කැමති දේ නොලැබෙන දුක බොහෝ දෙනාට බලපාන ස්ථාවර ප්රශ්නයකි. මේ දුක කොපමණ සංකීර්ණ වන්නේ දැයි කිවහොත් දෛනිකව අප හමුවට එන බොහෝ පිරිස් අතර 90% කටත් වඩා ඒ සම්බන්ධයෙන් මානසික විශාධි වලට ලක්ව සිටින බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් මෙම තත්ත්වයට ගොදුරු වන්නේ හරියාකාර ආදායම් මාර්ග නොමැති, තන්හාවෙන් ඉහළ අගයක සිටින අයයි.
කේන්ද්‍රය රැගෙන බොහෝ අය පැමිණෙන්නේ තම සිතුම් පැතුම් නිසිලෙස සපුරාගන්නට දෛවයක් උදාවන්නේ කවදාදැයි දැනගැනීමටය. "මහත්තයෝ ලොතරැයි ජයක්වත් ලැබෙන වාසනාවක් නැද්දැයි" කියා සමහර අය අපෙන් විමසති. එසේවූ අය බොහෝ දෛනික ජීවිතවල කැමති දේ නොලබන උග්‍ර අවස්ථාවන් වලට ලක්ව සිටින බව වටහා ගත හැකිය. මෙසේ මානසික විශාධි වලට ලක්වන විට නීතිවිරෝධී දේවල් හෝ කර යමක් උපයා ගන්නට පවා පෙළඹෙයි.
නූතන සමාජ රටාව තුළ එවැනි පිරිස් වැඩිවැඩියෙන් බිහිවන බව පෙනේ. මේ වානිජ ලෝකය තුළ එවැනි දේවල් වඩාත් ව්‍යාප්ත වෙයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ඉතා සූක්ෂම ලෙස බොරුව ඇත්ත කරන කලාවෙන් කරන්නේද මිනිස් මනස තන්හාවන්ගෙන් පුරවමින් මානසික විශාධි දක්වා ගෙනයාමය. එබැවින් මිනිසා වැඩි වැඩියෙන් තන්හාවට ගොදුරුවෙමින් ලද දෙයින් සතුටු නොවන පිරිස අතරට එක් වෙයි.
එනිසා කැමති දේ නොලබන දුකට නිරන්තරවම මිනිසා ගොදුරු වෙයි. අපේ බුදු දහමේ හැටියට තන්හාව යනු බලසම්පන්න අකුසලයකි. පෙර ගතකළ භවයන් තුළින් තන්හාවෙන් කටයුතු කිරීම හේතු කොටගෙන මේ ගතකරන භවයේ කැමති දේ නොලැබෙන දුක අත්වෙයි. තන්හාව හැකි පමණ දුරුකර දන් පින් කළ ඇත්තෝ මේභවය තුළ කැමැති දේ ලැබීමේ සැපය අත්විඳී.
තම තමන් පෙර ආත්ම වලත් මේ ආත්මයෙත් දන් පින් කරගන්නේ ඉතාමත් දියාරු මට්ටමෙන් නම් ඔවුන් වෙහෙසෙන තරමට ප්‍රතිඵල නොලබයි. සූක්ෂ්ම ලෙස ඡන්ම පත්‍ර පරීක්ෂා කිරීමේදී මෙවන් දේවල් දැකගත හැකිය. සිකුරු හතර වැන්නේ සුබලෙස සිටීම කැමති දේ ලැබීමේ සැප ඇතිකරන පිහිටීමකි. නමුත් ශනි හෝ සඳු මකර රාශියේ සිටීනම් ඔහු කොපමණ සම්පත් ලැබුවත් අන්තයට ගිය තන්හාවක් ඇති නිසා කැමතිදේ නොලැබෙන දුක තමා විසින්ම ඇතිකර ගනී.
බොහෝ අය කැමැති දෙයක් වන්නේ රැකියාවය. එයද නොලැබෙන, එසේ නැත්නම් නොගැලපෙන රැකියා ලබාදුක් විඳින අයද සිටී. එයද මේ භවයේ සැප සලසා ගන්නට පෙර භවය තුළ නොසිතූ බැවින් ලැබෙන ඵලයකි. සත්වයන්ට උදව් උපකාර කිරීම පැහැරහැර දැමීම වේ. බුද්ධිමය වශයෙන්, ශ්‍රම වශයෙන් උදව් උපකාර කිරීමට ඇලුන සිතක් නොතිබූ බැවින් හටගත් කැමතිදේ නොලබන දුකකි.
එයට තද කැමැත්තක් තිsබිය යුතුය. එයින් කුසල විඤ්Æණයක් ඉපදී තිබිය යුතුය. එනිසා නිසිසේ ගැලපෙන රැකීරක්ෂා - නිලතල - ගරු සම්මාන හිමිවෙයි. යම් කේන්ද්‍රයක රවිගේ ස්ථාන බල රාශිබල සේම ගුරු සිකුරු බුද කුජ ආදීන්ගේ පිහිටීම අනුව එම තත්ත්වයන් දැකගත හැක. නොකර බැරිකමට උදව් කිරීම, අකමැත්තෙන් කිරීම පැහැර හැරීම ආදී ක්‍රියාවන් නිසා ඇතිවන්නේ අකුසල විඤ්Æණයකි. මේ භවය තුළ රැකියා නොලැබීම නුසුදුසු රැකියා ලැබීම එහි ඵලය වෙයි.
විවාහයද කැමතිදේ ලැබීමේ සැපයකි. මේ වර්තමාන ලෝකයේ නිසිකළ නිසිලෙස විවාහ සපල නොවීම සේම සපල වන විවාහ තුළ අසාර්ථක බව ලබා එක වහලක් යට ලෝක දෙකක දිවි ගෙවන්නට සිදුවන්නේද පෙර භවයේ අකුසල් කළ බැවිනි. අනාචාරයේ හැසිරීම, අනුන්ගේ විවාහ කඩා කප්පල් කිරීම, බිරිඳ හෝ සැමියා මරා දැමීම, අඩම්තේට්ටම් කිරීම ආදී අකුසල කර්ම වෙති. කුජ දෝෂ - ශනි දෝෂ වශයෙන්ද විවාහ අධිපති සමඟ හෝ විවාහ ස්ථානයේ 22 වන දෙර්කාණ අධිපති ග්‍රහයා සංයෝග වී සිටීමෙන්ද මේ තත්ත්ව කේන්ද්‍ර තුලින් දැකගත හැක.
දරුඵලද කැමති දේ ලැබීමේ සැපයකි. දරුඵල නැතිවීම යනු අකුසල විපාකයකි. එය සදහටම නැති වීම හෝ කලකට නැතිවීම වශයෙන් හෝ බලපවත්වයි. එම දෝෂ කේන්ද්‍ර පරීක්ෂාවකදී දැකබලාගත හැකිය. මෙයට බලපාන පූර්ව අකුසල් වන්නේ දරු ගැබ් නැතිකර තිබීම සේම මව්පියන්ට දරුවන් අහිමිකිරීම් වැනි පාප කර්මයි.
උදාහරණ දක්වතොත් මේ වර්තමාන කාලයේද බලු පැටව්, බලල් පැටව් ආදීන් කොහේ හෝ ඈතකට ගෙනගොස් දැමීම දරුවන්ට මවුපියන්සේම මවුපියන්ට දරුවන් අහිමි කිරීමකි. එනිසා එවැනි පාප කර්ම කිරීම නිසා දරුඵල නැතිවීම මත කැමති දේ නොලැබෙන දුක ඇතිවෙයි. කේන්ද්‍රයේ 5 වැන්න ගිණිරාශියක්වීම හෝ වඳ රාශිවීම, එහි ගිණි ග්‍රහයින්, රාහු කේතු ආදීන් සිටීම 22 වන දෙර්කාණ ග්‍රහයා තදබල සතුරු දෘෂ්ඨි 5 වන භාවයට මෙන්ම 5 අධිපතියාට ලබාදීම ආදි ග්‍රහ පිහිටීම් සැලකිල්ලට ගත යුතුය.
දරුඵල නැති අය කොයි දෙවියන්ට කිව්වත් දරුඵල අහිමිකළ එම පාපය දුරුකරන්නට පළමුව කටයුතු කළ යුතුය. දුරුකිරීම යන්නෙන් මා අදහස් කරන්නේ එම පාපය අකර්මණ්‍ය කිරීමය. පාප දුරුවන්නේ කෙදිනක හෝ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන මාර්ග පල දක්වා සිත දියුණු කළහොත් පමණි. නැතිනම් පාප කර්ම සසරින් සසරටම කරගසාගෙන යාමට සිදුවේ.
කොයි පවක් හෝ දුරුකර යම් මට්ටමකට හෝ කැමති දේ ලැබීමේ සැපය ඇතිකර ගැනීමට නම් සැබෑ අවබෝධයෙන්ම විවිධ ඵලදායක පින් දහම් කර සත්‍යක්‍රියා කළ යුතුය. එක්වරක් දෙවරක් මාස හය හතකට වරක් පිනක් සිද්ධි කිරීමෙන් මේ සංසාරගත පව් කන්දරාවන් අකර්මණ්‍ය කළ නොහැක. නිතර නිතර පිං උපදවමින් කටයුතු කළ යුතුය. පිංකම් අතර ප්රධානවූත් සුවිශේෂිවූත් ඒ මොහොතේම ඵල නෙලාගත හැකි සත්‍ය ක්‍රියාව වන්නේත් සැබෑ ලෙස අව්‍යාජ ලෙස නිසිලෙස පන්සිල් රැකගැනීම බව බුද්ධ අවවාදය වෙයි.
පන්සිල් රැකීම සත්‍යක්‍රියා කොට කැමති දේ ලැබීමේ සැපය ලබාගත හැක. පිරිනිවන් මංචකයේදී අවසන් බුදු වදන වූයේද "අප්‍රමාදීව පිං කරන්න" යන්නය. සමහර ඡන්ම පත්‍රවල භවබෝග සම්පත් ඉසුරු ලබන ග්‍රහයෝග බලවත්ව පිහිටා තිබේ. නමුත් එක්කෝ එම ග්‍රහයන්ගේ දශාකාල පසුකොට ඉපදී සිටී. නැතිනම් හොඳටම වයස්ගතව ඒ ග්‍රහ දශා ලැබේ.
නැතිනම් එම ග්රහදශාවක් ලබන විට දිගු කාලීන රෝග පීඩා ඇරඹී තිබේ. මේ අයුරින් කැමති දේ ලබන සැප අහිමි කරයි. පෙර භවයන්හි දන් නොදුන් හේතුව එය වන අතර සෑම කෙනෙක්ම ජීවත්වීම, සිතුම් පැතුම් ඉටුකර ගැනීම උදෙසා මහත් කායික හා මානසික වෙහෙසකට පත්වෙයි. නමුත් ප්‍රතිඵල හීනවෙයි. මේ තත්ත්වයන් අවබෝධකර හරි දිසාවට හැරී ගමන් කරන්න. මේ සම්බන්ධව ඔබට නිතිපතා පිං උපදවා ගැනීමට සිදුවෙයි. පින වනාහි මේ ජීවිතය තුළ කැමැති දේ ලැබෙන මාර්ගය වෙයි. ඒකායන මාර්ගයම වෙයි.
භවභෝග, සම්පත්, රැකි රක්ෂා, යස ඉසුරු ආදි මිනිස් දිවියට අවශ්‍ය සියලු සම්පත් ලැබීමට පූර්වාකෘත පිං ඵල සැම කෙනෙකුටම පාහේ තිබේ. නමුත් පූර්වාකෘත සේම මේ භවයෙන් උපදින පව් නිසා ඒවා අක්‍රිය වෙයි. විශේෂයෙන් අධික තන්හාව පාපයකි. කේන්තියාම පාපයකි. පරුෂ වචනය පාපයකි. වෛරය - ඉරිසියාව සිතට ඇතිවීම පාපයකි. එයින් ඕනෑම කෙනෙකුට ඇතිවන ඵලය වන්නේ කැමති දේ නොලැබෙන දුකම අත්වීමය.
කාර්ය බහුල ඔබට දිනපතා පිං වැඩෙන ඉතා බලසම්පන්න මාර්ගය නම් පංචශීලය රැකීමය. උදැසන සමාදන් වන පංචශීලය නැවත සවස පන්සිල් සමාදන් වන අවස්ථාව දක්වා පැහැදිලිව පිරිසිදුව රැකගත යුතුය. ඒ එක සිල් පදයක් සිතුවිල්ලකින් හෝ බිඳීයාමට ඉඩනොතබා ගතයුතුය. එසේ පාරිශුද්ධව එය රැකුනේ නම් එදින ඔබ සවස පන්සිල් සමාදන් වීම දක්වා ඔබ පිං ගංගා 5 ක්ම උපදවා තිබේ.
එවිට සවස මෙසේ සත්‍යක්‍රියා කළ හැක. එනම් "අද මම උදේ සිට මේ දක්වා පන්සිල් පදපහම රැකගෙන උපදවා ගත් මහා පුණ්‍ය බලයේ සත්‍යානුභාවයෙන් මගේ ජීවිතයට අත්‍යවශ්‍ය සියලු යහපත් දේවල් නොලැබෙන දුක් ඇතිකල පාප ධර්ම දුර්වල වේවා· කැමති දේ ලබන සැප සැලසේවා."
මේ අන්දමින් පසුදා උදේද සත්‍ය ක්‍රියාකරන්න. මෙසේ දිනපතා උදේ සවස ක්‍රියාත්මක වන්න. මාස හයක් හතක් ගතවන විට පියවරින් පියවර ඔබට මහත් ප්‍රීතිමත් දේවල් අත්දකින්නට ලැබෙනවා ඇත. දිගින් දිගටම පවත්වා ගනිමින් ආශ්චර්යමත් ජීවිතයක් උරුම කරගන්න. මහත් උවමනාවෙන් මෙසේ කර පුදුම සහගත අත්දැකීම් ලබන්න.