Life
දරුවන්ට ඉගෙනීමට සාමකාමී පරිසරයක් සැකසීම මවුපියන්ගේ යුතුකමක්
මිථිලගේ පෙනුම වෙහෙසකාරී ස්වරූපයක් ගත් අතර එතරම් පිළිවෙළක් ඇඳුම කෙරෙහි දක්වා නැති බවත් ඔහු දෙස බැලීමේදී දක්නට ලැබිණි. මවුපියන්ගේ කතා ඔහේ අසා සිටින බවක් මෙන්ම තමාට තමා පිළිබඳ විවේචන ගාණක් නැති බවත් ඔහු කෙරෙන් පළ විය.
පළමුව මවුපියන්ගෙන් මිථිලගේ දින චර්යාව පසුගිය වසර දෙකෙහි අධ්‍යාපන ප්‍රගතිය, පසුගිය මාස හය තුළ සිදුවූ විශේෂිත සිදුවීම් හා මිථිලගේ විනෝදාංශ පිළිබඳ ලබාගත් අවබෝධය මත මිථිල හා තනිව කතා කිරීමේ අවස්ථාව උදාකර ගතිමි.
ඔහු ඉතා ප්‍රිය කළ ප්‍රහේලිකා පිරවීම සම්බන්ධයෙන් ඔහු හා කතාවට පිවිසියෙමි. එතරම් උනන්දුවක් පළ නොකළද මුහුණේ වෙනසක් නිරීක්ෂණය කිරීමට හැකි විය. ඔහු ඒ වන විට වසර තුනක් තුළ ප්‍රහේලිකා එක් දහස් පන්සියයකට වඩා පුරවා ඇති බවත් ඒ සියල්ලේ එකතුවක් තමා සතු බවත් ඔහු පැවසීය. පාසලේ බිත්ති පුවත්පත සඳහා කිහිප විටක් ඔහු ප්‍රහේලිකා නිර්මාණය කළ බවද ඔහු පැවසීය. අපි මඳ වේලාවක් මේ රසවත් විනෝදාංශය පිළිබඳ කතා බහ කළෙමු. ඔහු මා සමඟ මම නොවිමසා අදහස් දක්වන්නට පෙළඹෙන තෙක් මම ඔහුගේ ගැටලුව විමසීම කල් තැබුවෙමි.
විනාඩි විස්සකට පමණ පසු ඔහු විසින්ම ඒ කිසිවකට දැන් තමාගේ උනන්දුවක් නැති බව පැවසීය. ඉගෙනීමට තමා ඉතා ප්‍රිය කරන්නමුත් වසරක පමණ සිට තමා කෙතරම් උත්සහ කළද පාඩම් මතක නොසිටින බවත් පාඩම් කිරීමේ කිසිම ආශාවක් නැති බවත් ඔහු පැවසීය. පාසල ඔහුගේ ප්‍රියතම ස්ථානය බව ඔහු කතා බහ අතර කිහිප විටක්ම පැවසුවේය. පාඩම් කිරීම සඳහා නිවෙසේ බාධාවක් ඇද්දැයි මා විමසා සිටියේ ඔහු පාසල ඔහුගේ ප්‍රියතම ස්ථානය ලෙස පැවසූ අවස්ථාවේදීය. ඒ පිළිබඳ විමසූ අවස්ථාවේ ඔහු කිසිවක් කතා නොකර බිම බලාගෙන සිටියේය. පහත සංවාදය අප දෙදෙනා අතර ඇතිවිය.
මම - පුතාගේ ගේ අවට පරිසරය ඝෝෂාකාරීද?
මිථිල - නැහැ.
මම - එහෙනම් ගෙදර මැසි මදුරු කරදර, ගොඩාක් රස්නේ එහෙම තියෙනවද?
මිථිල - නැහැ.
මම - ගෙදර පාඩම් කරන්න තරම් පිළිවෙළක් නැද්ද? ඔයා පාඩම් කරන්න ආස තැනක්, වෙලාවක් වගේ දෙයක් ගෙදරදි හොයා ගන්න අමාරුද?
මිථිල - එහෙමත් නෙවෙයි.
මම - එහෙනම් පුතා ගෙදරට අකැමැති ඇයි? ගෙදර පාඩම් කරන්න ගෙදර ඉන්න අකමැති ඇයි? ගෙදරට නිතර අමුත්තෝ එනවද?
මිථිල - අපේ ගෙදර හරියට රණ්ඩු
මම - රණ්ඩු?
මිථිල - ඔව්. අම්මයි, තාත්තයි හැම වෙලේම රණ්ඩු. හුඟක් වෙලාවට මමයි රණ්ඩු බේරන්නේ.
මම - එතකොට?
මිථිල - බේරන්න බැරි වුණාම. මම කොහේ හරි එළියට ගිහින් එනවා. අහල පහළ හැමෝටම ඇහෙනවා. මගෙ යාළුවොත් ඒ ගෙවල්වල ඉන්නවා. මට හරිම ලැජ්ජයි. හොඳ වෙලාවට මම යන්නේ ගමේ ඉස්කෝලෙට නෙවෙයි. නැත්නම් ඉස්කෝලෙ යන්නත් ලැබෙන්නේ නැහැ.
මම - ඇයි එහෙම වෙන්නේ?
මිථිල - තාත්තයි අම්මයි මැහුම් ව්‍යාපාරයක් කළා. ඒක පාඩු වුණා. එහෙම වුණේ අම්මා නිසා කියලා තාත්තා කියනවා. තාත්තා නිසා කියලා අම්මා කියනවා. සමහර වෙලාවට දෙන්නම එකතු වෙලා කියනවා මම අවාසනාවන්ත නිසාලු. මම ඉපදුණාට පස්සේ ඒගොල්ලන්ට හුඟක් දේවල් නැති වුණාලු.
මේ ගැටලුවේ මූලාරම්භය ව්‍යාපාරය පාඩුවීමකි. අඹු සැමියන් එකතුව කළ ව්‍යාපාරය පාඩු ලැබූ විට පාඩුවට වගකිවයුත්තේ තමා නොව අනෙකා බව එකිනෙකාට චෝදනා කරගෙන ඇත. විටෙක දරුවෝ් අවාසනාව බවත් පවසයි. මෙය සමාජයේ වෙසෙන්නන් තුළ දක්නට ඇති සුලබ දුර්වලතාවකි. යමක් අසාර්ථක වූ විට එයට තමා වග නොකිව යුතු බව පමණක් නොව වෙනකකු වගකිවයුතු බවත් දරන දුර්වල ආකල්පයයි. යමක් සාර්ථක වූ කළ එහි කොටස්කරුවෝ වීමට අපි ඉතා උනන්දු වෙමු. නමුත් අසාර්ථක වූ කළ ඉන් පලා යන්නට තැත් කරන්නෙමු. මේ පවුලේ මවුපියන් සිදුකරනුයේ එයයි.
තවමත් නොමේරූ වියේ පසුවන දරුවාට මේ නිසා ඇතිවන පීඩාව ඔහු අවසනාවන්තයකු බවට මවුපියන් කරන චෝදනාව නිසා දෙගුණ තෙගුණ වෙයි. තම නිවෙස තුළ තමාගේම මවුපියන් තුළ තමාට පිළිගැනීමක් ගෞරවයක් නැති තැන නව යොවුන් වියේ දරුවකු නිවෙසේ රැඳී පාඩම් කරනු ඇතැයි සිතිය හැකිද? ඔහුට අධ්‍යාපනයේ දක්ෂතා පෙන්විය හැකිද? අවසානයේ මනෝ උපදේශනය කරා ගෙනැවිත් දරුවාම වරදකරු කිරීමටද මවුපියන් උත්සහ ගනී.
මේ ගැටලුවේදී පළමුවෙන් මවුපියන්ගේ ආකල්ප, චර්යා නිසා පවුල තුළ ඇති වී තිබෙන තත්ත්වය ඔවුන්ට අවබෝධ කරවීම කළ යුතු විය. ජීවිතයේ දියුණුව මෙන්ම පරිහානියද යන තත්ත්ව දෙකම අප බලාපොරොත්තු විය යුතු බවත් දියුණුවේදී දියුණුව පිළිබඳ වගකීම භාර ගන්නට ඇති සූදානමම පරිහානියේදීද භාර ගන්න දෙදෙනාම කටයුතු කිරීමෙන් වැරැදීම අවබෝධ කරගැනීමට කාලය ඉතිරි වන බව පෙන්වා දුනිමි. වාසනාව අවාසනාව අපගේ උත්සහය, කැපවීම සහ සමඟිය මත පවතින්නක් වන අතර ආදායමට වඩා අඩුවෙන් වියදම් කිරීමට කටයුතු කිරීමෙන් පීඩා අවම කරගත හැකි බව පෙන්වා දුනිමි. අඹු - සැමි ආදරය දරුවන්ට පවුලක් තුළ ලබාදෙන වටිනාම ආදර්ශය බව පෙන්වා දුනිමි. එසේම දරුවා අගය කිරීමෙන් ප්‍රශංසා කිරීමෙන් සහ ඔහුට සාමකාමී ප්‍රියමනාප පරිසරයක් නිවෙසේ ඇති කිරීමෙන් ඔහුගෙන් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ හැකි බව පෙන්වා දුනිමි. විභාගයට හොඳින් මුහුණදීමට හැකි ආත්ම ශක්තියක්, ධෛර්යයක්, වුවමනාවක් දරුවා තුළ ඇති බැවින් ඒ සඳහා කටයුතු කළ හැකි නිරවුල් ප්‍රියමනාප සාමකාමී පරිසරයක් සකසා දීම මවුපිය වගකීම බව මෙම මවුපියන් තේරුම් ගන්නා ලදී.
දරුවා සමඟද කළ සාකච්ඡාවේදී ඔහුගේ අනාගතය ඔහු විසින් මහත් වුවමනාවෙන් කැපවීමෙන් සුබදායී කරගැනීමේ වැදගත්කම පෙන්වා දුනිමි. බාහිර අරමුණවලින් ඇති වන කෝපය ශෝකය සහ උදාසීන බව නැති වන්නට මෛත්‍රි භාවනාව සහ සැහැල්ලු වීමේ අභ්‍යාසයක්ද ලබා දුනිමි.
2014 අ. පො. ස. (සා. පෙළ) විභාගයෙන් ඔහු විශිෂ්ට සාමාර්ථ හයක් සහ සම්මාන සාමාර්ථ තුනක් සහිතව විභාගය සමත් විය. ඒ සඳහා ඔහුගේ කැපවීම බලපෑවේය. එසේම මවුපියන්ද තමන්ගේ අඩු පාඩු සකස් කර ගැනීමෙන් නිවෙස සාමයෙන් පුරවා ඔහුට සහය ලබා දුන්නේය.
අප උත්සාහ කළොත් වෙනස් විය හැකිය. ඒ වෙනස තමාටත් අනුන්ටත් හිතකර වන්නේමය.
Wmqgd .ekSu u