Life
පණු අමාරු වලට ගුණ දෙන පබිලිස් සිල්වා මහතාගේ රසවත් ගුණවත් ආහාර වට්ටෝරු මෙන්න
අපේ ගෘහනියෝ තමන්ගේ ගෙදර අයට, ඒ කියන්නේ සැමියාට දරුවන්ට බොහෝම ආදරෙයි. ඒ නිසාම ඇය ඔවුන් කැමති කැමති ආකාරයේ කෑම වර්ග හදලා දෙනවා. ඔන්න අපි ඇහුවොත් කෑම ජාතියක නමක් කියලා, අනේ ඒවා අපේ ගෙදර අය කන්නේ නෑ කියනවා. එතකොට මේ ආදරේ ගෙදර අය කැමති කෑම ජාති හදලා දෙන්න විතරක්ද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. අම්මා කෙනෙක් කරන්න ඕන ඒ දේ නෙමෙයි. ගෙදර අය කැමති වුනත්, අකමැති වුනත් ගුණ දේවල් ශරීරයට අවශ්‍ය දේවල් ලබාදීම ගෘහනියගේ වගකීමක්.
අපි දන්නවා පුංචි දරුවෝ ඉන්න ගෙවල්වල නිතර අහන්න ලැබෙන අසනීපයක් පණු අමාරුව. බොහෝ දෙනා කරන්නේ පණු අමාරුවට පණු බෙහෙත් ලබාදීමයි. එය වැරදියි කියලා මං කියන්නේ නෑ. නමුත් ඊට වඩා හොඳ දේශිය ආහාර වර්ග අපේ ආහාර සංස්කෘතිය තුළ තිබෙනවා.
අතීතයේ පටන්ම අපේ වැඩිහිටියන් පණු අමාරු සඳහා දේශිය දේ පාවිච්චි කළා. මෙහි තියෙන වැදගත්ම දේ වන්නේ වෙනමම ඖෂධයක් විදියට මේවා ලබාගන්නට අවශ්‍ය වන්නේ නෑ. ඖෂධයක් වුවත් ආහාර වේලටම එකතු කරලා වෑංජනයක් විදියට කෑමට ගන්න පුළුවන්.
නගරවල ජීවත්වන අයට නම් මේවා සොයාගන්නට ටිකක් අපහසුකම් ඇතිවෙන්න පුළුවන්. ඒ වුනත් ගමකට ගිය වෙලාවක හරි, ගමකින් එන කෙනෙකු අත හරි මේ කොල වර්ග ටිකක් සොයා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඇතැම් වර්ග නම් අද පොළකට ගියහම ගන්න පුළුවන්.
පණු අමාරුවලට ගුණය දෙන මේ කරිවර්ග, හොදි, මැල්ලූම නිතර ආහාරයට ගත්තත් අගුණයක් නෑ. ඒ වගේම බොහෝම රසවත්. ගෘහනියකගේ වගකීම ඉටු කරන්නට ඔබත් ඔබේ පවුලේ අයට රසවත්, ගුණවත් පෝෂණය රැකදෙන, සෞඛ්‍ය රැකදෙන ආහාර පිළියෙල කරදෙන්න.
ගැට තුඹ කොළ කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
ගැට තුඹ කොළ ග්‍රෑම් 200
රතු ළූනු ග්‍රෑම් 40 (ලියාගත්)
තක්කාලි ග්‍රෑම් 20 (කපාගත්)
උම්බලකඩ කුඩු තේ හැඳි 1 1/2
කපාගත් අමු මිරිස් කරල් 2
කරි කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
සුදු ළූනු බික් 2
රම්පේ, කරපිංචා
කුරුඳුපොතු කැබැල්ලක්
දිය කිරි කෝ. 1 1/2
මිටි කිරි කෝ. 1/2
ලූණු තේ හැඳි 1
සාදන ක්‍රමය
ගැට තුඹ කොළ කඩාගන්න. මෝරපු ද ගන්න එපා. තුඹ කොළ හා මිටි කිරි හැර ඉතිරි සියල්ල එකට දමා පිසගන්න. සිඳීගෙන එන විට මිටි කිරි හා තුඹ කොළ එකතු කරන්න. ඉස්ම සිටින ලෙස හින්දවා ගන්න.
ඇත් තෝර මැල්ලූම
අවශ්‍ය ද්‍රව්‍ය
ඇත් තෝර කොළ ග්‍රෑම් 200
රතු ළූනු ග්‍රෑම් 20
ගාගත් පොල් ග්‍රෑම් 50
සුදු ළූනු බික් 2
අමු මිරිස් කරල් 2
කහ කුඩු තේ හැඳි 1/2
රම්පේ, කරපිංචා
කුරුදු පොතු කැබැල්ලක්
ගම්මිරිස් ඇට 3-4
දෙහි යුෂ තේ හැඳි 1/2
ලූණු
සාදන ක්‍රමය
දෙහි සහ ලියාගත් කොළ හැර ඉතිරි සියල්ල වංගෙඩියේ දමා කොටා ගන්න. එය කොලවලට එකතු කර ලිප තබා මලවන්න. පාට නොවෙනස්වන ලෙස වැඩි ගින්දරේ මලවා ඉක්මනින් බා ගන්න. දෙහි යුෂ එකතු කරන්න. මෙය මාසයකට වරක් රාත්‍රි ආහාර සමග ආහාරයට ගැනීම හොඳයි.
පොල්පලා වෑංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
පොල්පලා දළු ග්‍රෑම් 200
ලියාගත් රතු ළූනු ග්‍රෑම් 30
කපාගත් අමු මිරිස් කරල් 3
කරි කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/4
උම්බලකඩ කුඩු තේ හැඳි 1 1/2
සුදු ළුනු බික් 2
උළුහාල් ඇට 10
රම්පේ, කරපිංචා
කුරුඳු පොතු කැබැල්ලක්
දිය කිරි කෝ. 1 1/2
මිටි කිරි කෝ. 1/2
ලූණු තේ හැඳි 1 1/2
දෙහි යුෂ තේ හැඳි 1/2
සාදන ක්‍රමය
පොල්පලා හොඳින් සෝදා දිය බේරෙන්නට තබන්න. භාජනයක් ගෙන මිටි කිරි කොළ සහ දෙහි හැර අනෙක් සියල්ල දමා ලිප තබා හික්ෂෙන තුරු තම්බාගන්න. මිටි කිරි දමා උතුරන විට කොළ ටික දමා බාගෙට තම්බා පැහැය නොවෙනස්ව ලිපෙන් බා ගන්න. දෙහි යුෂ දමන්න.