යුගදිවියේ ගැටලු ඇති කරන්නට ප්‍රධාන වශයෙන් බලපාන රෝග අතර තරුණ කාන්තාවන් සුලබව පෙළෙන ඔසප් දෝෂ ආශ්රිත රෝග තත්ත්වයන්ද වේ. මාසය පුරාම එක දිගට රුධිර වහනය පැවතීම, මසකට කිහිපවරක් ඔසප් වීම, එම කාලය තුළදී අධික ලෙස රුධිරය පිටවීම, ආර්ථවය පවතින කාල පරාසයේදී සහ ඉන් පරිබාහිරව පවතින අධික වේදනාව වැනි ආර්ථවය හා සම්බන්ධ අසාමාන්‍ය තත්ත්වයන් යුගදිවියේ අඹුසැමි සබඳතාවලට අහිතකර බලපෑම් ඇති කරවයි.
ඒ ආකාරයේ බොහෝ ඔසප් දෝෂ වලට හේතුව හෝමෝන බලපෑමයි. ඒ අතරින් තරබාරු බවින් වැඩි කාන්තාවන් අතර එහි බලපෑම තවත් ඉහළය. එවැනි කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව නිසා විටෙක ඩිම්බ පිටවීම නතර වන අතර එවිට ඔසප් වීමද නවතී. නැවත ඔසප් වන්නට පටන්ගත් විටදී නොනැවතීම ඔසප් වීම පැවතිය හැකිය.
ඔසප් රුධිරය වැඩියෙන් වහනය වීමත් එම කාලය තුළ පවතින අධික වේදනාවත් ෆයිබ්‍රොයිඩ් (fibroid) වැනි ගෙඩි පැවතීම නිසාද සිදුවේ. මෙම තත්ත්වය උදරයේ පහළ ප්‍රදේශය ස්පර්ශ කරන විටදී තදින් හසුවන අවස්ථාද තිබේ. ස්කෑන් පරීක්ෂණයක් මගින් එම ගෙඩි හඳුනා ගැනීමට හැකිවන අතර ගෙඩිවල ප්‍රමාණයත් ඉන් යම් බලපෑමක් ඇතිවනවාද යන්නත් එමගින් සොයා ගැනීමට හැකියාව තිබේ.
මේ ආකාරයට හට ගන්නා සෑම ෆයිබ්‍රොයිඩ් ගෙඩියක්ම ඔසප් චක්‍රය කෙරෙහි බලපෑමක් ඇති කරවන්නේ නැත. ඔසප් දෝෂ කෙරෙහි බලපෑමක් ඇතිකරවිය හැකි වන්නේ ගර්භාෂයේ ඇතුලු සිවියට ආසන්නයේ හටගෙන ඇති ගෙඩි හේතුවෙන් පමණි. ප්‍රතිකාරයක් වශයෙන් සැත්කමක් මගින් මෙම ගෙඩි ඉවත් කිරීම බොහෝ විට සිදු කරයි. ඊට අමතරව එන්නතක් මගින් ෆයිබ්‍රොයිඩ් පාලනය කිරීමක්ද සිදුකරන අවස්ථා තිබේ. එහෙත් මෙම එන්නත සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදු වීමත් එන්නත නතර කළවිටදී ගෙඩි නැවත වර්ධනය වන්නට ඇති හැකියාවත් එහි ඇති අවාසියයි.
ගර්භාෂයෙන් රුධිරය වහනය වන්නට බලපාන තවත් රෝගී තත්ත්වයක් වන්නේ ශේරා්ණියේ හටගෙන ඇති ආසාදනයන්ය. රුධිරය මගින් හෝ පිටතින් විෂබිජ ඇතුලුවීම, ශේරා්ණියේ මෙබඳු ආසාදනයන් හටගන්නට හේතුවේ. නීති විරෝධී ගබ්සා, ශරීරයේ වෙනත් ස්ථානයක පවතින ආසාදනයන් හෝ සුද යෑම මගින් ඒ ආකාරයට විෂබිජ ශරීරගත වීම සිදුවිය හැකිය.
මෙය වහාම ප්‍රතිකාර ලබාදිය යුතු තත්ත්වයක් වන අතර සැත්කමක් මගින් ශේරා්ණියේ සැරව හටගෙන ඇත්නම් ඒවා ඉවත් කිරීම සිදු කරයි. විෂබිජය සහමුලින් ඉවත් කිරීම සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා දීමටද සිදුවේ. මෙම තත්ත්වය කල්තියා හඳුනාගෙන නිසි ප්‍රතිකාර කරා යොමු නොවීම නිසා විෂ රුධිර ගත වී ජීවිතයට තර්ජනයක් විය හැකි අසාධ්‍ය තත්ත්වයකට වුවද පත්විය හැකිය.
ගැබ්ගෙල හා ගර්භාෂය අභ්‍යන්තරයේ පිළිකා තත්ත්වයන් නිසා මෙන්ම ගැබ්ගෙල මස්දළු හේතුවෙන්ද අසාමාන්‍ය රුධිර වහනයක් පවතින අවස්ථා තිබේ. යුගදිවියේ ගැටලු ඇතිකරනවාට අමතරව ජීවිත අවදානමක්ද පැවතිය හැකි ඒ ආකාරයේ අසාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණයන්ට යොමු වී රෝගී තත්ත්වය නිවැරදිව හඳුනා ගැනීම නොපමාව කළ යුතු වන්නකි.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී.රාජපක්ෂ අවධාරණය කරයි