හදහනක් පරීක්ෂාකර ගැනීම සඳහා ජ්‍යෝතිෂවේදියකු වෙත පැමිණෙන බොහෝ දෙනකු පුන පුනා විමසන කරුණක් වන්නේ තම කේන්ද්‍රය පරීක්ෂාකර ගැනීමට බොහෝ ජ්‍යෙතිෂවේදීන් වෙත ගියත්, ඔවුන් පවසන පලාපල කිසිවක් සිදු නොවන්නේ මන්ද? යන්නයි. තමාගේ ජන්ම පත්‍රයට අනුව කියන පලාපල ඒ ආකාරයෙන්ම සිදු නොවන්නට හේතු කාරණා කීපයක් වේ. ප්‍රථමයෙන් ඔබට පැවසිය යුත්තේ ඔබ කේන්ද්‍රයක් පරීක්ෂා කිරීමට යැමේදී, සෑම ජ්යෝතෂවේදියෙක්ම ඔබ විසින් රැගෙන යන කේන්ද්‍ර සටහනට අනුව පලාපල කථනය සිදුකරනවා මිස, ඔබගේ උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානයට අනුව ඔබගේ කේන්ද්‍ර සටහන නිවැරැදිද? යන්න පරීක්ෂා නොකිරීමයි. මෙහිදී ඔබ ළඟ පවතින කේන්ද්‍ර සටහනේ සුළු වරදක් හෝ පවතීනම් එයට අනුව පවසන පලාපල කිසිසේත්ම නිවැරැදි වන්නේ නැත.
සම්ප්‍රදායික ජ්‍යෝතිෂයට අනුව තවත් එක් හේතුවක් වන්නේ කේන්ද්‍රයක ග්‍රහ පිහිටීම් සූක්ෂම ලෙස පරීක්ෂණයට ලක් නොකිරීම වේ. එනම් ග්‍රහයන්ගේ බල දුබලතාවය, රාශියෙන්, හෝරාවෙන්, දේර්කාණයෙන්, නවාංශකයෙන්, ත්රිංෂාංශකයෙන්, නැකතෙන්, අවස්ථාවෙන් (ශාසන, උපවෛන ආදී) ග්‍රහයන්ගේ බල තත්ත්වය (බාල, කුමාර, තරුණ ආදී) යන සියලු කරුණු පරීක්ෂා කළ යුතුවේ. මෙම සූක්ෂම ආකාරයට කේන්ද්‍රයක් පරීක්ෂා කිරීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවන අතර, ක්ෂණිකව කළ හැකි දෙයක් නොවේ. මීට අමතරව කේන්ද්‍ර හිමියාගේ මහ දශාව, අන්තර් දශාව, ඊට අදාළ වන්නා වූ ග්‍රහයන්ගේ බල දුබලතාවය, කේන්ද්‍රයට අනුව ග්‍රහයන් ශුභයන් ද, අශුභයන් ද, යන්න නිවැරැදිව පරීක්ෂා කර, එසේම ග්‍රහයන්ගේ ගෝචර ගමන පරීක්ෂා කර, අතීතයේ, වර්තමානයේ, අනාගතයේ කුමක් සිදුවීද? කුමක් සිදුවන්නේද? යන්න තෙවැනි ඇසක් ඇති ජ්‍යෙdතිෂවේදියකුට ප්‍රකාශ කළ හැක.
කටක ලග්න හිමියෙකුගේ ශනි 4 වැන්නේ, එනම් තුලාවේ පිහිටා තිබීම පංච මහා පුරුෂ යෝගවලින් 1 ක් වන ශශ යෝග උදා වෙයි. නමුත් ශනි අනෙකුත් වර්ග (ලිපියේ ඉහත සඳහන් කළ) වලින් දුර්වලනම් යෝගය නාම මාත්‍රයකට පමණක් සීමාවේ. තවද 22 වන දෙර්කාණාධිපති, 64 වන නවාංශකාධිපති, 6, 12, 8 අධිපති ආදී බොහෝ කරුණු සම්බන්ධ කරගෙන කේන්ද්‍ර හිමියෙකුගේ අශුභ ඵල ප්‍රකාශ කරයි. විශේෂයෙන් රෝග, මරණ, විපත් ආදිය වේ. නමුත් සෑම දෙර්කාණයකට ම අයත් ශරීර අවයවයන්, රාශියකට (කාල පුරුෂයාට අදාළව) අයත් අවයවයන් ග්‍රහයන්ට අදාළව ශරීර ඉන්ද්‍රියනුත්, ග්‍රහයන්ට අදාළ ලෙඩ රෝගත් ආදී කරුණු සම්බන්ධ කරගෙන, වෛද්‍යවරයකු රෝග විනිශ්චය කරන ආකාරයට පළපුරුදු ජ්‍යෙdතිෂවේදියකුට ද රෝග සම්බන්ධ අනාවැකි ඵළකළ හැක. මෙය එක් උදාහරණයක් පමණි. ඒ ආකාරයට අපගේ ජීවිතවලට බලපාන්නා වූ සෑම අංශයක්ම පරීක්ෂා කළ හැක.
මෙහිදී උදාහරණයක් ලෙස අධ්‍යාපනය, ප්‍රේමය, දරුඵල 5 වැන්න පදනම් කරගෙන ප්‍රකාශ කරන අතර, ඉහත කාරණා තුන සම්බන්ධව ජීවිතයේ අසාර්ථක තත්ත්වයන් පෙන්නුම් කරයි නම් එහිදී ග්‍රහයන්ගේ බලපෑම එනම්, 5 වැන්නාධිපති, 5 වැන්නේ ග්‍රහ පිහිටීම්, 5 වැන්නාධිපති පිහිටි නැකත, නවාංශකය, අවස්ථාව හා ඉහත සඳහන් කළ ස්ථානයට අදාළ වන්නා වූ ග්‍රහයන්ට අනෙකුත් ග්‍රහයන්ගෙන් ඇතිවන බලපෑම මත, එනම් උප්පත්ති ජන්ම පත්‍රයට අනුව අයහපත් කාරණා බලපා ඇති බව ජ්‍යෙdතිෂවේදියා, නිගමනය කළ යුතු අතර, ග්‍රහ ගෝචරය පදනම් කරගෙන, ජන්මියාට බලපෑම හා මහ දශා, අන්තර් දශාවල බලපෑම කාලීනව එනම් අධ්‍යාපනය ලබන කාලය, ප්‍රේම කරන කාලය, දරුවන් ලබන කාලය ආදියට අයහපත් ලෙස බලපායි නම් ඉහත කාරණා සම්බන්ධයෙන් අසාර්ථක වීම සිදුවේ. ඊට අමතරව ප්‍රේමය සම්බන්ධයෙන්, කුජ, සිකුරුගේ බලපෑමක්, අධ්‍යාපනය සම්බන්ධයෙන් බුධ, ගුරුගේ බලපෑමත්, දරුඵල සම්බන්ධයෙන් ගුරුගේ බලපෑමත් ඉහත ස්ථානයට අනුව පලාපල කථනයේදී බැලිය යුතුය. ඒ ඒ කාරණාවලට කාරක වන ග්‍රහයන්ගේ බල දුබලතාවය මත යමෙක් අධ්‍යාපනය ඉතා ඉහළින් සිදුකර, අනෙකුත් කාරණා වන ප්‍රේමය හා දරුඵල අසාර්ථක විය හැකිය. මේ ආකාරයට ජීවිතයේ සෑම පැතිකඩක් ම නිශ්චිතවම විග්රහ කිරීම ජන්ම පත්‍රය ඇසුරු කරගෙන, සූක්ෂම පරීක්ෂණයකින් නිගමනය කළ යුතුයි. ඒ ආකාරයට පලාපල කථනයේදී සියල්ල නිවැරැදිව පරීක්ෂා කර, නිවැරැදිව අනාවැකිය ප්‍රකාශ කළ යුතුවේ.
තවද ජ්‍යෝතිෂවේදියාගේ, ජ්‍යෝතිෂ අත්දැකීම් ද පලාපල කථනයට ඉතාම වැදගත් කරුණක් වන අතර, සෑම කේන්ද්‍රයක්ම දුටු පමණින් අත්දැකීම් මුල්කර ගෙන පලාපල කීම නුවණට හුරු නැත. අප නොදන්නා ගමනක් යන විට මාර්ගය සොයා ගැනීමට මාර්ග සිතියමක් යොදා ගන්නා සේ, ජීවිත ගමන යැමේදී ඒ සඳහා ඔබගේ කේන්ද්‍ර සටහන යහපත් ආකාරයට යොදාගත හැක.