Life
ක්ලටර් ඇඩික්ෂන් ගැන දැනුවත් වෙමු
මිනිසුන් තමන් විසින්ම තමන්ගේ නිදහස සීමා කරගන්නා එක්තරා මානසික තත්වයක් ගැන ඔබ දන්නවා ද? .. ඉංග්‍රීසියෙන් මෙම තත්වය හඳුන්වන්නේ Clutter Addiction යනුවෙන්. මෙහි අදහස වන්නේ පිළිවෙළක් නැතිව සිදුකරන බඩු භාණ්ඩ ගොඩගසා ගැනීමයි. පාවිච්චියෙන් ඉවත් කළ පුවත්පත් ,සඟරා, පොත් , ඇඳුම් , හිස් භාජන, ආහාර වර්ග, මුලුතැන්ගෙයි උපකරණ,බෝතල් ,බෑග් , ලණු , කම්බි ,හිස් සුවඳ විලවුන් බඳුන්,ඇණ,කැඩුණු උපකරණ,පැරණි ජංගම දුරකථන වැනි බොහෝ දේ වසර ගණනක් තිස්සේ එකතු කරන, එසේත් නැත්නම් විසිකරන්නට අකමැත්තෙන් ගොඩගසාගෙන සිටින අය අතරට ඔබත් එක් වී සිටිනවා ද?
දිනෙන් දින අධික ලෙස නිවසේ බඩු ගොඩගැසීම නිසා ඔබට නැති වී යන්නේ ජීවත් වීමට නිවසේ ඇති ඉඩ ප්‍රමාණයයි. නිවැසියන්ටත් එලෙස භාණ්ඩ එකතුකරන්නාටත් මේ එකතුකිරීමෙන් කිසිදු හොඳක් නම් සිදුවන්නේ නැහැ. සමහරවිට මේවා ඉවත දමන්නට යාමේ දී නිවසේ නිරන්තර අඬදබර ඇතිවෙන්නත් පුළුවන්. ඒ වගේම අනවශ්‍ය බඩු ගොඩගසාගැනීම් නිසා විය හැකි කරදර අසීමිතයි. ඔබේ ගෙදරත් මේ කරදරවලින් පිරී තිබේද බලන්න.
අධික බඩු බාහිරාදිය නිසා නිවසේ විසීමට අපහසු බවක් දැනීම.
භාවිතයට අත්‍යවශ්‍ය නොවන විශාල බඩු භාණ්ඩ තොගයක් හිමිව තිබීම.
භාණ්ඩ ගොඩගැසී තිඛෙන ආකාරය ගැන ලජ්ජාවක් දැනීම.
පිරිසිදු කිරීම හා අස්පස් කිරීම අපහසු වීම.
ගොඩගැසී ඇති දේ පිළිබඳව දැඩි මානසික ඇලීමක් හෝ මානසික තැවුලක් ඇතිවීම.
පිළිවෙළ රකින්නට විශාල වශයෙන් කාලය නාස්තිවීම.
කුමක් තබාගෙන කුමක් ඉවතලන්නේදැයි තීරණය කරගත නොහැකි වීම
අවශ්‍යතාවයක් හෝ තබාගැනීමට ඉඩක් නොමැතිව වුවත් තවත් දේ එකතු කිරීම.
අතිරේක ගබඩා ඉඩකඩ සකසා ගැනීමට සිදුවීම.
නිවසේ බොහෝ ඉඩ අවකාශ කිසිවකට භාවිත කිරීමට නොහැකිවීම.
නිතර භාවිතයට ගන්නා උපකරණ හා භාණ්ඩ පවා නිශ්චිත තැනක් නොමැතිව තැබීම .
විසිත්ත කාමරය,ගෙදර කෑම මේසය ,ශීතකරණය, කන්නාඩි මේසය මේ හැමතැනම ඇහිරිලානම් එය අපට විශාල මානසික අවුලක් ඇතිකරනවා. ඒවිතරක් නෙවෙයි ඔබගේ අත්බෑගය , පරිගණකය , ඇඳුම් අල්මාරිය, ෆෙස්බුක් ගිණුම,මාළු ටැන්කිය ,ලියන මේසය , ගෙවත්ත හෝ මල්පාත්තිය වුනත් මෙවැනි තත්වයකට ගොදුරු වෙන්න පුළුවන්.
Clutter Addiction හෙවත් ගොඩගසා ගැනීමේ ඇබ්බැහිය මානසික රෝගයක් ලෙස වර්ගීකරණය කර නැතත් බටහිර බොහෝ රටවල එය මනෝ උපදේශනය හා ඒ වෙනුවෙන්ම ඇතිකර ඇති උපකාරක කණ්ඩායම් ප්‍රතිකාර මගින් සුවකරගතහැකි මානසික තත්වයක් ලෙස සලකා කටයුතු කරනවා . අනාගතය ගැන ඇති අවිනිශ්චිතභාවයත්, අපතේ යාම ගැන ඇති බියත් නිසා මෙවැනි තත්වයක් සමහර අයට ඇතිවියහැකි බවයි, මනෝ විද්‍යාවට අනුව හෙළිවන්නේ. ඒ හැරුණුවිට කාර්යබහුලවීම, සමහරදේ ඉවත් කරන ආකාරය නොදැන සිටීම සහ ඇහිරීම ගැන අවදානයෙන් නොසිටීමත් මෙයට හේතුවන්නට පුළුවන්. විසඳුම කුමක්ද?
අනවශ්‍ය දේ මිලට ගන්න එපා.
වැඩිපුර ඇති දේ අවශ්‍ය අයට දෙන්න .
අනවශ්‍ය එහෙත් මිළ කළ හැකිදේ විකුණා මුදල් ඉතිරි කරන්න.
අවශ්‍ය නොවන දේ නිසි අයුරින් බැහැරලන්න. ( වීදුරු , ප්ලාස්ටික් ,ඉලෙක්ට්‍රෝනික , දිරායන ආදී දේ වෙන වෙනම )
සතියකට වතාවක්වත් ඔබගේ අනවශ්‍ය දේ කළමණාකරණය සඳහා යොදවන්න.
හිස් අවකාශයේ සුන්දරත්වය විඳින්න පුරුදුවන්න. ජීවිතයට ඉඩ හදන්න
(under the courtesy of sithmalyaya.com web)