Beauty
ඔබේ මේකප් දැමීම වැරදිද? ලස්සන මේකප් එකකට මේ කරුණු 9 ඔබ දැනගත යුතුයි.
මේකප් එකකින් කරන්නේ තමන්ගේ හම සුදු කරල පෙන්වන එක නෙවෙයි. තමන්ගේම ලස්සන තව ටිකක් කැපිල පෙනෙන විදියට ඉස්මතු කරන එක. Makeup කියන වචනයේම තේරුම ඒකයි.
මතකද පුංචි කාලෙ අම්මගෙ සාරි ඇදන් අඩි උස සපත්තු දෙකක් දාගෙන කට පුරාම ලිප්ස්ටික් ගාගෙන කම්මුල් රෝස පාට කරන් ගේ පුරා ඇවිදපු හැටි? ගෑණු ළමයි කවදත් මේකප් වලට ආසයි. හැබැයි වැඩි දෙනෙක් හරියට මේකප් එකක් කරගන්න දන්නේ නෑ. දැන ගත්තත් ඒක ගලපගන්න දන්නෙ නෑ. රාත්‍රී උත්සවයකට යද්දි ගාන්න ඕන විදියෙ මේකප් එකක් දාගෙන උදේට වැඩට යන යුවතියන් අපි දැකල නැතුව නෙවෙයි.
ඉතින් අපේ කාන්තාවන්ට සහ යුවතියන්ට ලස්සනට මේකප් එකක් කරගන්න පුංචි පුංචි ටිප්ස් ටිකක් කියල දෙන්න අපි හිතුවා. බලන්න මේ දේවල් ඔයාලට වැදගත් වෙයිද කියල.
1 .මුහුණ සහ බෙල්ල පිරිසිදු කරගන්න
මේකප් කරන්න කලින් හම හොඳින් පිරිසිදු කරගෙන ඉන්න. ෆේස් වොශ් එකක් පාවිච්චි කරල මූණ සෝදල විතරක් මදි. ක්ලෙන්සර් එකකින් මූණ පිහිදලා ඊට පස්සෙ ක්ලෙන්සර් එකෙන් ඇරුණු සමේ සිදුරු වැහෙන්න ටෝනර් එකක් පාවිච්චි කරන්න. හමේ දාඩිය කුණු තියෙද්දි මේකප් කරාම මේකප් එක ලස්සනත් නෑ, හමේ පැවැත්මට හොඳත් නෑ. ඔබේ හම වියළි නම් මූණ පිරිසිදු කලාට පස්සෙ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගා ගන්න. තෙල් සහිත සමක් නම් මෙය අවශ්‍ය නැහැ. මේ සත්කාරය මූණට විතරක් නෙවෙයි බෙල්ලටත් කරන්න. මූණ සුදු උනාට බෙල්ල කළු නම් කැතයි නේද?
2. ෆව්න්ඩේශන් ක්‍රීම් ආලේප කිරීම
ෆව්න්ඩේශන් ක්‍රීම් එක ආලේප කරන්නේ පැල්ලම් මකන්නම නෙවෙයි. මේකප් එකට බේස් එකක් හැටියට. ඒ නිසා ෆව්න්ඩේශන් ලොකු තට්ටුවක් ආලේප කරන්න එපා. ඒකෙන් වෙන්නේ මේකප් කලාට පස්සෙ හිනා වුනාම කට දෙපැත්තෙ මේකප් එක ඉරිතලලා වගේ හිටින එක. ඔබේ සමේ පැහැයට ලඟ ෆව්න්ඩේශන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න.ෆව්න්ඩේශන් ආලේප කරල ටිශූ එකකින් ලාවට පිහිදන්න. වැඩිපුර ගෑවුන ඒවා ඉවත් වෙයි.
3. කන්සීලර් භාවිතය
කන්සීලර් එකෙන් ඔබේ මූණේ ඇති අව පැහැ තැන් වසාගන්න. පිම්පල් පැල්ලම්, ඇස්යට අඳුරු වළල්ල වගේ ස්ථාන වලට කන්සීලර් ආලේප කරගන්න. මේ සඳහා ඔබේ සමේ පැහැයට ලඟ කන්සීලර් එකක් පාවිච්චි කරන්න. ඔබේ සමට වඩාත් ගැලපෙන ෆවුන්ඩේශන් එකක් සහ කන්සීලර් එකක් තෝරගන්න පහත ලින්ක් එකේ වීඩියෝ එක උදව්වක් වේවි.
4. පව්ඩර් කර ගැනීම
මේ සඳහා ලොකු බ්‍රශ් එකක් භාවිතා කරන්න. මූණේ වැඩි ප්‍රදේශයක් ආවරණය වන විදියෙ බ්‍රශ් එකකින් සමානව පැතිරෙන ආකාරයට පව්ඩර් කරගන්න පුළුවන්. මුහුණට වගේම බෙල්ල සහ ඒ අවටත් ෆවුන්ඩේශන් සහ පව්ඩර් භාවිතා කරන්න. පිට ඇරුණු සාරි හැට්ටයක් වගේ අඳිනවා නම් පිටෙත් ආලේප කරන්න. හමේ පැහැයට ලඟ පව්ඩර් සහ ෆවුන්ඩේශන් භාවිතයෙන් ඔබේ මුහුණ එක පාටකටත් බෙල්ල පිට සහ අත් වෙනම පාටකටත් පෙනීම නැති වේවි.
5. අයිබ්‍රව් හැඩ කර ගැනීම
අයිබ්‍රව් පෙන්සිල් එකකින් කෙලින්ම අදින්න එපා! ඔබේ මූණට කෘතිම පෙනුමක් ගෙනදෙනවා. කුඩා බ්‍රශ් එකකින් අයිබ්‍රව් වල පාට ආලේප කරන්න. ඔබේ ඇහිබැමේ ඇති හැඩය ඒ ආකාරයෙන්ම තව ටිකක් මතු කර පෙන්වීමක් මිසක ඇහිබැම වෙනම අදින්න හදන්න එපා.
6. ඇහි පිල්ලම් වල අයිශැඩෝ භාවිතය
ඇහි පිල්ලමේ ෆවුන්ඩේශන් ගාන්න එපා. කන්සීලර් ටිකක් ගෑවම ඇති. නැත්නම් ඉරිතැලුනු ස්වභාවයක් එනවා. ඔබ රැකියාවකට යන කෙනෙක්නම් හමේ පැහැයට ටිකක් තද අයිශැඩෝ එකක් සහ ඔබේ ඇඳුමේ පැහැයේ ලා වර්ණයක් මේ සඳහා පාවිච්චි කරන්න. රාත්‍රී උත්සවයකට නම් ඔබට ඩාක් අයි මේකප් එකක් කරගන්න පුළුවන්.
7. අයි ලයිනර් සහ මස්කාරා ආලේපය
එදිනෙදා සාමාන්‍ය මේකප් එකකදි අයිලයිනර් එක ගොඩක් තදට මහතට අඳින්න එපා. උත්සව අවස්තාවකදි වගේ නම් ඔබේ ඇස් වඩාත් සුන්දරව ඉස්මතු වෙන ආකාරයට අයිලයිනර් පාවිච්චි කරන්න. ලික්විඩ් අයිලයිනර් එකක් ගාපු ගමන් ඇස් අරින්න එපා විනාඩියක් පමණ එය වියලෙන්න අරින්න. නැත්නම් අයිශැඩෝ වල එය තැවරේවි. ඇහේ යටි පිල්ලමේ මස්කාරා ආලේප කරන විට ප්‍රවේසමෙන් ප්ලාස්ටික් හැන්දක් ඇහි පිහාටුවට යටින් තියාගන්න. ඇස්යට මස්කාරා තැවරෙන්නේ නැතුව ඔබට ලේසියෙන්ම ගාගන්න පුළුවන්. මාස දෙකකට වතාවක්වත් අළුත් මස්කාර එකක් ගන්න. කැටි ගැසුණු මස්කාරා ඔබේ ඇහි පිල්ලමට අවලස්සනක් ගෙනදේවි.
8. ලිප්ස්ටික් වැඩි වෙලාවක් තියාගන්නෙ කොහොමද?
මේ සඳහා ඔබට ලිප් බේස් එකක් පාවිච්චි කරන්න වෙනවා. එහෙම නැතුව ලිප්ස්ටික් වැඩි වෙලාවක් තියාගන්න නම් ඔබ ලිප් ලයිනර් එකට පාවිච්චි කරන පැන්සලින්ම මුළු දෙතොලම වර්ණ ගන්වන්න. එයට උඩින් ලිප්ස්ටික් ආලේප කරන්න. වෙනදාට වඩා වැඩි වේලාවක් ලිප්ස්ටික් තියාගන්න පුළුවන්. ලිප් ලයිනර් එකට ලිප්ස්ටික් එකට වඩා තද පැහැයක් ගන්න එපා. එය හැමවිටම ඔබ භාවිතා කරන ලිප්ස්ටික් එකේ වර්ණයෙන්ම අරගන්න. නැත්නම් ඔබේ දෙතොල් කෘතිම බවක් පෙනේවි.
9. අවසානයට බ්ලශින්
ඌ අකුර කියන හැඩයට කට උල් කර ඔබේ කම්මුල් දෙපසට ලොකු බ්‍රශ් එකකින් බ්ලශින් පව්ඩර් භාවිතා කරන්න. හැමවිටම හමේ පැහැයට වඩා තරමක් තද පැහැයක් බ්ලශින් වලට යොදාගන්න. ඔබ හුඟක්ම සුදු කෙනෙක් නෙවෙයි නම් කොයිම විටකවත් රෝස පැහැයෙන් බ්ලශ් කරන්න එපා.
(under the courtesy of goodhousekeeping.lk web)