළට අධික තරබාරු බවින් යුතුව, ක්‍රියාශීලී බවෙන් අඩුව සිටීනම් ඔබ ඒ කාන්තාව දෙස බලන්නේ ප්‍රබෝධවත් හැඟීමකින් නොවෙයි නේද? ඒ වගේ ම ඔබ මිතුරියක් ලෙස තෝරාගන්න කැමැති නිතර ඇසුරු කරන්න කැමැති ලස්සනට ඉන්න, ප්‍රබෝධවත්ව ඉන්න ක්‍රියාශීලී කෙනෙක් නේද? කාන්තාවන් අතරේ පමණක් නෙමෙයි පිරිමින් අතරේ වුවත් එය පොදු කාරණාවක්.
මේ අනුව අපට ඉතා පැහැදිලිව පෙනෙන කරුණක් තමයි, කෙතරම් වැඩ රාජකාරි අධික වුණත්, කෙතරම් වගකීම් තිබුණත් කාන්තාවක් හොඳ ආත්ම ශක්තියකින් යුතු නිරෝගී ප්‍රියමනාප අයකු ලෙස ජීවත් විය යුතු බව.
එහෙත් මෙහිදී අධික ලෙස වෙහෙස වීම, විවේකය අඩු බව, තරබාරු බව, නිතර වෙහෙසීම නිසා නිකුත්වන දහදිය, හිස කෙස්වල අපිළිවෙළ බව, ඇඳුම්වල අපිළිවෙළ බව වැනි ගැටලුවලට වගේ ම ශරීරයේ හෝමෝන තත්ත්වය ඒ වෙනස්වීම නිසා මතුවන ගැටලු, ආර්ථවහරණය නිසා ශරීරයේ ඇතිවන වියළි බව නිසා ඇතිවන ගැටලු වැනි ගැටලු රාශියකට මෙම කාන්තාවන්ට මුහුණ දීමට සිදුවෙනවා.
නමුත් පිරිමින්ට මේ බොහොමයක් ගැටලු ඇත්තේ නෑ. කාර්යාලයේ හෝ රැකියා ස්ථානයේ වැඩ වැඩි නම් අධික වෙහෙස වී ගෙදර පැමිණෙන්නේ නම් පිරිමියා කරන්නේ හොඳ හැටි නිදා ගැනීමයි. එවිට නිවසේ සියලු වගකීම්වලින් ඔවුන් නිදහස්.
එලෙස වගකීම්වලින් නිදහස් වීමේ හැකියාවක් කාන්තාවන්ට ඇත්තේ නැහැ. කාන්තාව තමන්ගේ වගකීම් පැහැර හැරියොත් තම වගකීම්වලින් මිදී වැඩකරන්න උත්සාහ ගතහොත් විශාල පිරිසක් අපහසුතාවයට පත්වෙනවා. විශේෂයෙන් ම පවුලේ දරුවන්. මේ නිසා සෑම කාන්තාවක් ම තම ජීවිතය සහ ජීවිතයේ වැඩ කටයුතු නිසි පිළිවෙළකට සකසා ගත යුතුයි.
කාන්තාවන් එදිනෙදා වැඩකටයුතු කිරීමේදී සැලසුම් සහගතව කටයුතු කිරීම ඉතා වැදගත්. එසේම තමන් ගේ වැඩ කටයුතුවල ප්‍රමුඛතාව හඳුනාගෙන කටයුතු කිරීමත් ඉතා වැදගත්.
මෙහිදී සැලකිල්ලට ගත යුතු අනෙක් කරුණ වන්නේ තමන්ට කළ හැකි සහ කළ නොහැකි දේවල් හොඳින් හඳුනාගෙන, කළ හැකි දේවල් ඉටු කිරීම සහ කළ නොහැකි දේවල් වලින් ඉවත්වීම සහ ඒවා කළ නොහැකි බව ඍජුව ම ප්‍රකාශ කිරීමයි.
සැලසුම් සහගතව කටයුතු කිරීම පිළිබඳව කතා කරන විට ඊට කරුණු ගණනාවක් ම අයත් වෙනවා. එහිදී ප්‍රධාන තැනක් ගන්නේ කාන්තාවන් තමන්ගේ දවසේ වැඩ කටයුතු සැලසුම් කර ගැනීමයි. උදෑසන නින්දෙන් අවදිවන වෙලාව, කෑම උයන වෙලාව, ළමයින් පාසල් යාමට සූදානම් කරන වෙලාව, තමන් රැකියාවට යන වෙලාව ආදිය පිළිබඳව මූලික සැලසුමක් අදහසක් කාන්තාවකට තිබිය යුතුයි.
ඊළඟට වැදගත් වන්නේ කාන්තාවන් තමන්ගේ පවුලේ ආර්ථිකය සැලසුම් කිරීමයි. තමාගේ රැකියාවෙන් සහ සැමියාගෙන් කොපමණ මුදලක් මාසෙකට ලැබෙනවාද, එම මුදල කීදෙනෙකුට වියදම් කළ යුතුද, කෑමට කොපමණ මුදලක් වියදම් කරන්න පුළුවනිද, කෑමට වැය කරන ඒ මුදලින් කන්න පුළුවන් හැම්, බේකන්ද, චිකන් ද එසේ නැතිනම් පරිප්පුයි බතුයි ද කියන එක.
ඒ වගේම ගෙදරට ශීතකරණයක් වැනි විදුලි උපකරණයක් අවශ්‍ය නම්, ඒ වෙනුවෙන් කොපමණ මුදලක් වියදම් කරන්න පුළුවනිද කියන බව. ඊට අමතරව ළමයි යවන්නේ මොන පාසලට ද ළමයින්ට අන්දවන්නේ මොන වගේ ඇඳුම් ද දාන්නේ මොන වගේ මුදලකට ගන්න පුළුවන් සපත්තු ද කියන එකත් සැලසුම් කළ යුතුයි. ඒ; එදිනෙදා ආර්ථිකය සැලසුම් කිරීම.
ඒ වගේ ම future planning (අනාගත සැලසුම්) ද කාන්තාවකට තිබිය යුතුයි. තමන්ට ම කියා ගෙයක් හදාගන්නවද, ඒ මොන කාලෙදිද, නැතිනම් දිගටම කුලියට ඉන්නවද ආදිය ඒ අනාගත සැලසුම්වලට ඇතුළත් වීම වැදගත්. ඒ වගේ ම කාන්තාවක් ජීවිතයේ ඉලක්ක තබා ගැනීමත් ඉතාම වැදගත්. මෙවැනි ආකාරයට ජීවිතය සැලසුම් කරගත්තොත් කාන්තාවකට තමන්ට මුහුණපාන්නට වන බොහෝ ගැටලුවලින් මිදෙන්න පුළුවනි.
ඊළඟට වැදගත්වන කාරණය තමයි ප්‍රමුඛතාවය හඳුනාගැනීම. ගෙදර කෑමට විශේෂයමක් හදන එකට මූලිකත්වය දෙනවද, ළමයට පාඩම් කියාදෙන එකට මූලිකත්වය දෙනවාද, එසේ නැතිනම් ටෙලිනාට්‍යයක් බලන්න මූලිකත්වය දෙනවාද කියන එක. තමන්ට වඩාත් සාර්ථක වෙන්න පුළුවන් මොන කාර්ය මුලින් ඉටුකිරීමෙන් ද කියා අවබෝධ කරගත යුතුයි. අනෙක් වැදගත් ම කාරණය තමයි තමන්ට කරන්න පුළුවන් බැරි ෙද්වල් පුළුවන් දේවල් හොඳින් හඳුනා ගැනීම. තමන්ට කරගන්න බැරි දේවල් පසුපස ගිහිල්ලා මහා ඛේදවාචකයකට ජීවිතය තල්ලු කරලන්නවාට වඩා හොඳයි තමන්ට කරන්න පුළුවන් දේවල් ටික හඳුනාගෙන ඒවා හොඳින් කිරීම.
මේ සෑම දෙයක් අතරේ ම කාන්තාවක් තමන්ගේ රූප සොබාව පිළිබඳව සැලකිලිමත්වීම ඉතාම වැදගත්. මෙහිදී රූප සොබාව ලෙස සඳහන් කරන්නේ සිනමා නිළියකගේ මෙන් රූපශ්‍රීයක් ලබා ගැනීම නෙමෙයි. වඩාත් ම වැදගත් වන්නේ කාන්තාවක් තමන්ගේ පෞද්ගලික පිරිසිදුකම ගැන සැලකිලිමත් වීමයි. වෙනත් අයකුට ප්‍රසන්න හැඟීමක් ඇතිවන ආකාරයට ජීවත් වීමයි. ඒ වගේ ම කාන්තාවක් තම හිසකෙස් පිළිවෙළකට තබා ගැනීම ඉතාම අවශ්‍යයි.
වෛද්‍ය ජයරුවන් බණ්ඩාර
පිරිමියෙක් හිස කෙස් පීරන්නේ නැතිව අපිළිවෙළකට තබාගෙන ඉන්නවාට වඩා කාන්තාවකගේ හිස කෙස්වල අපිළිවෙළ බව හොඳින් කැපී පෙනෙනවා. ඒ වගේ ම නියපොතු පිළිබඳවත් සැලකිලිමත් විය යුතුමයි. කාන්තාවක් බස් රථයක සීට් එකක් අල්ලාගෙන යන විට ඇයගේ අතේ නියපොතුවල කුණු පිරී ඇති බව පෙනෙයි නම් ඇය කොපමණ ලස්සනට දෙතොල් පාර කරගෙන ගියත්. ඇහැබැම අලංකාර කරගනෙ ගියත් වැඩක් ඇත්තේ නෑ.
ඒ වගේ සම ආරක්ෂා කර ගැනීමත් ඉතාම වැදගත්. සම වියළීමට නොදී ආරක්ෂා කර ගත යුතුයි. ශරීරයේ හැඩය පිළිබඳව සැලකිලිමත් වීමත් අත්‍යවශ්‍යයි. තමන්ගේ ශරීරය දිනෙන් දින මහත්වන බව අවබෝධ කරගෙන ඒ අනුව ආහාර පාලනය කරගත යුතුයි. තමන්ගේ ජීවිතය එදිනෙදා වැඩ කටයුතු ආදිය පිළිබඳව නිසි අවධානයකින් කටයුතු කිරීමෙන් කාන්තාවකට තම ජීවිතය ජයගන්න පුළුවනි. මේ පිළිබඳව අපි වැඩිදුරටත් ඉදිරියේදි සාකච්ඡා කරමු.
Wmqgd .ekSu is